පළකල දිනය : Tue, Aug 8th, 2017

ලිප් කිස්, අඩ නිරුවත් දර්ශන අනවශ්‍ය විදියට රූප රචනාවලට ඇතුලත් කරලා

වසර කිහිපයක් තිස්සේ මෝස්‌තර නිරුපන ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින ඕෂධී හිමාෂා මේ වනවිට ගීත රූප රචනා හරහා ද නිතර දක්නට ලැබෙයි.

ඕෂධී කියන්නේ දැන් රංගන ශිල්පිනියක්?
චිත්‍රපට දෙක ගැන කියනවනම් එකක් තමයි උදයකාන්ත වර්ණසුරියගේ “වස්සානේ සඳ” චිත්‍රපටය. අනිත් චිත්‍රපටය තමයි හර්ෂ උඩකන්දගේ “ෆේස් ටු ෆේස්” චිත්‍රපටය.

“වස්සානේ සඳ” චිත්‍රපටයේ නම් මම කරන්නේ නටෂා කියන උප ප්‍රධාන චරිතය .ප්‍රධාන චරිතය කරන්නේ පියුමි හංසමාලි. “ෆේස් ටු ෆේස්” චිත්‍රපටයේ අමායා කියන ප්‍රධාන චරිතය නිරුපනය කරනවා.
 
මේ චිත්‍රපට තිරගත වෙන්නේ කවදා ද?
මේ චිත්‍රපට දෙකම රූපගත කිරීමේ කටයුතු සියල්ල අවසන් කරලා තියෙන්නේ. ඒත් තවමත් තිරගත වන දිනයක් නිශ්චිතව ප්‍රකාශයට පත් කරලා නැහැ. වස්සානේ සඳ චිත්‍රපටයේ මංගල දර්ශනය ඔක්තෝබර් 8 වැනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල තියන්න කටයුතු කරලා තියෙනවා.

මෙහි තවත් දර්ශනයක් ඔක්තෝබර් 14 වැනිදා මෙල්බර්න් නගරයේදී පැවැත්වෙනවා. වස්සානේ සඳ චිත්‍රපටයේ බොහෝ දර්ශන රූපගත කලේ ඕස්ට්‍රේලියාවේ නිසා මෙහි මංගල දර්ශනයත් ඕස්ට්‍රේලියාවේ තියන්න තීරණය කරලා තියෙන්නේ. ෆේස් ටු ෆේස් චිත්‍රපටය ගැන නම් මේ දිනවල නිතර අහන්න ලැබෙනවා. බොහෝ දුරට එය ඉතා ඉක්මනින් ප්‍රදර්ශනය වේවි කියලා හිතෙනවා.

ආශාවරී රූප රචනාව ඕෂධී කියන නම ජනප්‍රිය කළා නේද?
ආශාවරී රූප රචනාවට එන්න කලින් ඉඳලා මගේ නම නම් මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් විදියට ජනප්‍රිය වෙලා තිබුනේ. නමුත්, මාව නොදන්න සමහර අය ආශාවරී රූප රචනාව හරහා මා හඳුනා ගත්තා කියලා හිතනවා.

ඔබ රූප රචනාව කළ රංගනය ගැන බොහෝ දෙනෙක් කතා කළා. සමහරු විවේචනය කළා?
ඔව්, ගොඩක් අය මාව විවේචනය කළා. නමුත්, මම දකින විදිහට ආශාවරී රූප රචනාව තුලින් සමාජයට පණිවිඩයක් දීලා තියෙනවා. විවේචනය කරපු බොහෝ දෙනෙක් මේ රූප රචනාව නරඹලා තියෙනවා. අවසන් සතිය වෙනකොට මේ රූප රචනාව යු ටියුබ්වල විතරක් මිලියන 5කට අධික පිරිසක් නරඹලා තියෙනවා.

රූප රචනාවේ මා කළ රංගනය ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද, ඒක ලොකු අභියෝගයක් ගෙන දෙන රංගනයක්.

වර්තමානයේ බිහිවෙන ගීත රූප රචනා ගැන ඕෂධීගේ මතය මොකක් ද?
ලිප් කිස්, අඩ නිරුවත් දර්ශන අනවශ්‍ය විදියට රූප රචනාවලට ඇතුලත් කරලා නිර්මාණ බිහිවෙමින් පවතිනවා. ගීතවල කිසිම තේරුමක් නැතිව රූප රචනා නිර්මාණය වෙනවා.

සමහරක් ඒවා ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නෙත් නැහැ. තවත් අතකින් දකින දෙයක් ගීතයට අදාළ නැති රූප රචනා නිර්මාණය වෙනවා කියන එක.

– බුද්ධික සේනාධිර
මුලාශ්‍රය – සාරවිට.lk

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button