පළකල දිනය : Mon, Jul 24th, 2017

පිළිකාව පරදා පා පැදියෙන් ජීවිතය ජය ගත් මිනිසා – ලාන්ස් ආම්ස්ට්‍රෝන්

ලෝක ඉතිහාසයේ තම නම පතළ වුණු ආම්ස්‌ට්‍රෝන්ලා දෙන්නෙක්‌ බිහි වුණා. එක්‌කෙනෙක්‌ නීල් ආම්ස්‌ට්‍රෝන්. අනෙක්‌ කෙනා ලාන්ස්‌ ආම්ස්‌ට්‍රෝන්. මේ ආම්ස්‌ට්‍රෝන්ලා දෙන්නම තමන් නියෝජනය කළ ක්‌ෂේත්‍රවලින් ලෝකයේ ගෞරවාදරයට පත් වුණා. කීර්ති ප්‍රශංසා, ගරු බුහුමන් නිරතුරුව ලැබූ මොවුන් දෙදෙනා වීරත්වයෙන් සැලකුණා.

සඳ තරණය කළ පළමු පුද්ගලයා ලෙසින් නීල් ආම්ස්‌ට්‍රෝන්ගෙ නම ඉතිහාසගත වුණා. ලාන්ස්‌ ආම්ස්‌ට්‍රෝන් වාර්තා පොත් අතරට ගියේ පාපැදි තරගවලින්. ලොව ප්‍රධානතම පාපැදි තරගය ලෙස සැලකෙන ප්‍රංශ පාපැදි තරගයේ සදාතනික වීරයා ලෙස ලාන්ස්‌ ආම්ස්‌ට්‍රෝන්ගේ නම කියවුණා.

1999 වසරේ සිට 2005 වසර දක්‌වා අඛණ්‌ඩව හත් වරක්‌ ප්‍රංශ පාපැදි සවාරිය ජය ගෙන පාපැදි ලොවේ කිසිවකුටත් පරාජය කිරීමට නොහැකි තරමේ වාර්තාවක්‌ තබන්න ලාන්ස්‌ ආම්ස්‌ට්‍රෝන්ගේ දෙපා ශක්‌තිමත් වුණා. ඒ විදිහට පාපැදි ලොවේ අසහාය වීරයා බවට පත් ලාන්ස්‌ ආම්ස්‌ට්‍රෝන් මෙන්ම අභ්‍යවකාශ තරණයේ පියා ලෙස සැලකෙන නීල් ආම්ස්‌ට්‍රෝන්ද අතිශය ජනප්‍රිය බව අමුතුවෙන් කිවයුතු නැහැ. මේ දෙදෙනා ඇමෙරිකන් ජාතිකයන්ද වෙනවා.

කලක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳි ලාන්ස්‌ ආම්ස්‌ට්‍රෝන් එම කාලය අතරතුරත් පාපැදි තරග ධාවනයට එකතු වීම සුවිශේෂී සිද්ධියක්‌ වුණා. තමා වැනි රෝගීන්ට උදව් උපකාර කිරීම සහ පිළිකාව වෙනුවෙන් නැගී සිටීම සඳහා ආම්ස්‌ට්‍රෝන් “ලිව්ස්‌ට්‍රෝන්ග්” නම් පදනමක්‌ බිහිකළා. ඒ පදනම සඳහා දැන් වසර 15 ක්‌ වෙනවා. ඇමරිකානු ඩොලර්මිලියන ගණනින් එම පදනමට ලැබුණු ආධාර සහ ආම්ස්‌ට්‍රෝන්ගේ පෞද්ගලික ආධාරද පිළිකා රෝගීන් වෙත පරිත්‍යාග කෙරුණා.

ආම්ස්ට්‍රෝන් වරද පිළිගනී..!

ජගත් පාපැදි තරඟ ඉතිහාසය වර්ණවත් කළ විශ්මිත පාපැදි ශූරයා ඔහු විය. ඔහුගෙන් තොරව ප්‍රංශ පාපැදි සවාරිය ගැන කතා කිරීම යනු නිශ්ඵල ප්‍රයත්නයක් වන තරමට ඔහුගේ නම එය ඉදිරිපිටින් ලියැවී තිබුණේය. 1999 – 2005 වකවානුවේ එක දිගට සත් වාරයක් ප්‍රංශ පාපැදි කිරුළ හිමිකර ගත්තේ ඔහු ය. අමෙරිකාවෙන් බිහිවූ විශිෂ්ටම ක්‍රීඩකයන් අතරට ඔහුගේ නම ද නිතැතින්ම එක්විය. සෙසු තරගකරුවන්ට පමණක් නොව මාරයාට ද ඔහු අභියෝගයක් විය.

