පළකල දිනය : Tue, Aug 29th, 2017

හිරගෙදර දුක් විඳින ගැහැණියක් හෙළි කළ සංවේදී හෙළිදරව්වකි

හිරගෙදර ජීවිතය දුකක්” ඒ හිරේ දුක් විඳින්නවුන් කියන කතාවකි. මේ එවන් දුකක් විඳින ගැහැණියක් හෙළි කළ සංවේදී හෙළිදරව්වකි.

“ජීවිතේ කවදාවත්ම දැක්කේ නැති මනුස්සයෙක් උදේ පාන්දරක අපේ ගේ දොරකඩ හිටගෙන හිටියා. අම්මා ඒ මනුස්සයාගේ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා.”

“ඇයි?”

හුඟක් වෙලාවකට පස්සේ තමයි අම්මා ඒ ප්‍රශ්නෙ ඒ මනුස්සයාගෙන් ඇහුවේ.
 
“මේ පියසෝමගේ ගෙදරද?”

ඒ මනුස්සයා අම්මගෙන් ඇහැව්වා.

“ඔව් . . . මේ එයගේ ගෙදර. ඒත් මහත්තයා ගෙදර නැහැ. වැඩට ගිහිල්ලා”

“එහෙමද?”

ඒත් එක්කම අර මනුස්සයා අම්මගෙ ඇඟට කඩාගෙන පැන්නා.

“ඇයි මොකද?”

ඒ මනුස්සයා අම්මට මෙහෙම කිව්වා.

“නෝනා මේ මුකුත්ම නොදන්නවා ඇති. මෝනගෙ මහත්තයා දැන් ඉන්නේ මගේ ගෑනිත් එක්ක. මම අවුරුදු ගාණක් රට හිටියේ. ඒත් මම හිටපු කාලෙ එයා ඉඳලා තියෙන්නේ නෝන‍ගේ මහත්තයා එක්ක. මම රට ඉඳලා එවපු සල්ලි හැමදේම මට නැති වුණා.

අන්තිමට මගෙ ජීවිතෙත් නැති වුණා. මගේ දරුවා මට නැති වුණා. ඒ ළමයා අසනීප වෙලා මැරුණේ අවුරුදු හතේදි. දැන් ඉතිං මට තවත් නැති වෙන්න දේවල් නැහැ. මං ආයෙත් රට යනවා. මං නෝනට කියලා යන්න ආවේ මේ දරුවන්ට තාත්තව ඕන නම් දැන්මම මොනව හරි කරන්න කියලා.”

අම්මා නාඳුනන පිරිමියා කියන කතාව අහගෙන හිටියේ පුදුමයෙන් වගේ. අන්තිමට අම්මා හොඳටම අඬන්න පටන් ගත්තා. ඒත් එක්කම ඒ මනුස්සයා ගෙදරින් යන්න හැදුවා.

ඒ මනුස්සයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය අම්මා එකපාරටම ඒ මනුස්සයා යන පැත්තට දිව්වා.

“මට කියන්න කොහෙද ඔයාගේ ගෙවල් තියෙන්නේ කියලා. ඔයා ඇවිල්ලා කියනතුරු මං ඔය කිසි දෙයක් දන්නේ නැහැ. එයා මට කිව්වේ දුර පළාතකට මරුවක් ලැබුණා කියලා විතරයි”
 
ඒ මනුස්සයාට අම්මා අඬ අඩා කියන්න ගත්තා. අන්තිමට ඒ මනුස්සයා යන්න ගියා. එදා ඉඳන් වරු ගණනාවක්, දවස් ගණනාවක් අම්මා එක දිගටම ඇඬුවා. හරි හමන් කෑමක් බීමක්වත් ගත්තේ නැහැ. එක දවසක් හිමිදිරි පාන්දර අම්මා මා අවදි කළා.

“ඇයි අම්මෙ කොහේ යන්නද?”
මං අම්මගෙන් ඇහුවේ නිදිමතේ ඔලුව කසමින්.

