පළකල දිනය : Tue, Sep 5th, 2017

අද මම බෝඩිං කාමරයක හුදකලා වෙලා !

රසික හදවත් සිනහවෙන් පිරවූ නළුවෙක් තමයි ජයසේකර අපොන්සු කියන්නේ. ඉතිං ඔහුගේ ඒ රංගන ජීවිතය ගැනත් සැබෑ ජීවිතය ගැනත් සතිඅන්ත පුවත්පතකට ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා.

අපි කොයි කාටත් පුංචි සන්දිය සිහිපත් කරන එක සතුටක් ගෙන එන හැඟීමක්. ඔබටත් එහෙමද?
අ‍පොයි ඔව්. මගේ ගම සුන්දර නුවරඑළියේ පිහිටි හාවා එළියයි. මම ඉගෙන ගත්තේ ගාමිණී මහ විදුහලින් මගේ තාත්තා (ගුණසේකර අ‍පෝන්සු) සිනමාවේ මුල් යුගයේ ජනප්‍රිය නළුවකුව හිටි එඩී ජුනියර්ගේ තාත්තා යටතේ සංගීතය හදාරලා තියෙනවා.

අම්මා (ප්‍රේමාවතී පීරිස්) නවකතා ‍පොත් කියවන්න පිස්සු වැටුණු කෙනෙක්. අපි සාමාන්‍ය පවුලක්. මට නංගිලා හතර දෙනෙක් හිටියා. මමයි පවු‍ලේ වැඩිමලා.

සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කළත් මට කැම්පස් යන්න බැරි වුණා. දෙවැනි පාර විභාගේ නොකර කොළඹ මාලිගාවත්තෙ ලියවන පට්ටල් වැඩ ‍පොළකට මම ආවේ රැකියාවක අවශ්‍යතාවය වගේම නළුවකු වීමේ සිහිනයත් සැබෑ කර ගන්නයි.

නළුවෙක් වෙන්න ඔබ දුෂ්කර ක්‍රියා කරද්දී දුක්බර අත්දැකීම්වලට මුහුණ දෙන්න ඇති. ඒ දුක තුළින් සතුටක් උදාවන්න ඇති. මම කියපු දේ හරිද?

සියයට සීයක් ඇත්ත. මම මුලින්ම රඟපාන්න අවස්ථාවක් ඉල්ලලා අධ්‍යක්ෂවරු හොයාගෙන. ගෙවල් ගානේ ගියා. චිත්‍රාගාරවලට ගියා. මේ විදියට යද්දී මාව රස්තියාදු කරවලා අන්තිමට අවස්ථා නොදී මගහැරවූ බොහෝ දෙනෙක් හිටියා. එක අධක්ෂවරයෙක් මට කීවා., නළුවෙක් නොවී ගමට ගිහින් අල වවනවා කියලා.

ඔහොම ගිහින් එම්.ඩබ්. කරුණාරත්නගේ සමන්මලී කියලා 16 ථථ චිත්‍රපටයක රඟපාන්න මට අවස්ථාවක් ලැබුණා. ඒත් එය අතරමග නැවතුනා. එතැනදී අඳුනා ගත්තු කිංස්ලි රාජපක්ෂගේ සිනාවයි ඉනාවයි චිත්‍රපටයේ එම්. එස්. ප්‍රනාන්දු ගයන සිනාවයි ඉනාවයි සදා වාසනාවයි ගීතය ඇතුළත් ජවනිකාවේ පෙනී සිටින්න මට වාසනාව තිබුණා.

ඔය විදියට පුංචි පුංචි චරිත රඟපාලා සුහද පැතුම චිත්‍රපටයේ විකට ජවනිකාවක් රඟපාන්න ලැබුණා. ඒ තුළින් විශාල ජනප්‍රියත්වයක් ලැබුණා.

1975 රන් ලන්තෑරුමවේදිකා නාට්‍යයේ රඟපාලා හොඳම නළුවා ලෙස සම්මානත් දිනා ගත්තා. එදා මා එක්ක සම්මානයට තරග කරන්න විජය නන්දසිරි, රවීන්ද්‍ර රන්දෙනිය, නීල් අලස්, වික්‍රම බෝගොඩ, සිරිල් වික්‍රමගේ වැනි ප්‍රවීණයන් හිටියා. 1984 මා නිර්මාණය කළ පාතා‍ලේ සොල්දාදුවෝ නාට්‍යය සම්මාන 13ක් ලබලා රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේ වාර්තාවකුත් පිහිටෙව්වා.