පිළිකාවකින් පීඩා විඳින අතර ද ඔහු ප්‍රංශ පාපැදි සවාරිය අත් නොහළේය. අප්‍රමාණ ධෛර්යයකින් යුතු වූ මේ ක්‍රීඩකයා හමුවේ මාරයා පවා මඳක් පසුබෑ සෙයක් පෙනෙන්නට විය. සැබැවින්ම ඔහු ජගත් පාපැදි ඉතිහාසය අලුතෙන් ලියමින් සිටියේය. එහෙත්, හිටිවනම සියල්ල කණපිට හැරෙන්නට පටන් ගත්තේය. ඔහු තහනම් උත්තේජක ලබාගැනීමේ වරදට හසුවිය. 2012 ඔක්තෝබර් මාසයේදී අමෙරිකාවේ තහනම් උත්තේජක පිළිබඳ පාලන අධිකාරිය මගින් ඔහු ලබාගත් ජයග්‍රහණ අවලංගු කෙරිණි.

ප්‍රංශ පාපැදි සවාරියේ ශූරයාට හිමි වූ පදක්කම් සියල්ල ඔහුට අහිමි විය. ජීවිත කාලයටම තරග තහනමක් ද පැනවිණි. ඔහු එතැනදීත් තරගයක යෙදෙන බව පෙනෙන්නට තිබිණි. තමන්ට එරෙහි චෝදනා සනාථ කර තිබියදීත් ඔහු කීවේ තමන් නිවැරදිකරු බව ය. කිසි විටෙකත් තහනම් උත්තේජක ලබා නොගත් බවය.

තහනම් උත්තේජක අධිකාරියට පමණක් නොව, තමා නිකරුණේ පාවා දුන් බවට සිය පාපැදි සමාජයේ සගයන්ට ද ඔහු චෝදනා කළේය. මේ සියල්ල දෙස ලොව පුරා ඔහුට ආදරය කළ, ගෞරව කළ ක්‍රීඩා ලෝලීහු කම්පනයෙන් යුතුව බලා සිටියහ. උද්දාමය වෙනුවට අවමානයේ සේයා ඇඳෙමින් තිබිණි. මේ සියල්ල අස්සේ හෘදය සාක්‍ෂියට ඉඩ දිය යුතු මොහොත පැමිණ ඇතැයි ඔහු කල්පනා කළා විය හැකිය.

“ඔව්! මං ඒ වරද කළා… මං ඒ ගැන කනගාටු වෙනවා…” හැඟුම්බරව සිටි ඔහු, ලාන්ස් ආම්ස්ට්‍රෝන් ඔප්රා වින්ෆි‍්‍ර ඉදිරිපිට ඉඳගෙන සිය හෘදය සාක්‍ෂිය වචන බවට පෙරළීය.

රූපවාහිනී ඉතිහාසයේ ආන්දෝලනාත්මකම සම්මුඛ සාකච්ඡා අතරට එක්වන ඔප්රා සහ ආම්ස්ට්‍රෝන් අතර සිදුවූ මේ සුවිශේෂ සංවාදය ඉකුත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කොටස් දෙකක් වශයෙන් ඔප්රාට අයත් CNN නාළිකාවෙන් ලොව පුරා විකාශය කෙරිණි.

ආම්ස්ට්‍රෝන්ට එරෙහි තහනම් උත්තේජක චෝදනාව දශකයක පමණ කාලයක් තිස්සේ ඇදෙමින් තිබියදී ඔහු දිගින් දිගටම එය ප්‍රතික්‍ෂේප කළේය. මේ සම්බන්ධයෙන් පදනම් විරහිත නීති කෘත්‍යයන් හි පවා ඔහු පටලැවී සිටියේය.

“මං මේක දකින්නෙ එක්තරා විශාල බොරුවක් හැටියට. ඒ බොරුව වාර ගණනාවක් තිස්සේ මං කියමින් හිටියා. ඒත් ඇත්ත මොකක්ද කියල මං දන්නවා. මං කීවේ ඇත්ත නොවන බව මං දැනගෙන සිටියා. දැන් මං කඩාවැටුණු චරිතයක්. එය මං හොඳට දන්නවා. සියලු වරද මා අත බව මම දන්නවා, ඊට සපුරා වගකිවයුත්තේ ද මමයි…”

ඇත්ත තිත්ත ය. කොපමණ තිත්ත වුවද ඇත්ත මඟහැරිය නොහැකි බව ආම්ස්ට්‍රෝන් අවබෝධ කරගෙන සිටියේය.

