පළකල දිනය : Thu, Jun 29th, 2017

විද්‍යා දුෂණය කළ වීඩියෝ විදෙස් වෙළඳපොළට විකුණන සැලසුමක් !

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය (17) පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිවව නඩු විභාගය පුරා දින 6 ක් සිදු කිරීමට නියමිතව ඇති අතර අද (29) එහි දෙනැනි දිනය වෙයි.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදී ඊයේ (28) දින නඩු විභාගය ඇරැඹිණි.
 
නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිට ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකුණා විශාල මුදලක් රැස් කිරීමට සැලසුමක් තිබුනු බවටයි.

විද්‍යා ඝාතන නඩුවේ සැකකරුවන් වූ බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්, බූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රකාන්ත්, ශිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගනාදන්, ජෙයතරන් කෝකිලන් සහ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් එලෙස අධි චෝදනා ලැබූ විත්තිකරුවෝය.

නියොජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතා සහ තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරු සිව් දෙනෙක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

මෙහිදී 01, 02, 03, සහ 06 වන විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මහින්ද ජයවර්ධන මහතා ද, 05 වන විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපතිපිල්ලේ මහතා ද, 4,7,8 සහ 9 යන විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ එස්.කේදීස්වරන් මහතා ද පෙනී සිටියහ. ඊට අමතරව නව වැනි විත්තිකරු වෙනුවෙන් රජයේ නීතීඥ විග්නේෂ්වරන් ජෙයන්තා මහතා පෙනී සිටියේය.

නඩුවේ චෝදනා පත්‍රවල යම් යම් සංශෝධනයන් සිදුකළ යුතු බවත් නඩු භාණ්ඩ ලැයිස්තුවේ තවත් භාණ්ඩ පහක් ඇති බවත් තවත් සාක්ෂි 12ක් එක් කිරීමට අවසර ලැබිය යුතු බවත් දප්පුල ද ලිවේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අධිකරණය අවසර ලබා දුන්නේය. ඉන් අනතුරුව සංශෝධනය කළ චෝදනා පත්‍රය සැකකරුවන්ට කියවා දුන් අතර එම චෝදනා සැකකරුවෝ ප්‍රතික්ෂේප කොට සිටියහ.

පළමු, දෙවැනි, තෙවැනි, පස්වැනි සහ සයවැනි සැකකරුවන්ට එරෙහිව පැහැරගෙන යාම, අපයෝජනයට ලක්කිරීම සහ ඝාතනය කිරීම යන චෝදනා එල්ල කර ඇති අතර සිව්වැනි,හත් වැනි, අට වැනි සහ නව වැනි සැකකරුවන්ට එරෙහිව අපරාධයට සැලසුම් කිරීම, ඊට ආධාර අනුබල දීම යන චෝදනා ඉදිරිපත් කර තිබිණි.
 
වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැඩි දුරටත් කියා සිටියේ.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට යාපනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාගයක් පවත් වන්නේ. සැලසුම් සහගතව පැහැරගෙන ගොස්, අපයෝජනය කර විද්‍යා සිසුවිය ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදු කර ඇත්තේ 2015 වසරේ මැයි මස 13 වැනි දා උදෑසන 7.30ට පමණයි. මෙය යාපනය පමණක් නොවෙයි මුළු දිවයිනම කම්පාවට පත් කරන සිද්ධියක් බවට පත්වුණා. ඝාතනය සම්බන්ධයෙන් පොලිසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ සිදුකරනු ලැබුවා. ඒ අනුව මෙම අපරාධය සිදු කළ නව දෙනා හඳුනා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට නීතිපතිවරයා පූර්ණ සහායක් ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළ ආකාරය පැසසිය යුතුයි.

මෙම අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කර ගැනීමට සමහර පිරිස් උත්සහා දරනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදු කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව අපි නීතිමය පියවර අරගන්නවා. මෙම අපරාධය සාමාන්‍ය මිනී මැරුමක් හෝ දූෂණයට ලක් කිරීමක් නොවෙයි. මෙය කලකට පෙර සිටම සැලසුම් කර සිදු කළ අපරාධයක්. මීට ජාත්‍යන්තර වශයෙන් සැලසුමක් තිබුණා. මෙනිසා මේක ජාත්‍යන්තර අපරාධයක් විදිහටත් කියන්න පුළුවන්. මෙය මෙරට කීර්ති නාමයට බලපෑම් එල්ල කරන්නට හැකි සිද්ධියක්.

