පළකල දිනය : Mon, Jul 31st, 2017

මරණාසන්න ලෙඩ්ඩු බේරාගන්න කරාපිටියෙන් අලූත් ක‍්‍රමයක් !

එංගලන්තයේ සිටින හෘද හා උරස් විශේෂඥ වෛද්‍ය රිචඞ් පර්මන් කරාපිටිය ශික්‍ෂණ රෝහලට හොඳ හුරු පුරුදු චරිතයකි. කීප වතාවක්ම කරාපිටිය ශික්‍ෂණ රෝහලට පැමිණ ශල්‍යකර්ම කළ ඔහු මෙවර ලංකාවට ආවේ අලූත් ප‍්‍රතිකාර ක‍්‍රමයක්ද රැුගෙනය. එය හඳුන්වන්නේ එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය යනුවෙනි. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ඉගෙන ගත් විශේෂඥ වෛද්‍ය රිචඞ් පර්මන්ගේ ශිෂ්‍යාවක කරාපිටියේ සිටින්නීය.

ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍රය. ඇය එංගලන්තයේදී ඉගෙනුම ලැබුවේ වෛද්‍ය පර්මන්ගෙනි. ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර එංගලන්තයේදී මෙකී ප‍්‍රතිකාර ක‍්‍රමය පිළිබඳ පුරුදු පුහුණු වූවාය.

මෙම ප‍්‍රතිකාර යන්ත‍්‍රය කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදීමට මුල්වූයේ වෛද්‍ය රිචඞ් පර්මන්ය. ඒ සඳහා වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර සුවිශේෂීවූ කාර්ය භාරයක් ඉටු කළාය. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ලංකාවට ලැබුණු හැටි විශේෂඥ වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර විස්තර කළේ මෙසේය.

“තරුණ ගැහැනු ළමයෙකුට ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වුණා. ඒ සැත්කම කිරීමේදී මේ යන්ත‍්‍රය අවශ්‍ය වුණා. වෛද්‍ය රිචඞ් පර්මන් මැදිහත්වෙලා මානුෂික හේතුත් සලකා බලා මේ යන්ත‍්‍රය ගන්න අපට ණයක් දුන්නා. නමුත් සැත්කම කිරීමේදී මැෂින් එක අවශ්‍ය වුණේ නැහැ. නමුත් මැෂින් එක තියෙන නිසා මේක භාවිතා කිරීමට අවශ්‍ය වුණා.

මෙවැනි යන්ත‍්‍ර තිබුණු පලියට වැඩකුත් නැහැ. ඒක ක‍්‍රියාත්මක කරන විදිය ගැනත් දැන ගන්න ඕන. තව තවත් වෛද්‍යවරුන්ට මෙය පුහුණු කරන්න ඕන. අපි දෙතුන් දෙනකු විතරක් මේක දැන ගෙන ඉදලා වැඩක් නැහැ. මේනිසාවෙන් මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට එක්මෝ නැමැති (ECMO) හෘද හා පෙණහලූ යන්ත‍්‍රයක ආධාරක ක‍්‍රමය යටතේ මී උණ රෝගය වැළඳීමෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ තරුණයකුගේ දිවි බේරාගැනීමට හැකිවුණා.

වෛද්‍ය රිචඞ් පර්මන්ගේ හා වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍රගේ අධීක්ෂණය යටතේ මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය කළේ කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය තුළදීය.

මී උණ රෝගීන් සඳහා මෙකී යාන්ත‍්‍රික ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිතා කළ හැකි බවට වෛද්‍ය ට්‍රෝලූ‍ෂා හරිස්චන්ද්‍ර උනන්දු කරවූයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාලකය. එකදිනක් වෛද්‍යවරිය හමුවූ නාලක මෙසේ කීවේය. එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය ගැන ඔයා දන්න බව අපි දන්නවා.