“මගෙන් ඒ වරද වුණා. මං ඒ ගැන කනගාටු වෙනවා, ඒ ගැන සමාව අයදිනවා. ඒ වරද වෙනුවෙන් ක්‍රීඩාව සඳහා ගෙවිය යුතු මිල මං දැන් ගෙවමින් සිටිනවා. වෙනත් කිසිවකුත් ඒ වරද නොකළ යුතු යැයි මං කල්පනා කරනවා…”

මේ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදී ඔප්රාට ඔහුගෙන් අසන්නට ප්‍රශ්න 112 ක්ම විය. ඒ අතරතුර අවස්ථා කිහිපයකදීම ඔහු හැඟුම්බරව සිටි බව ඔප්රා මාධ්‍යයට පවසා තිබිණි.

“මේක ක්‍රීඩාවට හඳුන්වා දුන්නේ මා නොවෙයි. ඒත් මේක නතර කිරීම සඳහා මා වෑයම් කළේ නෑ. එය මගෙන් වුණු වරදක්. මං කණගාටු වෙන්නෙත් ඒ ගැනයි…”

ආම්ස්ට්‍රෝන්ගේ ක්‍රීඩා සමාජය අමෙරිකා තැපැල් පාපැදි සමාජයයි. ඔහු ක්‍රීඩා සමාජයේ නායකයා වුවද සෙසු ක්‍රීඩකයන් මේ වරදට යොමු නොකළ බව ද මෙහිදී පවසා තිබේ. එහෙත්, අමෙරිකාවේ තහනම් උත්තේජක පිළිබඳ පාලන අධිකාරිය අමෙරිකා තැපැල් පාපැදි සමාජයට බරපතළ අන්දමින් චෝදනා කර තිබිණි.

එම පුහුණුකරුවන් පවා මීට වගකිවයුතු බව එහි සඳහන් විය. ඉතාමත් නූතන ක්‍රම යොදාගනිමින් එම ක්‍රීඩකයන් මේ වරද කර තිබූ බව අධිකාරිය පැහැදිලි කර ඇත. කෙසේ වුවද ආම්ස්ට්‍රෝන්ගේ පාපැදි සමාජය, ක්‍රීඩා ඉතිහාසයේ හමුවන අති නවීන ශිල්ප ක්‍රම භාවිත කළ තහනම් උත්තේජනවලට යොමුවූ කණ්ඩායමක් බවට එම අධිකාරිය කර තිබූ චෝදනා මෙහිදී ආම්ස්ට්‍රෝන් බැහැර කළේය. 1970 ගණන්වලදී නැඟෙනහිර ජර්මනියේ ස්ටෙරොයිඩ වැඩසටහන පිළිබඳ ඔහු සිහිපත් කර තිබිණි.

“ඒ නිසා… කවුරුන් හෝ අපට එහෙම චෝදනා කරනවා නම් ඒක වැරැදියි… ඔහු එම චෝදනා ප්‍රතික්‍ෂේප කළේ එලෙස පැහැදිලි කරමිනි.

ප්‍රංශ පාපැදි කුසලානය දිනාගත් අවස්ථා හතේදීම තමා තහනම් උත්තේජක භාවිත කර සිටි බව මේ සම්මුඛ සාකච්ඡාවේදී ආම්ස්ට්‍රෝන් පිළිගත්තේ ලොවම මවිත කරමිනි. දිව්රුමක් ලබාදීමෙන් පසුව පවා සත්‍ය ප්‍රකාශ නොකළ ඔහු ඔප්රා ඉදිරිපිට කිසිදු බැඳීමකින් තොරව සත්‍ය ප්‍රකාශනයට ඉඩ දී තිබිණි.