මෙම අපරාධය සම්බන්ධයෙන් හමුවූ නඩු භාණ්ඩත්, කොන්දේසි සහිතව නීතිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් අයගේ සාක්ෂිත් තිබෙනවා. මේ අනුව මෙකී අපරාධයේ සැලසුම්කරු වශයෙන් ඝාතනයේ නව වැනි සැකකරු හදුනාගන්න පුළුවන් වුනා. සිසුවිය අපයෝජනය කිරීම වීඩියෝ කර ජාත්‍යන්තර වෙළඳපොළට විකිණීමට උත්සහා දරා තිබෙනවා. ඔහු මෙරට උපන් අයෙකු වුවත් ස්විස්ටර්ලන්තයේ ප්‍රජා අයිතිය හිමි කෙනෙක්. ස්විස්ටර්ලන්තයේ සිට විටින් විට මෙරටට පැමිණ තිබෙනවා. මොහු ස්විස්ටර්ලන්තයේ සිටිමින් ඝාතනයේ සැකකරුවන් 06 දෙනෙකු සමගින් සම්බන්ධ වී මේ අපරාධය සැලසුම් කර තිබෙනවා.

දකුණු ආසියා රටවල දැරියන් හා තරුණියන් ලිංගික අප යෝජනයට කර ඒවා වීඩියෝ කරමින් අධික මිළකට අලෙවි කරනවා. මෙම ඝාතනයේ 2‍, 3, 5 සහ 6 වැනි විත්තිකරුවන් සිසුවිය දූෂණය කර තිබෙනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මෙම සිසුවිය දූෂණය කර තිබෙනවා. 05 සහ 06 වැනි සැකකරුවන් සිය ජංගම දුරකතනවලින් එය පටිගත කරගෙන තිබෙනවා. අනතුරුව එම වීඩියෝව විදේශිකයෙකු වෙත අලෙවි කර තිබෙනවා. එම වීඩියෝව විමර්ශන සඳහා ලබා ගැනීමේ උත්සහාය ව්‍යාර්ථ වුනා. නමුත් මෙකී වීඩියෝව විකුණූ බව සනාථ වන සාක්ෂි සොයා ගැනීමට හැකි වුනා.
 
ඝාතනයේ 2‍, 3, 5 සහ 6 සැකකරුවන් සිසුවිය පාලු නිවසකදී දූෂණයට කර තිබුණා. අනතුරුව සිසුවියගේ සිරුර හමුවූ ස්ථානයට ඔසවාගෙන විත් සිසුවියගේ අත් පා බැඳ ඇයගේ ගෙල මිරිකා හුස්ම සිර කර ඝාතනය කර තියෙනවා. සිසුවියගේ හිස ප්‍රදේශයේත් තුවාල සිදුවී තිබෙනවා.

මෙම අපරාධයට නීතිය ඉදිරියේ හැකි උපරිමයෙන්ම දඩුවම් දිය යුතුයි. මෙවන් දෑ සමාජය තුළ මතු නොවෙන ආකාරයේ තීන්දුවක් ලැබේවි යැයි විශ්වාස කරනවා.‘

විද්‍යා සිසුවියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය අධිකරණය හමුවේ සාක්කි දෙමින් මෙලෙස කීවාය.

‘මාගේ දියණිය දිනපතා පාසල් යන්නේ ඇගේ යතුරු පැදියෙන්. පෙරුම්බාල් කියන්නෙ මගේ පුතා. ඔහුයි වැඩිපුරම ඇයව පාසල් ගෙන යන්නේ. සමහර වෙලාවට ඇයට වැඩක් තියෙනවා නම් දුව ඇයගේ එකට ඉගෙන ගන්න යාළුවො එක්ක පාසල් යනවා. මාගේ සැමියා අංශභාගය රෝගයෙන් පෙලෙනවා. ඔහු ඉන්නෙ ඔත්පලවයි. මෙනිසා පුතා අතරමගදී පාසල් අධ්‍යාපනයත් නතර කර වැඩට යන්න පටන් ගත්තා. නිවසේ සිට පාසල් යන මාර්ගය කැලෑවෙන් හා පාළු ගෙවල්වලින් යුක්තයි. මාර්ගත් අබලන්. වැසි කාලෙට ඒ මාර්ගය භාවිතා කරන්නත් අපහසුයි.

