පළකල දිනය : Mon, Jul 31st, 2017

“විහාර මහාදේවී වගේ බිලිවෙලා හරි හම්බන්තොට බේරා ගන්නවා..!”

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමට වරාය අමාත්‍යංශයේ දී පසුගිය 29 වෙනිදා පෙරවරුවේ අත්සන් තැබුණා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් එල්.පී ජයම්පති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක අත්සන් තැබූ අතර චීන රජය වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය හූ ජියැන් හූ ගිවිසුමට අත්සන් තැබුවා.

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විශේෂ ව්‍යාපෘති අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම, වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහි දී උත්සව සභාව ඇමතූ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ මෙම ගිවිසුම යටතේ චයිනා මර්ජන්ට් සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 1.12 ආයෝජනයක් සිදු කරන බවයි.

හම්බන්තොට වරාය රාජ්‍ය, පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම දැන් සිදුවනවා. ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපාරයේ හිමිකරුවන් වෙනවා.

අලුත් ගිවිසුම යටතේ වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම එකතු වී තවත් වැඩිපුර ඩොලර් මිලියන 300-400 ක් 2018 වසර වන විට ආයෝජනය කරන්න බවයි රජය පවසන්නේ. මෙම ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව සේවක උද්ඝෝෂණ රැසක් පසුගිය කාලයේ දී පැවැත්වුණා.

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාගත් ණය මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1339ක්. මීට අමතරව වරාය අධිකාරිය විසින් මේ වරාය ව්‍යාපෘතිය සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 160ක් යොදවා තිබෙනවා.

ණය සඳහා ගෙවූ පොලියත් සමඟ හම්බන්තොට වරාය සඳහා ශ්‍රී ලංකා රජය විසින් වැය කළ මුළු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1691ක් වෙනවා. එවැනි මුදලක් ආයෝජනය කරමින් ගොඩනඟන ලද හම්බන්තොට වරාය, ඉඩම් අක්කර 4402ක් සමඟ ‘චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස්’(China Merchant Holdings) සමාගමට ඉදිරි තුළ විකුණා දැමීමට නියමිතව තිබෙනවා.

එහිදි ලාභාංශ බෙදෙන්නේ චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට 80%ක් සහ වරාය අධිකාරියට 20%ක් ලෙසටයි. මේ අනුව ඇමරිකන් ඩොලර් මිලියන 1080ක් මූලිකව ගෙවලා, අවුරුදු 198 කට හම්බන්තොට වරාය තමන් සතුකර ගන්න චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම අද කටයුතු කරනවා.

“හිටපු වරාය ඇමති එකඟ වූයේ නෑ”

අපට ලැබී ඇති තොරතුරු අනුව මෙම විකුණා දැමීමට හිටපු වරාය විෂයභාර ඇමතිවරයා සහ වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වී නැහැ. අවසානයේ මේ ගනුදෙනුව පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් දමනවා ‘මේ හම්බන්තොට වරාය විකුණා දැමීමේ ගනුදෙනුවේ අත්සන් කිරීමේ බලය වරාය විෂය භාර අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයාට පැවරිය යුතුයි’ කියලා. ඒ අනුව මේ හම්බන්තොට වරාය කුණුකොල්ලයට විකුණා දැමීමට හදන්නේ ඒ අමාත්‍යාංශ ලේකම්වරයායි.

මේ ආණ්ඩුව කියන්නේ, ‘හදන්න ගත්තු ණය ගෙවීමටයි අපි හම්බන්තොට වරාය විකුණන්නේ‘ කියලයි. ඒක අමූලික බොරුවක්. මේ අය වරාය අධිකාරියට දැනටමත් දන්වලා තිබෙනවා, ‘හම්බන්තොට වරාය විකුණලා ලැබෙන මුදලින් හදන්න ගත්තු ණය ගෙවන්නෙ නැහැ, එමගින් කිරීමට වෙනත් වැඩ කටයුතු තිබෙනවා. ඔබ ආයතනය සාමාන්‍යයෙන් ගෙවාගෙන ගිය ආකාරයටම ඒ ණය පියවීමට කටයුතු කරන්න’ කියලා.

‘පාස්කරලිංගම්ගේ මල්වට්ටි වෙන්දේසිය’

මෙතෙක් 99 අවුරුද්දකට අපේ රටේ වරායක් තියා ජැටියක්වත් බදු දීලා නැහැ. සමහර ආයතනවලට ජැටියක් හදා ගැනීමට මුහුද බදු දී තිබෙන්නේ, ජැටිය හැදීමට ගත වන කාලයත් සමග අවුරුදු 35කටයි. ජැටියක් අවුරුදු 35කට එසේ බදු දෙද්දී මෙතැන අක්කර 4402ක් සමඟ හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දෙනවා. පාස්කරලිංගම් තමයි මේ ගනුදෙනුවේ ප්‍රධාන මෙහෙයුම්කරු. ඒ කියන්නේ මේ ගනුදෙනුවේ පිටුපස සිටින්නේ අගමැතිවරයායි.