ලංකාවේ මී උණ රෝගීන් විශාල වශයෙන් හමුවෙනවා. මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මී උණ වැළඳී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන් වෙනුවෙන් භාවිතා කරලා බලන්න. මේ අතරවාරයේ මී උණ වැළඳීමෙන් දැඩි ලෙස අසාධ්‍යව සිටි තරුණයකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

මෙම රෝගියා හුස්ම ගැනීම කළේ ඉතා අපහසුවෙනි. එම රෝගියාගේ රුධිරයේ හිමොග්ලෝබින් අඩු වී තිබුණි. හුස්ම ගැනීම සඳහා මෙම රෝගියාට ආධාරකයක් අවශ්‍ය විය. පසුව බටයක් දැමීමට වෛද්‍යවරු කටයුතු කළේය. පෙණහලූවලින් රුධිරය ගලා එන්නට විය. රෝගී තරුණයාගේ පෙණහලූ දෙකම ලේවලින් පිරී තිබුණි.

ඒ විතරක් නොව රුධිරයේ ඔක්සිජන් ප‍්‍රතිශතය සියයට 30 දක්වා අඩු වී තිබුණි. සාමාන්‍ය පුද්ගලයකුගේ රුධිරයේ ඔක්සිජන් ප‍්‍රතිශතය 100ක් තිබිය යුතුය. පසුව මෙම රෝගියාට බටයක් දමා ආධාරක යන්ත‍්‍රයකට සම්බන්ධ කරනු ලැබීය. එහෙත් රෝගියාගේ ඔක්සිජන් ප‍්‍රතිශතය 50ට වඩා වැඩිවූයේ නැත.

පසුව බැලූ‍නයක් පුම්බ පුම්බා රෝගියාට හුස්ම ගැනීිමට සැලැස්වීමට වෛද්‍යවරුන් කටයුතු කළහ. එය පැය දෙකක් පමණ කරනු ලැබීය. එයද සාර්ථක වූයේ නැත. පසුව මෙම රෝගියාට රුධිරය දුන්නේය. රෝගියා යථා තත්ත්වයට පත්වූ විට ඔහු දැඩි සත්කාර ඒකකයේදී මැෂින් එකට සම්බන්ධ කළේය. නමුත් මැෂිමේ පීඩනයෙන් රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත්කරගැනීමට හැකිවූයේ නැත. ඒ වනවිට මෙම රෝගියාගේ පෙණහලූ දැඩි ලෙස නරක් වි තිබුණි. පසුව මෙකී රෝගියාගේ ජීවිතය බේරාගනු ලැබුවේ එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය නිසාය. ඔහු කේ.පී.ජී. සුනෙත් ලසන්ත (27) නැමති ඇල්පිටිය පිටුවල ප‍්‍රදේශයේ තරුණයෙකි.‍

මී උණ වැළඳුණ තරුණයාට ප‍්‍රතිකාර කිරීමට පෙර එක්මෝ යන්ත‍්‍රය දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බබෙකුට සම්බන්ධ කරලා තිබුණේ. ඒ බාබාගේ ජීවිතයත් බේරාගන්න ඕන. මෙහිදී අපි ඉතා සරල ක‍්‍රමයක් අනුගමනය කළා. බබාගෙන් ගලවන්න පුළුවන් කොටසක් විතරක් ගලවා මී උණ වැළඳුණු රෝගියාට සම්බන්ධ කළා. මෙය සාමූහික ප‍්‍රතිකාර ක‍්‍රමයක් මෙය කි‍්‍රයාත්මක කිරීමේදී හදවත් ශල්‍ය වෛද්‍යවරයකුගේ සහය ඉතා අත්‍යවශ්‍ය වෙනවා. මේ යන්ත‍්‍රය ක‍්‍රියාකරවන්නත් දැනගෙන ඉන්න ඕන.

ඒ සඳහා දැඩි කැපකිරීමක් කරන්න වෛද්‍යවරුන්ට සිදුවෙනවා. සමහර විට දින ගණනාවක් නිදිවර්ජිතව ඉන්න වෙනවා. හදවත් බද්ධ කිරීමේදීත් මේ යන්ත‍්‍රය තබා ගැනීිම අවශ්‍ය වෙනවා. ඇතැම් වෙලාවට සැත්කම් කිරීමේදීත් මෙම යන්ත‍්‍රය අවශ්‍ය වෙනවා. යැයිද වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර කීවාය.

දැනට රටපුරා වංසගතයක් ලෙස පැතිරී යන ඩෙංගු රක්තපාත රෝගී තත්ත්වයකදී ඇතිවිය හැකි හෘද හා පෙණහලූ සංකූලතා සඳහාද මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිතා කළ හැකියි. ඉදිරියේ එය අත්හදා බැලීමට සූදානමක් තිබෙන බැව් විශේෂඥ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර පවසන්නීය.

