පළකල දිනය : Sat, Jul 1st, 2017

සුමනදාසගේ කේන්දරයක ‘කේක් ගෙඩිය’ කපලා උපන්දිනේ සෑමරුව හැටි

මහරගම පන්සල පාරේ බදාදා උදෑසන වාහන තදබයක් ඇතිව තිබුණේ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසකගේ වාහන රැසක් ඒ දෙසට ඇදෙමින් තිබූ නිසාය. ඔවුන් පැමිණියේ පන්සලපාරේ පදිංචිව සිටින හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ නිවසටය. දේශපාලන මිතුරන් ව්‍යාපාරික මිතුරන් මෙනම් මාධ්‍ය මිතුරන්ද එසේ පැමිණියේ ඔහුගේ හැට පස්වැනි උපන්දිනයට සුභ පැතීමටයි.

උදෑසනම කැවුම් කිරිබත් සහිත තේ මේසයක් සුමනදාසගේ නිවසේ සූදානම්වී තිබූ අතර උපන්දින කේක් ගෙඩියක්ද විය. භාව කේන්දරයක හැඩය ගත් රවුම් හැඩති කේක් ගෙඩිය කාගේත් අවධානයට ලක් වුණා.

හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර, නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර, හිටපු ඇමැති අතාවුද සෙනවිරත්න ඇතුළු දේශපාලඥයින් ඔහුට සුභ පැතුවේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමිනුයි.

“ඔබතුමා සියවසක් කල් ජීවත් වෙන්න ඕන“අතාවුද සුභපැතුවේ ඉතා සංවේදීවයි.

සිය උපන්දින කේක් ගෙඩිය කැපූ සුමනදාස අබේගුණවර්ධන පළමු කේ්ක් කැබැල්ල තමන්ගේ බිරිදටත් දරු දෙදෙනා ඇතුළු පවුලේ සාමාජිකයින්ට කවා උපන්දින කේක් පැමිණි අමුත්තන්ට සිය අතින්ම බෙදුවේ “භාව කේන්දරය“ ගැනත් කියමිනුයි.

උපන්දින තේ පැන් සංග්‍රහය බුක්ති විදිමින් සිටින අතරවාරයේදී විජමු, මනූෂ හා අතාවුද කතා කරමින් සිටියදී පාසල් ගොඩනැගිලි ගැනත් කතාවක් ඇදී ආවා.

“අපේ පාසල් ගොඩනැගිලි හදන්නේ ළමයින්ගේ හිත් ඇදගන්න විදියට නෙමෙයිනේ. ඔහේ ගොඩනැගිලි හදාගෙන යනවා විතරයි“ යනුවෙන් විජමු කියද්දී “ඒක නම් ඇත්ත. නිකම් පෙට්ටි පෙට්ටි වගේ ගොඩනැගිලි තමයි හදන්නේ. පහුගිය කාලේ ග්‍රේරු ඇමැතිතුමාලා මහින්දෝදය විද්‍යාගාර සැලසුම් කළේ ටිකක් වෙනස් විදියකට“මනූෂ ගොඩනැගිලි ගැන අදහස් දැක්වූවා.

“බලන්න පරණ පාර්ලිමෙන්තුව දිහා. ඒක හරිම තේජස් විදියට තියෙනවානේ. සුද්දා ඒවා හැදුවේ ඒ විදියටනේ“ එතැන සිටි අයෙක් කියද්දී “අලුත් පාර්ලිමේන්තුවේ විදිය බලන්න. ඒකනම් ඉතිං ජපනාගෙනේ“ අතාවුද කීවේ දියවන්නාවේ පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් ගැනයි.

“ඒක හැදුවේ ජෙෆ්රි බාවානේ. ඔය පාර්ලිමේන්තුවේ නයි ඉන්නවානේ“විජමු කීවේ ඔහු කතානායකවරයා ලෙස කටයුතු කළ කාලයේදී පාර්ලිමේන්තුවට එන නයි එළවා දැමීමට ගත් උත්සාහය ගැනයි.

“පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි කතානායක නිල නිවසේත් නයි ඉන්නවානේ” විජමුගේ බිරිද පැවසුවා.

“ඒක කණු උඩ හදලා තියෙන්නේ. ඒක යටින් නයි එනවා. ඒක වහන්න අපි කතා කළාට කවුරුවත් ඒකට කැමැති වුනේ නෑනේ“විජමු කීවේ පාර්ලිමේන්තුවේ සිටින නයි තවත් විස්තර රැසක්ද කරමිනුයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button