පළකල දිනය : Thu, Jun 29th, 2017

තමන් ලුහුබඳින කැමරා ඇස්වලට, ලසිත් මාලිංගගෙන් නැවත ප්‍රකාශයක්.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද (29) පැවැති පුහුණුවීම් අතරතුර දී ඡායාරූප මාධ්‍යවේදීන් වෙත උපහාසාත්මක ලෙස ආමන්ත්‍රණය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. ලසිත් මාලිංග එහිදී පවසා ඇත්තේ “කට්ටිය මගේ බඩේ ෆොටෝ ගන්නවා” යනුවෙනි.

එම අවස්ථාවේ සිටි ඡායාරූප මාධ්‍යවේදීන් දෙස බලමින් ලසිත් මාලිංග මේ බව පවසා තිබෙනවා.එමෙන්ම මෙහිදී ක්‍රීඩා ඇමතිවරයා පිළිබඳව යම් ප්‍රකාශ සටහන් කරගන්නටද එමඟින් ලසිත් මාලිංග සහ ක්‍රීඩා බලධාරීන් අතර නැවත ගැටුම්කාරී තත්වයක් ඇති කිරීමටයි මෙහිදී මාධ්‍යවේදීන් උත්සහ ගෙන ඇත්තේ.
එහෙත් ලසිත් මාලිංග ඒ සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.
 
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර හෙට (30) ආරම්භ වෙන එක්දින තරගාවලිය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබෙනවා.

අප නැවත වතාවක් සියලු පාර්ශවයන්ට මතක් කර සිටින්නේ ලසිත් මාලිංග සහ ක්‍රීඩා බලධාරින් අතර ඇතිවූ ප්‍රශ්නය දුර දිග නොයා විසඳීමට ලසිත් මාලිංග සමාව අරගෙන සහ ක්‍රීඩා ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔවුන්ම කටයුතු කලා සේම මාධ්‍යන්හී වගකීමද එලෙසින්ම ලොවක් වටින ක්‍රීඩකයන්ව ආරක්ෂා කර ගැටුම් වලින් තොරව අපේ රටේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.

ඊයේ (28) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හට ක්‍රීඩාව සම්බන්ධ ප්‍රශ්න රැසක්ද යොමුවුණා.ඊයේ ලසිත් මාලිංගට විනය කඩ කිරීම හේතුවෙන් දඩුවම් නියම කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

“මම කරපු ප්‍රකාශ එකක්වත් කිසිම ක්‍රීඩකයෙක්ව අල්ලගෙන කරපු ප්‍රකාශ නෙවෙයි. කිසිම අවස්ථාවක මම ලසිත් මාලිංග ක්‍රීඩකයාගේ නම සඳහන් කළෙත් නෑ වෙනත් ක්‍රීඩකයින්ගේ නම් සඳහන් කළෙත් නෑ. පෞද්ගලිකව ක්‍රීඩකයොත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. සුසන්තිකා ජයසිංහ මැතිණිය ගැනත් ඒ වගේම තමයි කියන්න තියෙන්නේ. එතුමියත් එක්ක මට කිසිම ප්‍රශ්නයක් නෑ. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම දක්ෂයි.

හැබැයි තව ඔවුන්ට දියුණුවෙන්න පුළුවන් මේ ෆිට්නස් ටික හදාගත්තොත් කියන කාරණයතමයි කිව්වේ . ෆිට්නස් ගැන මම කතා කරපු කාරණය යථාර්තවාදී කතාවක්. ඕනනම් රිපෝට්ස් අපිට ගෙන්නලා පෙන්වන්න පුළුවන් ඒ සම්බන්ධව ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. ඒකට කවුරුහරි උසිගන්නලා හෝ කිසියම් කාරණයක් තුළ තමයි ලසිත් මාලිංග ක්‍රීඩකයා මේ සම්බන්ධව කතා කරලා තිබුණේ. මම ඒක ඇත්තටම කනගාටු වෙනවා. මොකද ඔහුට ඒ ගැන ප්‍රකාශයක් කරන්න බැහැ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ගිවිසුමක් තියෙනවා ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. පාලක මණ්ඩලයෙන් තමයි ඔහුට විරුද්ධව ඒ තීන්දුව අරන් තියෙන්නේ”
 