පාස්කරලිංගම් මේ ගනුදෙනුව කරන්නේ පන්සලේ මල්වට්ටි වෙන්දේසියක් කරනවා වගෙයි. මේ ගනුදෙනුවට ඉදිරිපත් වුණා තවත් චීන සමගමක් වන ‘චයිනා හාබර් ඉංජිනේරින්‘ සමාගම. ඔවුන් යෝජනා කළා ‘අපට 65%ක් සහ ශ්‍රී ලංකා රජයට 35%ක් යන අනුපාතයට ලාභය බෙදමු. අපි මූලිකව ඇමරිකන් ඩොලර් මිලියන 740ක් ගෙවන්නම්‘ කියලා. එවිට ඒ සමාගමට පාස්කරලිංගම් කියනවා ‘ඔයගොල්ලන්ට 80 : 20 අනුපාතයට එකඟ වෙන්න බැරිද?‘ කියලා. චයිනා හාබර් ඉංජිනේරින් සමාගම ඊට පිළිතුරු වශයෙන් කියනවා, ‘අපට එකපාරටම ඒ ගැන කියන්න බැහැ‘ කියලා.

‘අනාගතයේදී කොළඹ වරායට අභියෝගයක්’

ඊට පසුව තමයි පාස්කරලිංගම් විසින් චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම කැඳවන්නේ. ඔවුන් කියනවා ‘අපි ඔයාගේ 80:20 අනුපාතයට එකඟ වෙන්නම්. මූලිකව ඇමරිකන් ඩොලර් මිලියන 1080ක් ගෙවන්නම් ‘ කියලා. එතැන් එහාට, ‘මේ ගිවිසුමේ සඳහන් කරුණු මොනවාද?‘ කියලා කිසිවක් සොයා නොබලා පාස්කරලිංගම් තීරණය කරනවා, හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට දෙන්න. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම වරායක් අවුරුදු 99කට බදු දීලා නැහැ වගේම, මෙතැනදී හම්බන්තොට වරායේ සම්පූර්ණ මෙහෙයුම මෙම සමාගමට පවරා තිබෙනවා.

සම්පූර්ණ මෙහෙයුම මේ සමාගමට දෙනවා කියන්නේ ‘අනාගතයේදී කොළඹ වරායට හම්බන්තොට වරායෙන් අභියෝගයක් එල්ල වෙනවා‘ කියන එකයි. කන්ටේනර් බෑමේ කටයුතු පවා හම්බන්තොට වරාය පටන්ගත්තොත් කොළඹ වරායට වැඩ නැති වෙනවා. එමගින් කොළඹ වරාය ආර්ථිකමය වශයෙන් බිඳ වැටෙනවා. ඒ කිසිත් නොසලකා තමයි හම්බන්තොට වරායේ මෙහෙයුම සම්පූර්ණයෙන් චීන සමාගමට ලබා දී ඇත්තේ.

‘ඉඩමේ වටිනාකම විතරක් බිලියන 1000ක්. විකුණන්නේ බිලියනයට’

මා කලින් සඳහන් කළ ‘65:35 අනුපාතයට අපි හම්බන්තොට වරාය ගන්නම්‘ කියපු චයිනා හාබර් ඉංජිනේරින් සමාගමේ යෝජනාව තමයි ශ්‍රී ලංකාවට වඩා හිතකර. වඩා හිතකර යෝජනාව පැත්තකට දාපු පාස්කරලිංගම් වඩා අහිතකර යෝජනාව තමයි තෝරාගත්තේ. අද ඉඩම් අක්කර 4402හි වටිනාකම විතරක් ගත්තත් ඇමෙරිකන් ඩොලර් බිලියන 1000කට වැඩියි. එහෙම සම්පතක් විකුණන්නෙත් ඇමෙරිකන් ඩොලර් බිලියන 01ක(මිලියන 1000ක) පමණ මුදලකට.

ඒ නිසා අපට හිතාගන්න පුළුවන්, ‘මෙතැන මොනතරම් විශාල අතයට ගනුදෙනුවක් සිදු වෙන්න ඇද්ද?’ කියලා. ඒ විතරක් නොවෙයි මේ ගනුදෙනුවෙන් අඩුම තරමින් මම කලින් සඳහන් කළ ආකාරයට හම්බන්තොට වරාය හදන්න ගත් ණය මුදල පියවීමවත් සිදු කරන්නේ නැහැ.