“අපි යමු තාත්තා බලන්න”

ඒ වන විටත් තාත්තා මාස ගණනාවකින් ගෙදර ඇවිත් තිබුණේ නැහැ. අපි උදේම අනුරාධපුරයේ යන කෝච්චියෙන් තාත්තා බලන්නට ගියා. තාත්තාගේ කන්තෝරුවේ අය අම්මාත් මාත් දෙස බැලුවේ පුදුමයෙන් වගේ.

“මේ අය පියසෝම මහත්තයාගේ කවුද?”
“නෝනයි, දුවයි” අම්මා කීවේ ගොත ගසමින්.

“එතකොට . . .” කෙනෙකු අප ඉදිරියට පැමිණ කියන්නට ආ දෙය ගිලගත්තා. “මට මහත්තයා ඉන්න ගෙදර පෙන්වන්න”

අම්මා එහෙම කිව්වත් කවුරුවත් තාත්තා ඉන්නේ කොහේද කියලා පෙන්වන්න කැමති වුණේ නැහැ.

අම්මට එදා ගෙදරට ආව මනුස්සයා ලියලා දුන්න ලිපිනය හොයාගෙන අපි තාත්තා ඉන්න ගේ සොයාගෙන ගියා. අපි කොහොම හරි ඒ ගේ හොයා ගත්තා. අප යනකොටත් තාත්තා ඒ ගෙදර මිදුල අතුගාමින් හිටියේ. අම්මාත් මාත් දැක්ක තාත්තාගේ මුහුණ කළු වෙලා ගියා.

“සන්ධ්‍යා මොකද මෙහෙ”
එයා පසුපසින් තවත් ගැහැනියක්. ඇය දරුවකු ලැබීමට සිටින කාන්තාවක්. කිසිවක් නොකී අම්මා මා ද අතින් අල්ලාගෙන ඒ නිවෙසින් පිටවුණා.

“උඹ නැත්නම් මං වහ ටිකක් කනවා” මඟට ඇවිත් අම්මා මට එහෙම කිව්වා. අම්මත් මාත් ආයෙත් ගෙදර ආවත් වෙනදා අම්මා තුළ වූ සතුට ඊට පස්සේ මම දැක්කේ නැහැ.

“දැන් ඉතිං උඹටයි මටයි ජීවත් වෙන්න රස්සාවක් කරන්න වෙනවා” ඉන්පසු අම්මා ගෙවල්වලට එහායින් තිබූ තේ කොළ පැක්ටරියකට වැඩට ගියා.

“ඔය සිද්ධිය වෙන කොට ඔයාගේ වයස කීයද?”
“මට ඒ කාලේ අවුරුදු දාහතරක් විතර ඇති. අපි පදිංචි වෙලා හිටියේ කුලී ගෙදරක. හැමෝම අම්මට කිව්වා තාත්තගෙන් වන්දියක් ගන්න කියලා.
 
ඒත් අම්මා එහෙම දේකට ගියේ නැහැ. අම්මා ගාමන්ට් එකේ රස්සාවට ගියා. මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තනියම ගෙදරට වෙලා හිටියේ.

“විභාගේ පාස් වුණාද?”
“නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයයි පාස් වුණේ. ඊට පස්සේ අම්මා මාව එයාගේ මහ ගෙදර ගිහින් ඇරලුවා. නමුත් අම්මා නැතිව ඉන්න බැහැ කියලා මම ආයෙත් අම්මා ගාවටම ආවා.

“ඊට පස්සේ මොකද වුණේ?”
“මගේ අම්මා තරුණයි. ඒ වෙනකොටඅම්මගෙ වයස අවුරුදු හතලිහක් විතර ඇති. අම්මා ලස්සනයි. ඒ නිසා වෙන්න ඇති හුඟක් දෙනා අම්මා පස්සෙන් ආවේ. නමුත් සිරි මාමා විතරයි අපේ ගෙදර නිතර ආව ගියේ. ඒ අම්මගේ ඥාති වෙන අයියා කෙනෙක්.