තම මැදිහත්වීම නොවන්නට මාලිංගට පැනවෙන දඩුවම මීටවඩා බරපතළ වීමට තිබූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

“ඔහුට මේ තරග ක්‍රීඩා කරන්න බැරි තත්ත්වයකට පත්වෙලා තිබුණේ නමුත් අපි කැමති නෑ ඒ වැඩේ කරන්න. ඒකේ අවසාන දෝෂාරෝපණය එන්නේ ක්‍රීඩා ඇමතිට. ඔය සියලුදෙනාම අන්තිම රණ්ඩුවේ ප්‍රථිපලය එන්නේ මගෙ ඔළුවට ඒ නිසා මම කැමති නෑ ඒකට මැදිහත්වෙන්න. මම කිව්වේ ඔහුට ක්‍රීඩා කරන්න ඉඩදෙන්න. ගන්න තීන්දු ටික ගන්න අපිට අනාගතයේ පුළුවන් ඔහුගේ තත්ත්වයන් සලකා බලලා ඒවා ඉවත් කරගන්න අවශ්‍යනම් ඒ ටික කරන්න”

ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වන කණ්ඩායම් අනුමත කිරීමට පෙර ශාරීරික යෝග්‍යතා සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරන බවයි දයාසිරි ජයසේකර මහතා මෙහිදී පැවසුවේ.

“ඊයේ මම පැය දෙකක් විතර කාලයක් තුළ ක්‍රිකට් ආයතනයේ ඉන්න ෆිට්නස් කෝචර්ස්ලා ෆිසියෝස්ලා එක්ක මම සාකච්ඡා කළා. ඔවුන් අපි එකඟතාවයකට ආවා ලංකාවේ ක්‍රීඩා විද්‍යාතනය හරහා සියලු ක්‍රීඩකයින්ගේ දත්ත තොරතුරු මත එන ඕනම මැච් එකකකට යන්න කලින් මේ ඔක්කොම ටික කරමු කියලා. තව මාස 3කින් නැවත්ත අපි කිව්වා නැවති අපි ටෙස්ට් එකක් කරලා බලමු කොහොමද අපි තත්ත්වය කියලා. ඉම්පෘෘ කරගන්න ගොඩක් දේවල් තියෙනවා ඒ ටික හදාගෙන ගියොත් ලංකා කණ්ඩායම හොඳ තැනකට එන්න පුළුවන් කියලා. හැම ක්‍රීඩාවකටම මේක අදාළයි. ඊට පස්සේ ක්‍රීඩා විද්‍යාතනයෙන් එන රිපෝර්ට් එක නැතිව මම අත්සන් කරන්න සූදානම් නැහැයි කියන එක තමයි මෙතනදී මම කිව්වේ”.

කෙසේ වෙතත්, අනිද්දා සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා තමන් අනුමැතිය ලබාදුන් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ද නිසි ශාරිරික යෝග්‍යතා මට්ටම් සපුරා නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

“මම කිව්වා බොහොම පැහැදිලිව ඔවුන්ගේ ෆිට්නස් පිළිබඳව අවසන් තීන්දුවකට ඇවිල්ලා තමයි මම මේක අත්සන් කරන්නේ. කියපු වචනේ හරියට කළානම් මේක අත්සන් කරන්න බෑ මේ තිබිච්ච ෆිට්නස් එකත් එක්ක. නමුත් ඔවුන් ඒක ඉම්පෘෘ කරගන්නම් කියන යෝජනාව ඊයේ අපිට කළා. ඒ වැඩපිළිවෙළ තුළ තමයි මම ඒකට අවශ්‍ය සහතිකය දුනනේ. තිබෙන තත්ත්වය සතුටුදායක නෑ. ඒක සුතුටුදායක කරගන්න ඉදිරි මාස 3 දී අපි වැඩකටයුතු කරමු”
 

තමන් ලුහුබඳින කැමරා ඇස්වලට, ලසිත් මාලිංගගෙන් නැවත ප්‍රකාශයක්…#LasithMalinga #FitnessIssue #SriLankaCricket

Posted by Newsfirst.lk on Thursday, June 29, 2017

  • 2.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button