පළකල දිනය : Fri, Aug 25th, 2017

දුරකතනයේ අසැබි දර්ශන 300 කට වඩා තිබුන මිනිමරුවා දැරියව දූෂණය කර මරපු හෑට්

දැඩි හිරු රශ්මිය මේ දිනවල පොළවට පතිත වන්නේ රාක්‌ෂ වේෂයෙන්ය. නියඟය එතරම්ම රජරට වෙලාගෙනය. ගම් නියම් ගම් සිසාරා හමන සුළඟේ රළු බව අති භයංකාරය. පසුගිය 23 වැනි දින ද හිරු මුදුන්වන හෝරාවේ ගල්ගමුව රාජාංගනය ප්‍රදේශයේ ගොවි ගෙදරක තවත් අනාගත මල් කැකුළක්‌ පාපතරයකුගේ ආශාවන්a මුදුන් පමුණුවාලීමට ගොස්‌ අකාලයේ මිලින වී ගියාය.

ඇය රාජාංගනය වම් ඉවුර, සාලිය අශෝකපුර සුධර්මාරාම මාවතේ පදිංචිව සිටි ඒකනායක මුදියන්සේලාගේ සන්ධ්‍යා මධුශානි ඒකනායක නම් 13 හැවිරිදි පාසල් සිසුවියකි. උදෑසන බුදු පහන තබා තම පාසල් නිවාඩුවේදී පාඩම් වැඩ සඳහා ඇය සූදානම් වූවාය. ඇයගේ මව අසල පිහිටි ස්‌වයං රැකියා ස්‌ථානයට ගියේ “චූටි දුව” පාඩම් වැඩ ටික කරන්න ඕනෑ මම එනකම්” කියාය. ඇය පැය කිහිපයක්‌ පාඩම් වැඩවල නියෑළී සිටියාය. විඩාබර දෑස්‌වලට විවේකයක්‌ ගන්නට ඇය රූපවාහිනිය ක්‍රියාත්මක කළාය. එම අවස්‌ථාවේදී තම අසල්වැසි තරුණයකු නිවසට පැමිණෙන්නට ඇත. ඇය ඔහු සමඟ කුළුපගව කථා කරන්නටද ඇත. ඒ තමන්ගේ අසල්වැසියා නිසාය. ඇයට කිසිදු සැකයක්‌ද ඇති නොවන්නට ඇත. සමහරවිට “අයියේ” කියා කුළුපගව කථා කරන්නටද ඇත. ඒත් ඔහු තමන්ගේ මාරයා බව මේ මල් කැකුළ නොසිතුවාය. තම “ආත්මය” උදුරාගත් ඔහු තමන්ගේ ‘ජීවිතයද’ උදුරා ගන්නා තුරු ඇය ඒ කාමාතුරයා සමඟ පොර බදා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය විය.

තම ආදරබර මවත්, පියාත් මල් කැකුළක්‌වන්ව හැදූ මේ දැරිය තවත් එක්‌ පාපතර තිරිසනකුගේ ගොදුරක්‌ බවට පත් වූවාය. ඇය තම ජීවිතය ඒ තරුණයාට ලබා දී තිබුණේ කිසිවකුත් කර කියාගත නොහැකිව බව දුටු දසුන්වලින් හෙළි විය. ඇයගේ දෑත් රෙදි පටියකින් ගැට ගසා තිබුණි. ශරීරය පුරාම කාමාතුරයාගේ නිය වැදී තුවාල සිදුවී තිබිණි. ඇගේ උඩු තොලෙහි දත් පහරවලින් වූ තුවාලය.

පියා කුඹුරේ වැඩට ගොස්‌ය. අයියා රැකියාවට ගොසින්ය. ඇය බේරාගන්නට උඩ ඉන්න දෙවියන්ටද බැරි විය. ඇය ජීවිතයෙන් හෝ බේරීමට වෙර දරපු බවක්‌ පසක්‌ වේ. ඒත් ඒ කාමාතුරයා ඇයට එළියට යැමටත් ඉඩක්‌ ලබාදී නොමැත. සන්ධ්‍යාගේ මවගේ සිතට ක්‍ෂණිකව දැනුනු අමුතු භයංකාරත්වයක්‌ නිසා ඇය එසැනින් නිවසට ආවාය. නිවසේ ඇඳක්‌ මත තම දුව වැටී සිටිනු දැක ඇය විලාප දුන්නාය. එම විලාපය මුළු රාජාංගනය ගොවි ගම්මානය පුරාම රැව් පිළිරැව් දුන්නේය.

එසැණින් ශබ්දය ඇසී අසල්වාසීහු නිවසට පැමිණ සිදුවී ඇති සිද්ධිය දැක වහාම පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට (119) කථාකොට සිද්ධිය සැළ කළහ. එසැනින් වහාම ක්‍රියාත්මකවූ ගිරිබාව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කේ. වී. පී. සී. දීපාල් මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ අදාළ ස්‌ථානයට ළඟා විය. ඒ වනවිටත් මේ මල් කැකුළ මෙලොව අතහැර ගොස්‌ ඇති බව පොලිස්‌ නිලධාරීන්ට වැටහුණි. ඒ අනුව ගල්ගමුව, මීගලෑව පොලිසිවලටද සිද්ධිය දන්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට සහාය ඉල්ලා සිටියේය.

සුළු වේලාවකින් ප්‍රදේශයට පොලිස්‌ දැල එලුනි. ඒත් කාමාතුරයා පාලුවැව හංදියෙන් බසයක නැග පලා යැමට සූදානම් වූ මොහොතේ සැකසිතී තරුණ පිරිසක්‌ ඔහු අල්ලා ගත්තේය. පසුව ඔහු පොලිස්‌ භාරයට පත්විය. ඔහු නිවස අසලම පදිංචිව සිටි අයෙකි. කාමාතුරයා මත්පෙති හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක්‌ බව හෙළිවී ඇත. සැකකරුගේ මවත් පියාත් මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශය අතහැර ගොස්‌ය. ඔහුගේ නිවසටද ප්‍රදේශවාසීන් අලාභ හානි කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය ස්‌ථානීය අපරාධ පරීක්‍ෂණ නිලධාරීන්ද පරීක්‍ෂා කළහ. මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ගල්ගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කහඳවල මහතා සිදු කළේය. පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළේය. නිකවැරටිය කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සංජීව බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ මත ගිරිබාව පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළේය.

2019 වසරේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මේ පාසල් දැරියට තම ජීවිතයට සමුදීමට සිදුවූයේ පාපතරයකු නිසාය. හෙට (26 වැනිදා) ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

සේනක ඉලංගකෝන් – මහගල්කඩවල

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button