මේ සඳහා ළමා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රධානී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා ගෙල්සෝ (gelso) සංවිධානයේ සභාපති කපිලාන විතානාරච්චිගේද සහයෝගය හිමිවී තිබේ. මීට අමතරව හෘද හා පෙණහලූ නිමේෂක අමිල බුද්ධිකගේ හා භෞතික චිකිත්සකවරුන්ගේ හදිසි ප‍්‍රතිකාර, වකුගඩු රෝග, සර්වංග රෝග, හෙද කණ්ඩායම් යන ඒකකවල හා හෙද හෙදියන්ගේ සහයෝගය හිමිවී ඇත.

මොකක්ද මේ එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය?

හදවත හා පෙණහලූ දැඩි ලෙස රෝගී වූ රෝගීන් වෙනුවෙන් හෘද හා උරස් ශල්‍ය වෛද්‍යවරු භාවිත කරන ප‍්‍රතිකාර ක‍්‍රම දෙකකි. මින් එක් ප‍්‍රතිකාරයක් වන්නේ හෘද හා පෙණහලූ බද්ධ කිරීමය. අනික් ක‍්‍රමය වන්නේ යාන්ති‍්‍රක හදවත් ආධාරක ක‍්‍රමයයි. එක්මෝ යනු (ECMO) හෘද හා පෙණහලූ යාන්ත‍්‍රික ආධාරක ක‍්‍රමයකි.

මෙය නවීන විද්‍යාත්මක ප‍්‍රතිකාර ක‍්‍රමයකි. මෙය මුල්වරට හඳුන්වාදී ඇත්තේ ඇමෙරිකාවේය.

යම්කිසි රෝගියකුගේ හදවත හෝ පෙණහැල්ල එකවරම ක‍්‍රියාවිරහිත වුවහොත් මෙකී යාන්ත‍්‍රි‍ක ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිත කළ හැකිය. හදිසියේ ඇතිවන රෝගී තත්ත්වයක් නිසා හිටිහැටියේ හදවත හා පෙණහැල්ල ක‍්‍රිියාවිරහිත වන රෝගීන්ට යළි ජීවිත දානය ලබාදීම සඳහා මෙම යාන්ත‍්‍රික ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිතා කරන්නේය.

හදිසියේ යම් රෝගී තත්ත්වයක් ඇතිවී හදවත හෝ පෙණහැල්ල ක‍්‍රියා විරහිත වුවහොත් වෛද්‍යවරුන්ට එකවරම කිසිවක් කරගැනීමට නොහැකිය. සිරුරේ ඔක්සිජන් නැතිවුවහොත් අනිකුත් සෑම අවයවයක්ම මියයයි. එබැවින් එවැනි රෝගියෙකුට අනිකුත් ප‍්‍රතිකාර කරන තෙක්

එක්මෝ මගින් කරනු ලබන්නේ තාවකාලිකව හදවත හා පෙණහලූ යළි පණගැන්වීම සඳහා යන්ත‍්‍රයක් ආධාරයෙන් උදව් කිරීමයි. මෙය තාවකාලික ප‍්‍රතිකාර ක‍්‍රමයකි.

මැතකදී එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය ලොව පුරා ප‍්‍රචලිත විය. එයට එක් හේතුවක් තිබුණි. මැතකදී ලොවපුරා රටවල ඉන්ෆ්ලූ‍වෙන්සා වෛරසය ශීඝ‍්‍රයෙන් ගැබිනි මව්වරුන් අතරේ පැතිරී ගියහ. එම උණ රෝගය වැළඳුණු ගැබිනි මව්වරුන් දහස් ගණනකට යළි ජීවිත දානය ලබාදීමට හැකිවූවේ එක්මෝ නමැති මෙම යාන්ති‍්‍රක ප‍්‍රතිකාර ක‍්‍රමයට පින්සිදුවන්නටය මෙකී යාන්ති‍්‍රක ප‍්‍රතිකාර ක‍්‍රමය එංගලන්තයට හඳුන්වා දීමට මුල්වූයේ හෘද හා උරස් ශල්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිචඞ් පර්මන්ය.

– ලලිත් ඕපාත

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button