“හැබැයි, මට ඔය පරීක්‍ෂණ වාර්තාවෙන් චෝදනා කරන හැටියට දිගටම මං මේක කරල නෑ. 2004 න් පස්සෙ මං ඒක අත්හැරියා. 2009 දී සහ 2010 දී මම තරග කළේ තහනම් උත්තේජක අරගෙන නෙවෙයි…”

මේ පිළිතුරට අනුව, අදාළ වර්ෂ සම්බන්ධයෙන් අධිකාරිය ඉදිරිපත් කර ඇති වාර්තා අභියෝගයට ලක් කෙරේ. 2009 දී ප්‍රංශ පාපැදි සවාරියෙන් ඔහුට හිමිවූයේ තුන්වන ස්ථානයයි. 2010 වසරේදී ඔහු පාපැදි තරග බිමෙන් විශ්‍රාම ලැබීම සිදුවිණි.

ආම්ස්ට්‍රෝන්ට එරෙහිව එල්ල වූ චෝදනා හමුවේ ඔහුගේ දිගු කාලීන අනුග්‍රාහකයකු වූ NIKE ද ඔහුගෙන් දුරස් විය. එමෙන්ම ඔහුට චෝදනා එල්ල කළේය. තරග වැදීමේදී තහනම් උත්තේජක, හෝර්මෝන ආදිය භාවිත කළද එය වරදක් ලෙස තමා කල්පනා නොකළ බව ද ආම්ස්ට්‍රෝන් මේ සාකච්ඡාවේදී ඕප්රා සමඟ පැවසීය.

“ඒ කාලයේදී මේක වරදක් බව ඔබට තේරුණේ නැද්ද?” ආම්ස්ට්‍රෝන් තනි වචනයෙන් සෘජුව පිළිතුරු දුන්නේ ”නෑ” යනුවෙනි.

“ඒක නරක දෙයක් කියලවත් ඔබට හැඟුණේ නැද්ද?” ඔප්රා එලෙස අසද්දී නැවතත් ඔහුගේ පිළිතුර වූයේ “නෑ” යන්නයි.

ආම්ස්ට්‍රෝන් කල්පනා කර තිබුණේ මේ උත්තේජක වර්ග ලබාගැනීම යනු ඔහුගේ පාපැදියේ ටයර්වලට හුළං පිරවීමත්, වතුර බෝතලය රැගෙන යාමත් වැනි දෙයක් බවයි. එය වරදකාරී දෙයක් නොවන බව ඔහුගේ විශ්වාසය විය. තරග බිමේදී ක්‍රීඩාවට අවශ්‍ය මට්ටම පවත්වාගෙන යාමට කළ යුතු දෙයක් ලෙස ඔහු ඒ ගැන කල්පනා කර තිබිණි.

මේ සාකච්ඡාවට යාමට පෙර ආම්ස්ට්‍රෝන් ඔහුගේ මූලිකත්වයෙන් ස්ථාපිත කර තිබූ පිළිකාවට එරෙහි ළිවෙ Sට්‍රොන්ග්පදනමේ සාමාජිකයන් හමු වී තිබිණි. මේ පදනම සඳහා ආම්ස්ට්‍රෝන් නිසා ඇ. ඩො. මිලියන 400 ක පමණ ආධාර ලැබී තිබේ. එම අරමුදල් පිළිකාවට එරෙහි වෛද්‍ය පර්යේෂණ සඳහා යෙදවේ.

පදනමේ සාමාජිකයන් හමුවේ ආම්ස්ට්‍රෝන් තමා මීට පෙර කියා තිබුණේ අසත්‍ය බව පිළිගත්තේය. කඳුළු පිරි නෙතින් යුතුව ඔහු කියා සිටියේ තමා වරදක් කළ බවයි.

මේ වරද නිසා පදනමට සිදුවන හානියේ වගකීම තමන් වෙත පවරාගන්නා බව ද ඔහු පැවසීය. ළිවෙ Sට්‍රොන්ග් පදනම ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔහුට හැකි වී තිබිණි. පිළිකාවට එරෙහිව කහ පැහැති බ්‍රේස්ලටයක් පළඳින ඕනෑම අයකු ඊට සාක්‍ෂි දරයි. ආම්ස්ට්‍රෝන් පදනම අපහසුතාවට පත්කිරීම පිළිබඳ එහි සාමාජිකත්වය කම්පනයට පත්වී ඇති බව පෙනෙන්නට ඇත.

එහෙත්, එය පිටුපස තිබූ ආම්ස්ට්‍රෝන්ගේ ධෛර්යය හා කැපවීම අවප්‍රමාණ කිරීමට ද ඔවුනට නොහැකිය.