ඔබේ කලා දිවිය දුකින් සතුටට හැරෙද්දී පෞද්ගලික ජීවිතය සතුටින් දුකට පත් වුණා නේද?
මම 1975 දී විවාහ වුණා. ඒත් 1978දි ඒ විවාහය බිඳ වැටුණා. ඉන්පසු මම දෙවැනි වතාවට විවාහ වුණා. ඇය මාව හැර දමා විදෙස් ගත වුණා. තුන්වැනි වතාවට විවාහ වුණත් ඒ විවාහයත් බිඳ වැටුණා.

ජීවිතයට ළංවූ ඒ කාන්තා චරිත සිහිපත් කරද්දි අද ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? එහෙමත් නැත්නම් ඒ අය ගැන වෛරයක් තරහක් වැනි හැඟීමක්ද?
ඒ තිදෙනාම පිළිබඳ මා තුළ තිබෙන්නේ ගෞරවයක්. පිළිගැනීමක් ඕනෑම ගැහැනියක් තමන්ගේ සැමියා ස්ථාවර වෙනවා දකින්න කැමතියි. මම කලාවටම බිහි වූ කෙනෙක්. වෙන කිසි දෙයක් කරලා නැහැ. අඩුම තරමින් දේශපාලනඥයන් හා හිතවත්කම් ඇතිකරගෙන ප්‍රතිලාභ ලබලත් නැහැ.

මම කලාවෙන් හම්බ කරලා හදපු ගේයි ඉඩමයි සින්න වෙලා පාරට බහින්න වුණෙත් රෑ රූචිත්‍රපටය කරන්න ගිහින්. පවුල් ජීවිත දෙදරා යන්න බලපෑ එක හේතුවක් තමයි මගේ ආර්ථිකය. මොකද මට ළංවූ හැමෝටම ඕන කළේ සල්ලි විතරයි.

අද ගෙවන හුදකලා ජීවිතය ඔබට සතුටක්ද දුකක්ද?
අද මම බෝඩිං කාමරයක හුදකලාව, නිර්මාණ කරමින් ජීවත් වෙනවා. නංගිලා මා ගැන සොයා බලනවා. ඒත් මම කැමති නැහැ කාටවත් කරදරයක් වෙන්න. මම මේ බෝඩිමට වෙලා සුපුරුදු විදියට කලාව කරගෙන ඉන්නවා. මේ දවස්වල මගේම වේදිකා නාට්‍ය කිහිපයක පුහුණුවීම් පටන් අරගෙනයි තියෙන්නේ. සිනමා පටයක් අවසන් අදියරේ තියෙනවා. තවත් චිත්‍රපටයක් කරන්නත් සූදානමින් ඉන්නවා.

ජීවිතය පිළිබඳ ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?
මම ජීවිතේ කිසිම දාක අනියම් සබඳතා පවත්වලා නැහැ. රඟපාන්න චාන්ස් දෙන්නම් කියලා ගැහැනු ළමුන්ට අයුතු යෝජනා කරලා නැහැ.

කොටින්ම කියනවා නම් ගණිකාවන් හොයාගෙන ගිහිල්ලත් නැහැ. මම හැමදාම බලා‍පොරොත්තු වුණේ ආදරෙයි. බිරිඳයි දරුවොයි එක්ක ගෙවන ලස්සන පවුල් ජීවිතයකට මම හැමදාම හීන මවනවා. සමහර විට හතරවැනි වතාවටත් මම විවාහ වෙන්න බැරි නැහැ.

ඒත් කලාව හැර වෙන කිසිම වෘත්තියකට හිත හදාගන්න මට පුළුවන්කමක් නැහැ.

ඒත් කලාවම වෘත්තිය කරගත්තු කෙනෙකුගේ ආර්ථිකය ස්ථාවර නැහැ. එය විඳ දරාගන්න බිරියක් කැමති වන්නේ නැහැ. ඒකට ඔවුන්ට දොස් කියන්න බැහැ. ගැහැනියක් විදියට බිරිඳක් විදියට ඒ අය සාධාරණයි. ඉතින් මම මොකද කරන්නේ?

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button