පළකල දිනය : Fri, Aug 18th, 2017

ක්‍රිකට් පිත්තයි බෝලෙයි අත හැරලා සචිත්‍ර ගී ගයයිද ? චාමර රඟපායිද ?

සචිත්‍ර සේනානායක ඉන්නේ ක්‍රිකට් පිටියේ. සමිතා ඉන්නේ සංගීත වේදිකාවේ. මේ දෙන්නා ලෝක දෙකක දෙන්නෙක්.

ඒත් ඉතින් ආදරයට ඔය සීමා මායිම් කිසිවක් නැහැ කියන කරුණ සනාථ කරමින් මේ දෙදෙනා අසම්මත පෙම් යුවළකගේ හිතේ උපන් ආදරයකට තමන්ගේ මධුර හඩින් ජීවය එකතු කරලා මියුරු ගීයක් විදියට පසුගියදා රසික හිතවතුන්ට තිළිණ කළා.

සිංහල තරුණයෙකු හා දමිළ යුවතියකගේ සිත්වල උපදින නිහඬ ප්‍රේම කතාවක් තේමා කරගත්තු මේ ගීතය දැන් රූප රචනයකුත් එක්ක දැන් රසික පිරිස අතරට ඇවිත්.
 
මල් මාල ගවසාලා.. කෙහෙරැල්ල හැඩකරලා
රතු දෙතොල පැටලීලා.. හුස්මක් පවා…

නොකියාම උන්නත් මා.. ඔය චාටු දන්නවා
මනමාල කම්පාලා.. ආශා වෙලා

ඔය මරතොන්ඩි දෑතේ නෑවිලා
රිදවාලා හඬවාලා මා හැරයන්නෙපා..

කසුන් කොන්දසිංහ ලියා NEO සංගීතවත් කළ මේ ගීතය NEO රෙකෝඩ් නිෂ්පාදනයක්.

ජනප්‍රිය ක්‍රිකට් තරුවක් ගායනා කරන මේ ගීතයේ රූප රචනයේ රඟපාන්නෙත් ජනප්‍රිය ක්‍රිකට් තරුවක්. ඔහු චාමර කපුගෙදර. චාමරගේ ප්‍රේමවන්තිය විදියට රඟපාන්නේ හිරු TV අවුරුදු කුමරිය තුළිත් රංගනයට පැමිණි තරුෂි සේනාරත්න.

මේ සුවිශේෂී එකතුව තුළින් බිහිවූ මරතොන්ඩි දෑතේ ගීතය හා Video එක ගැන වැඩිදුර තොරතුරු ටිකක් රැගෙන එන්න හිතාගෙන අපි ඊට දායක වූ පිරිස සම්බන්ධ කරගත්තා. මුලින්ම අපි කතාබහට එකතු කරගත්තේ සචිත්‍ර සේනානායකවයි.

මම මීට කලින් ගීත දෙකක් කළා. මේ මගේ තුන්වැනි ගීතය. සමිතා අක්කා එක්ක ගීතයක් ගායනා කිරීමේ ආශාව මට තිබුණේ කාලෙක ඉඳන්.NEO මට එයාලගේ ප්‍රඩක්ෂන් හවුස් එක හරහා යුග ගීතයක් කරන්න ආරාධනා කළාම සමිතා අක්කව යෝජනා කළේ මමයි. සමිතා අක්කා ගීතය ගයන්න කැමති වුණා. ඊට පස්සෙ තමයි ගීතය නිර්මාණය වුණේ.
 
මේවන විට සචිත්‍රට ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට වගේම වෙනත් ගායිකාවකගේ ගීතයක යුග ගායනයටත් ආරාධනා ලැබිලා තියෙන බව තමයි ආරංචි. මෙහෙම ගිහින් සචිත්‍ර සේනානායක කියන ගායක තරුව මතුවෙලා ක්‍රිකට් තරුව මැකීයාවීද කියලා සචිත්‍රගේ රසික පිරිසට හිතෙයි. අපි ඒ ගැන විමසූ විට සචිත්‍ර මහ හඩින් හිනාවෙලා මෙන්න මේ විදිහට උත්තරයක් දුන්නා.

ඒක නම් කිසිම දවසක වෙන්නේ නැහැ. මම විශේෂ අවස්ථාවකට ගීතයක් ගයයි. නැතුව වෘත්තීය මට්ටමෙන් ගී ගයලා මුදල් හම්බකරන්න ගීත ගයන්නේ නැහැ..
චාමර කපුගෙදර TV වැඩසටහන්වලට පැමිණි අවස්ථාවල ඔහු නළුවෙකුට සුදුසු බව බොහෝ අය පැවැසුවා. මරතෝන්ඩි දෑතේ Music Video එකේ ඔහු අපූරු රංගනයක යෙදෙනවා.