මේ සම්මුඛ සාකච්ඡාව නිසා ආම්ස්ට්‍රෝන් සිය හෘදය සාක්‍ෂියට අවංක මිනිසකු බවට පත් වී ඇතත්, මින් ඉදිරියට නීතිමය කාර්යයන් රැසකට මුහුණදීමට ඔහුට සිදුවනු ඇත. දැනටමත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ඔහු දිනාගත් ලෝකඩ පදක්කම ආපසු භාරදෙන ලෙස දන්වා යවා තිබේ.

මේ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕප්රා වින්ෆි‍්‍ර මාධ්‍යයට පැවසුවේ එය නැරඹීමෙන් පසුව කුමක් කළ යුතු ද යන්න ප්‍රේක්‍ෂකයන්ටම විනිශ්චය කළ හැකිවනු ඇති බවයි. ආම්ස්ට්‍රෝන් වරදකරුවකු ද? වරදකරු නම් ඔහුට දඬුවම් කළ යුතු ද? නැතිනම් ඔහු වරදකරු වුවද ක්‍රීඩා ලෝලීන් ලෙස ඔහුට සමාව දිය හැකිද වැනි සෑම දෙයක්ම තීරණය කිරීමට ඉන්පසු ඔවුන්ට අවස්ථාව ලැබේ. මීට පෙර මේ චෝදනාව පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවලදී ආම්ස්ට්‍රෝන් ලැරී කිංග් ට බොරු කියා ඇත.

කොටින්ම මීට ඉහතදී ඔහු ඕප්රාට ද ඇත්ත කීවේ නැත. එහෙත් මෙවර ඔහු ඇත්තට ඉඩ දී තිබේ. එසේ කළ පමණින් ඔහු නිවැරදිකරු වන්නේ නැතත් අඩුම තරමින් සිදුකළ වරද පිළිගැනීම පිළිබඳ යම් ප්‍රශංසාවක් ඔහුට හිමිවනු ඇත.

සිදු නොකළ යුතු වැරැදි සිදුකිරීම නිසා කවදා හෝ කඳුළු පිරි නෙතින් යුතුව සමාව අයැදීමට සිදුවූ ලෝ පතළ පළමු මිනිසා ආම්ස්ට්‍රෝන් නොවේ. මින් පෙර හිටපු අමෙරිකා ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ පටන් නොයෙක් ක්ෂේත්‍රවල යෝධ චරිතව සිටි බොහෝ දෙනාට අත්ව තිබූ ඉරණම ආම්ස්ට්‍රෝන්ට ද අත්විය.

ඔහු පාපැදිය හැසිරවූ වේගයටත් වඩා වැඩි වේගයකින් ඔහු පසු අවමානය හඹා එන්නට පටන්ගෙන ඇත. සිය ක්‍රීඩා ඉතිහාසයේ දී ආම්ස්ට්‍රෝන් කිසිදා අන්තිමයා වී නැත. එහෙත් මේ චෝදනාවට වරදකරු වූ අන්තිමයා ඔහු වනවා නම් මොන තරම් හොඳ ද?

මාස කිහිපයක පටන් ආම්ස්‌ට්‍රෝන්ගේ දස්‌කම් විස්‌කම් අතර සැරිසරමින් තිබූ ඒ චෝදනාව පසුව සත්‍යයක්‌ම වුණා. ඒ කියන්නේ ආම්ස්‌ට්‍රෝන් තහනම් ශරීර උත්තේජක ලබා ගත් බවට පරීක්‌ෂණ, නිරීක්‌ෂණ හැම එකකින්ම ඔප්පු වුණා. ඒ අනුව කිසිවකුටවත් පරාජය කර ලබා ගන්න බැරි තරම් වූ ආම්ස්‌ට්‍රෝන්ගේ දක්‌ෂතාවයන් ක්‍රීඩා ලෝකයෙන් අකා මකා දමන්න ජාත්‍යන්තර පාපැදි සංගමය තීරණය කළා. ඒ විතරක්‌ නොවේ. ජීවිතාන්තය දක්‌වාම ආපසු පාපැදි තරගවලට සහභාගි වීමත් ආම්ස්‌ට්‍රෝන්ට තහනම් කෙරුණා.