අන්තිමට සිරි මාමා අපේ ගෙදර නතර වුණා. මගේ නම් කිසිම අකමැත්තක් තිබුණේ නැහැ සිරි මාමා අපේ ගෙදර නතර වෙනවාට. ඒ වුණත් එයා නිතර නිතර මා ළඟට එන එක තමයි මට ඉවසන්න බැරි වුණේ. දවසක් මං අම්මට කිව්වා සිරි මාමා මට කරදර කරනවා කියලා.

“බොරු නොකර හිටපං. උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ” අම්මා මට එහෙම කිව්වා.

ඉන් පස්සේ මම අම්මට මුකුත්ම කියන්න ගියේ නැහැ. ඔය අතරේ තමයි දවසක් සිරි මාමා මට කරදර කරනවා අම්මා දැක්කේ. අම්මා කොහේදෝ තිබුණ මන්නයක් උස්සගෙන ඇවිල්ලා සිරි මාමට ඒකෙන් කෙටුවා. ඊට පස්සේ මටත් අම්මා හොඳටම ගැහුවා.

“ඉන් පස්සේ?”
“මං කාමරේ දොර වහගෙන අඬන්න ගත්තා. ඒ වෙනකොට ගමේ මිනිස්සු අපේ ගෙදරට ඇවිත් හිටියා. පොලීසියෙනුත් ආවා. මං කාමරෙන් එළියට ආවා. ඒත් අම්මා පේන්න හිටියේ නැහැ. පොලීසියෙන් මගෙන් වෙච්ච දේවල් ඇහුවා.

මං හැමදේම කිව්වා. මාව පොලීසියට අරගෙන ගියා. සිරිමාමාගේ මිනිය ඉස්පිරිතාලේ ගෙනිච්චා.

ඒත් අම්මා හිටියේ නැහැ. දවස් දෙකකට පස්සේ පොලීසියෙන් කිව්වා අම්මා ගඟේ පැනලා මැරිලා කියලා.

ඒ වෙලවේ මං පරිවාස නිවාසේ දෙදරන්න කෑගහලා ඇඬුවා. හැමෝම ඇවිත් කිව්වා අඬන්න එපා කියලා. අම්මගෙ මරණය කෙරුවේ රජයේ වියදමින්.

“ඔයාට මොකද වුණේ?”
මගේ ජීවිතේ අපායක් වුණා. මට සිරි මාමා නිසා දරුවෙක් ලැබුණා. ඒ දරුවා හදාගන්න කෙනෙකුට දුන්නා. ඉන් පස්සේ මම ඉබාගාතේ ඇවිද්දා. දකින දකින මිනිස්සු මාව අරගෙන ගියා. සමහර දවස්වලට මාව පොලීසියට අහු වුණා. උසාවි දැම්මා. හිරේ ගියා.

දැන් මම කුණුවෙච්ච අඹ ගෙඩියක් වගෙයි. කාටවත් මගෙන් පලක් නැහැ. ඒත් පාරේ හිටියොත් බේරුමක් නැහැ. එහෙම දවසක තමයි මාව පොලීසියට අහු වුණේ. මාස තුනක දඬුවමක් ලැබුණා.

“ඔය රස්සාවෙන් අයින් වෙන්න බැරිද?”
දැන් මේ රස්සාව කරන්නේ වේලක් කන්න. හිරේ ආවාම තුන්වෙලම සැපයි. පාරේ ජීවිතේ එපා වුණාම පොලීසියට අහුවෙන්න ඉන්නවා.

ගංජා සුරුට්ටුවක් දෙකක් තියන් ඉඳලා අහුවුණාම මාස තුන හතරක් හිරේ ලැගලා සැප විඳින්න පුළුවන්.

ඒකයි මම කිව්වේ එළියට වඩා හිරගෙදර සැපයි කියලා. අනිත් ගෑනුන්ට හම්බ වෙන විසිට්වලිනුත් මට නොයෙක් කෑම හම්බ වෙනවා. කරදරයකුත් නැහැ. ඇය පවසන්නට වුණේ සැහැල්ලුවෙනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button