පාසල් වේදිකාවේ රඟපාලා තියෙනවා. යශාන්ගේ Music Video එකේ සුළු චරිතයක් රඟපෑවා. ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු වතාවයි මේ. සචිත්‍රගේ දැඩි ඉල්ලීමට තමයි මේක කළේ…

චාමරට මින් පෙර ටෙලි නාට්‍ය දෙකක රඟපාන්න ලැබුණු අවස්ථා ඔහු ප්‍රතික්‍ෂේප කළා. ඉදිරියට රඟපාන්න ආරාධනා ලැබුණොත් මොකද කරන්නේ කියලා අපි චාමරගෙන් ඇහුවා.

මම වෙනත් ක්‍ෂේත්‍රයක ඉන්නේ. ඒ තුළ ගොඩනගාගත්තු ප්‍රතිරූපයක් තියෙනවා. මේ Video එකේ ප්‍රේමවන්තයාගේ චරිතය රඟපාන්න තියෙනවා කිව්වාමත් මම ඒකට කැමති වුණේ මගේ සීමාවන් තුළ එය ගොඩනැගිලා තියෙන හින්දා. රඟපාන්න හොඳ අවස්ථාවක්් ලැබුණොත් හිතලා බලලා එය බාර ගන්නවා.

ක්‍රිකට් තරු දෙකක් එකතු කරලා මරතොන්ඩි දෑතේ ගීත වීඩියෝව රූගත කිරීම් අතර සිදුවූ සිදුවීම් ගැනත් අපි විමසා සිටියා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ තමයි රූප ගතකිරීම් කළේ. මහල් නිවාස පෙළක් මැද වීදියක් මැද දිගේ කපු තමන්ගේ මිතුරාගේ පෙම්වතිය පසුපස යන ජවනිකාවේදී තව ටිකෙන් කට්ටිය නානවා.

නිෂ්පාදක ව්ජ් සිද්ධිය මතක් කරල දෙනවිට කපු ඒ ගැන තවත් වැඩි විස්තර පැවැසුවා.

දවස පුරා රූගත කිරීම් කළා. අමාරුම සීන් එක තමයි ඔය. කතාවේ හැටියට මමයි මිතුරයි මගේ පෙම්වතිය පසුපස යන්නේ පාළු පාරක. ඒත් පාර පාළු නැහැ. දෙපැත්තේ ගෙවල්වල අය ජනෙල්වලින් ඔළු එළියට දාලා මටයි සචිත්‍රටයි විවිධ ප්‍රතිචාර දක්වනවා. ඔය හේතු හින්දා ඒ සීන් එක කීප වතාවක්ම කරන්න සිදු වුණා.

මේ විදියට දිගින් දිගටම රූගත කරන අතරේ ඉහළ මාලයක කෙනෙක් පහළ රූගත කිරීම් ඉවරයි කියලා හිතාගෙන වතුර කොරහක් ජනේලයෙන් බිමට හලලා. කට්ටිය ඒ මේ අත පැන්නේ නැත්නම් හැමෝම හොඳට නාගන්නවලු.

දවසම විහිළු තහළුවෙන් තමයි ගෙවුණේ. විහිළු තහළු කොයිතරම් දුර ගියාද කියනවා නම් අපේ එක මිත්‍රයෙකුට කේන්තිත් ගියා.

කපු, පුංචි රහසක් ඉතුරු කරලා එහෙම කිව්වා. අලුත් අත්දැකීම සචිත්‍රට වගේම චාමරටත් සුන්දර අත්දැකීමක් බව තමයි කතා බහෙන් තේරුණේ. ඒත් මේ අයගේ ජීවිතය ක්‍රිකට්නේ. ඒ හින්ද ක්‍රිකට් ජීවිතේ ගැනත් යමක් විමසන්න අපි අමතක කළේ නැහැ.

පසුගිය දවස් ටිකක් අශුභවාදීව ගෙවුණත් ඉදිරියේ එන ඉන්දු ශ්‍රී ලංකා තරගවලට අපි පුහුණු වීම් කරනවා. ඒ වගේම සිංගප්පූරුවේ පැවැත්වෙන ssc තරගාවලියටත් ක්‍රීඩා කරනවා.
සචිත්‍ර සේනානායක සහ චාමර කපුගෙදරගෙන් ලැබුණේ ‍පොදු පිළිතුරක්.

ආරියවංශ කුලතිලක
මුලාශ්‍රය – ලක්බිම

  • 3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button