‘හෙට දවසේ තීරණාත්මක ප්‍රධාන ජාත්‍යන්තර වරායක්’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට තරම් මේ රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට දේශපාලන වශයෙන් අපහාස සිදු වී නැහැ. මැලේසියාවේ සිට එන මුහුදු මාර්ගයේ තමයි හම්බන්තොට තිබෙන්නේ. දැන් චීන රජය තායිලන්තය හරහා ඇලක් කපනවා. ඒක කපලා ඉවර වුණාම චීනය බලාපොරොත්තු වෙනවා, සිංගප්පූරු, මැලේසියා වරායන් මඟ හැරලා මුහුදු මාර්ගයක් හදලා එහි ප්‍රධාන ජාත්‍යන්තර වරාය බවට හම්බන්තොට වරාය පත් කිරීමට.

ඒ අනුව කෙටි කලකින් සිංගප්පූරු, මැලේසියන් වරායන් වෙනුවට තීරණාත්මක ප්‍රධාන ජාත්‍යන්තර වරාය බවට හම්බන්තොට වරාය පත් වෙනවා. ඒ නිසා අද මේ විදියට අමුඅමුවේ මරාගෙන කන්නේ රත්තරන් බිජු දමන කිකිළියක්. රටේ අනාගත පරපුරට විශාල ධනයක් උපදවා දෙන වටිනාම සම්පත තමයි මේ විදියට විකුණාගෙන කන්නේ. රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණාගෙන කන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ඒක ඕනෙම තක්කඩියකුට පුළුවන් දෙයක්. මේවා සහගහන අපරාධ.

හම්බන්තොට වරාය චීනයට දෙන විට තවත් සැලසුමක් මේ ආණ්ඩුව හොර රහසේ ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කොළඹ වරායේ ‘ඊස්ට් කන්ටේනර් ටර්මිනල්’ එක ඉන්දියාවට විකුණනවා. මේකත් විකුණන්නේ කුණු කොල්ලයට. දැන් කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා, ඒ අනුව ‘ඊස්ට් කන්ටේනර් ටර්මිනල් එක’ ගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්දියානු සමාගමට පමණයි.

ඉන්දියාව සතුටු කරන්න ඒ ටර්මිනල් එක දෙනවා. සල්ලි කීයක් හරි හොයා ගන්න ඕනෙ වුණාම චීනයට හම්බන්තොට වරාය දෙනවා. ත්‍රිකුණාමල වරායට අද ඇමෙරිකාව ඉව අල්ලනවා. අද මේ රට, මේ ආණ්ඩුවට බලයට එන්න උදව් කරපු ජාත්‍යන්තර මිතුරන්ට සිත් සේ පරිහරණය කරන්න වෙන්දේසියේ දමපු රටක් බවට පත් වෙලා තිබෙනවා.

හම්බන්තොට වරාය චීනයට විකුණන්නේ නෑ – එකඟවී තිබෙන්නේ හවුල් ව්‍යාපාරයකට.

හම්බන්තොට වරාය චීනයට විකිණීමේ කිසිදු ගිවිසුමක්‌ අත්සන් නොකරන බවද එකඟවී තිබෙන්නේ හවුල් ව්‍යාපාරයක්‌ ලෙස කටයුතු කිරීමේ ගිවිසුමක්‌ සකස්‌ කිරීමට බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 05 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් සෘජුවම ප්‍රශ්න අසන අවස්‌ථාවේදී මාතර දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මෙසේද කීවේය.

“මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා 2012 දී හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනයේ එක්‌සිම් බැංකුවෙන් ණය ගත්තා. ඒ ණය ගත්දා සිට මාස හතළිස්‌ අටකට පසුව වාරික ගෙවිය යුතුයි. වාරික නොගෙවන්නේ නම් ඒ සමාගමට හැකියාව තියෙනවා. සම්පූර්ණ මුදල සහ පොලිය එකවර ගන්න. ඒ අනුව ඇමරිකානු ඩොලර් කෝටි 140 ක්‌ එකවර ගෙවිය යුතුයි. අපි බලයට ආ පසු මමත් ජනාධිපතිතුමාත් චීනයට ගියා. අපි කිව්වා අපිට මේ ණය ගෙවන්න බෑ.

මේක අපට අවාසියි. එනිසා ගිවිසුම අහෝසි කරන්න කියලා. චීන ජනාධිපති කිව්වා ඔබලාට තියෙන අමාරුව දන්නවා. ඒත් දැන් තමයි ඕක කියන්නේ. අපි හවුල් ව්‍යාපාරයකට භාර දෙන්නම් විකුණන්න එපා. බදු දෙන්න කියලා. අපිට ගෙවන්න තියෙන්නේ මේ ණය මුදල විතරක්‌ නොවේ. ඩොලර් කෝටි 3000 ක ණය මුදලක්‌ අපට ගෙවන්න තිබෙනවා. අපිට මේක ගෙවන්න බෑ. 2036 දක්‌වා මේ ණය ගෙවන්න තියෙනවා. කවුද මේ ණය ගත්තේ. 2005 න් පසුවයි ගත්තේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button