සිද්ධිය සිදුවූ දින උදෑසන විද්‍යා දියණිය පාසලට පිටත් වුණේ උදෑසන 7.30ට. මමයි ඇයව පාරට ඇරලුවේත්. එදින ඇය හා එකට ඉගෙන ගන්න දැරියක් එක්ක පාසල් යන බව කිව්වා. එම සිසුවිය නොපැමිණි නිසා විද්‍යා තනියම පාසලට ගියා. පාසල් ගිය විද්‍යා නිවසට එන සුපුරුදු වේලාව පසුවී යාම නිසා ඇය ගැන සොයා බලන්නැයි කියල මං පුතාව පාසලට යැව්වා. එයා එහි ගිහිං පාසලේ කවුරුත් නැහැ, පාසලත් වහල කියල දුරකතනයෙන් කියුවා. ඉන් පසු ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අහද්දි ඔවුන් කියා සිටියා විද්‍යා අද පාසල් ආවේ නැහැ කියලා. ඊට පස්සේ මායි පුතායි විද්‍යා ව හොයහොයා ඇවිද්දා. හවස 6.30ට විතර කුරික්කට්ටුවාන් පොලිස් මුරපොල වෙක පැමිණිලි කරන්න ගියාම ඔවුන් පැමිණිල්ල බාර ගන්න බැහැ කියුවා. අපිට කයිට්ස් පොලිසියට ගියා.

ඒ අනුව රෑ 8ට විතර කයිඩ්ස් පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. මේ වයසේ ගෑනු ළමයි කොහේ උනත් යයි. ආයෙ එයි කියලා පොලිසිය කිව්වා. පස්සේ අපි කිව්වා අපේ දැරිය එහෙම කෙලේලෙක් නෙවෙයි කියලා. පසුවයි අපේ පැමිණිල්ල ඔවුන් සටහන් කරගත්තේ. පැමිණිල්ල දාන්න පොලිසියට ගියේ අපි ත්‍රීරෝද රථයක් හයර් කරගෙන. රෑ 10ට විතර ගෙදරට හැරිල එද්දි ත්‍රීවිල් රියදුරු කියුවා මා හැමදාම උදෑසන 7.30ට විද්‍යාව ආලඩි මංසන්දියේදී දකිනවා කියලා. එහෙත් අද(සිද්ධීය වූ දින මැයි 13) මා ඇයව දැක්කේ නැහැ. මෙනිසා ඇය අනිවාර්යෙන්ම අතුරුදහන් වෙන්න ඕන ඇයගේ නිවසත් ආලඩි මංසන්දියත් අතරතුරයි. ඒ පැත්තේ සොයා බලන්න කියල කියුවා. රෑ වීමත් වැසි ඇදහැලීමත් නිසා අපි විද්‍යාව හොයන එක අතහැරල නිවස කරා පැමිණියා. පසුදින උදෑසන 6.30ට පමණ මායි මගේ පුතයි නැවතත් විද්‍යාව සොයන්න පටන් ගත්තා. පාර දෙපැත්තට වී අපි ඇයව සෙව්වා.

මගේ පුතයි ඔහුගේ යාළුවයි අම්මා විද්‍යා කියල මහහයියෙන් කෑ ගසනවා ඇසුනා. ඒ සද්දෙට මාත් ඒ දෙසටම දිවගියා. අම්මා අපේ විද්‍යා කියලා පුතා නැවත නැවතත් කෑ ගසා අඬද්දි මාත් සිහිසුන් වුනා. මාත් එක්ක ආව අසල්වැසියා තමයි ගමේ අයත් එක්කන් ආවේ. මම විද්‍යාගේ මලසිරුර මීටර් 20ක් විතර ඇතින් ඉදලයි දැක්කේ. ළඟට යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. පුතාත් සිහිසුන්ව ඇද වැටුණු නිසා පුතාවත් රෝහල් ගත කළා. අනතුරුව කයිඩ්ස් පොලිසියේ නිලදාරින් උදෑසන 10ට විතර සිද්ධිය වූ තැනට පැමිණියා. දේහය පරීක්ෂණ සදහා රෝහල වෙත ගෙන ගියා.‘ යනුවෙනි.

කෙසේ වෙතත් අද දින විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් යාපනයේ මෙන්ම උතුරු පලාතේ සිවිල් සංවිධාන වලින් තොරතුරු ,අදහස් හා යෝජනා ලබා ගැනීමට ත්‍රිපුද්ගල විනිසුරු වරුන් තීරණය කොට ඇත.
 
– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button