ජාත්‍යන්තර පාපැදි සංගමයේ සභාපති පැට්‌ මැක්‌වේඩ් මහතා පසුගිය සඳුදා ඒ පිළිබඳ අවසන් නිවේදනය නිකුත් කළා. එක දිගට හත් වතාවක්‌ ප්‍රංශ පාපැදි සවාරිය ජය ගනිමින් ආම්ස්‌ට්‍රෝන් තබා තිබූ අතිවිශිෂ්ට දක්‌ෂතාවන් මෙන්ම ඔහුගේ තවත් ක්‍රීඩා දස්‌කම් බොහෝමයක්‌ මේ චෝදනාව හමුවේ ඔහුට අහිමිව ගියා. ඒ විතරක්‌ නොවේ. “ලිව්ස්‌ට්‍රෝන්ග්” පදනමේ සභාපති ධුරයෙන්ද ආම්ස්‌ට්‍රෝන් ඉවත් වුණා. ඒත් තමා විසින් නිර්මාණය කළ එම සමාගමේ සාමාජිකයකු ලෙස පමණක්‌ රැඳී සිටිමට ආම්ස්‌ට්‍රෝන් තීරණය කළා. අවසානයේ ආම්ස්‌ට්‍රෝන්ට ඉතිරි වුණේ මතයක්‌ විතරයි.

අපි එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් දුෂ්කරතාවන්ට සහ බාධාවන්ට මුහුණ දෙන්නෙමු. නමුත් එම අභියෝගවලට අප අතරින් සාර්ථකව මුහුණ දෙන්නේ අතළොස්සක් පමණි. අනිත් සෑම පුද්ගලයෙක්ම කරන්නේ එම අභියෝගවලින් පලායාමයි.මොවුන් මෙසේ කරන්නේ ඔවුන් තුල ආත්ම විශ්වාසය නැති නිසාය.

මෙලොව ජයගත් සියලුම පුද්ගලයන් ආත්ම විශ්වාසයෙන් පිරිපුන් පුද්ගලයන්ය. මෙලොව පරාජය වූ බොහෝ පුද්ගලයන් එසේ පරාජය වුයේ ආත්ම විශ්වාසය නොමැති නිසාය. ඔබ දුප්පත් වෙන්න පුළුවන්, රෝගී වෙන්න පුළුවන්,තවත් බොහෝ ප්‍රශ්ණ ඔබට තිබෙන්න පුළුවන් නමුත් ඔබට ආත්ම විශ්වාසය තිබේ නම් මෙලොව ඕනෑම ජයග්‍රහණයක් අත්කරගත හැකිය.

ලාන්ස් ආම්ස්ට්‍රෝන් මොහු ලේ පිළිකා තුනකින් පෙළුණු රෝගියෙකි. ඔහු තමාගේ ජීවිතය ආරම්භ කළේ පිහිනුම් ශුරයෙකු හැටියටය. ඔහුට ලේ පිළිකාවන් වැළදුණු නිසා ඔහු සමඟ අත්සන් කරපු සියලුම පිහිනුම් ගිවිසුම් අවලංගු කරන ලදී.ඔහු එයින් සැලුනේ නැත. තමා තුළ තිබුණු ආත්ම විශ්වාසයේ බලයෙන් පරාජය තුට්ටුවකටවත් මායිම් නොකර දැඩි විශ්වාසයෙන් යුතුව බයිසිකල් ශුරයෙකු බවට ඔහු පත්වුණා.

ඔහුගේ එම ආත්ම විශ්වාසයේ ප්‍රතිඵලය වුනේ ලෝකයේ දිගම සහ වේගවත්ම පාපැදි තරඟය වුනු ප්‍රංශ පාපැදි තරඟය එකදිගට හත් වතාවක් ජයග්‍රහණය කිරීමයි. සිය ජයග්‍රහණයෙන් පසු ලාන්ස් ආම්ස්ට්‍රෝන් මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු සපයමින් කියා සිටියේ සිතෙන් නිශ්චිත ඉලක්කයක් දැකිය හැකිනම්, එය ලබාගැනීමට විශ්වාසයෙන් සහ අධිෂ්ඨානශිලිත්වයෙන් යුතුව අඛණ්ඩව කැපවිය හැකිනම් මේ ලෝකයේ ඕනෑම ජයග්‍රහණයක් තහවුරු කළ හැකි බවය.

ලාන්ස් ආම්ස්ට්‍රෝන්ට ලේ පිළිකා තුනක් තිබියදී ආත්ම විශ්වාසයේ ශක්තියෙන් ලොව ජයග්‍රහණය කිරීමට හැකිවුයේ නම් නීරෝගී අපිට කොතරම් දේවල් කල හැකිද..?

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button