පළකල දිනය : Tue, Sep 5th, 2017

"නාරද සාරංග ගැන හොයලා බැලුවේ නෑ"

තිලකා රණසිංහ කියන්නේ දක්ෂ නිවේදිකාවක්. ඒවගේම සාරංග දිසාසේකරගේ ආදරණීය මවත් ඇයයි.

ඇයගේ සැමියා ගායකයෙක්. ඒ නාරද දිසාසේකර. ඒත් සාරංග පුංචි කාළෙම ඔහු ඒ පවුලෙන් ඈත් වනවා.

ඉතින් මේ හැමදේ ගැනම සාරංගගේ මව තිලකා රණසිංහ පුවත්පතක් හමුවේ කියා ඇත්තේ මෙලෙසින්.

තිලකා… විවාහ වුණ අලුත ආසාවෙන් හිටියෙ දුවෙක්ටද… පුතෙක්ටද…?

මායි නාරදයි විවාහ වුණේ අසූව දශකයේ. විවාහ වුණ අලුත ඉඳන්ම අපි දෙන්නම පුතෙක්ටද… දුවෙක්ටද… කියලා එහෙම එක්කෙනෙක්ටම කියලා ආසාවෙලා හිටියේ නෑ. අපිට ඕන වුණේ හොඳ නිරෝගී දරුවෙක් විතරයි. පුතා ඉපදුණේ කළුබෝවිල රෝහලේ.

දරුපැටියෙක් කුසට ආවට පස්සෙ එක එක ආසාවල් එනවනෙ… තිලකටත් එහෙම ආසාවල් ආවද…?
පුංචි පුංචි ආසාවල්නම් ආවා. හැබැයි ටිකක් වෙනස් විදිහේ කෑම කන්න තමයි ආස වුණේ. ඉස්සර මම ඔය ආප්ප එහෙම කෑවෙ නෑ. හැබැයි පුතා කුසට ආවට පස්සෙ මට ආප්පයි කෙසෙල් ගෙඩියි කන්න නම් ආස හිතුණා.

සාරංග ඉපදෙද්දි මොනවගේද?
පුතා ඉපදෙද්දි එයා අනිත් දරුවන්ට වඩා ටිකක් බරින් වැඩියි. ඒ නිසා සිසේරියන් සැත්කමකින් තමයි සාරංගව ගන්න සිද්ධ වුණේ. එයා ටිකක් හැදිලා වැඩියි. කොහොමටත් ඩොක්ටර්ස්ලා කිව්වෙ පුතා මාස තුනක විතර දරුවෙක් වගේ කියලයි.

ඉතින් වාට්ටුවෙ ඩොක්ටර්ස්ලා පවා පුතාට හරි ආදරෙයි. හැමෝම මෙයාට ඉස්පිරිතාලෙදි කිව්වෙ ලොකු මහත්තයා කියලයි. ඩොක්ටර්ස්ලා ඇඳ ළඟට බලන්න එන්නෙත් කෝ… ලොකු මහත්තයා නිදිද… කියලයි. පුතා ඉපදෙද්දි එයාගේ බර රාත්තල් 9.14 යි. ඒ නිසා අනිත් වාට්ටුවල ලෙඩ්ඩු, එතකොට ලෙඩ්ඩු බලන්න එන අය පවා පුතාව බලන්න අපේ වාට්ටුවට ආවා.

ඒ නිසා ඩොක්ටර්ස්ලා මාවයි පුතාවයි වෙනමම කාමරයකට දාලා දුන්නා. ඒ තරමටම පුතාව බලන්න කට්ටිය ආවා.

කොහොමද පුතාගේ වැඩවලට හුරුවුණේ?
ඒ දේවල් ගැන මට එහෙම ලොකු දැනුමක් තිබුණෙ නෑ. හැබැයි මගේ අක්කලාටත් දරුවො හිටියා. මගේ ලොකු අක්කගේ පළවෙනි දුව චූටි කාලෙ හිටියෙ අපේ ගෙදර. ඒ නිසා අපිත් එයාට හරි ආදරෙයි. ඒ නිසා දරුවන්ගේ කරන වැඩ කටයුතු මම දැකලා තිබුණා. කරලා තිබුණා. ඒ වගේම මට හැමෝම ඒ දේවල්වලට උදව් කළා. කොහොම හරි හෙමි හෙමිහිට මම ඒ හැමදෙයක්ම හුරුවුණා.

පුංචිම පුංචි කාලෙ සාරංග දඟයි. යන්තම් ඇවිදින කාලෙදිනම් සාරංග ටිකක් දඟයි. හැබැයි සාරංග කිසිම කරදරයක් දුන්නෙ නෑ. පවුලේ හැමෝම සාරංගට ආදරෙයි. වටපිටාවෙ අය සාරංගව විනාඩි 10කට 15කට අරගෙන ගිහින් ආයෙ ගෙදර එක්කගෙන එන්නෙ සෙල්ලම් බඩු ගොඩාක් උස්සගෙනයි. සාරංග පුංචි කාලෙ හරි හුරතල්.

ඔය කාලෙදි තිලකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කරනවා..?
ඔව්… ඔව්… මම ඉතින් පුතාව දාලා යන්නෙ හරිම දුකෙන්. හරිම අමාරුයි. මම යද්දි මට හරිම දුකයි. මෙයා මාව බදාගෙන අඬනවා. ඉතින් මම හිත හදාගන්නෙ සැරවැර කරලයි. ආදරෙන් කියද්දි දුක වැඩියි. ඒ නිසා හිත දැඩි කරගෙන සැර කරගෙන මම මෙයාව දාලා යනවා. සමහරදාට මම ගෙදර ඇවිත් කිරි දීලා පවා ගිහින් තියෙනවා.

පහු කාලයෙදී ගුවන් විදුලිය සාරංගටත් හුරුපුරුදු තැනක් වුණා නේද…?
ඔව්… ඉස්කෝලෙ යන කාලෙන් පස්සෙ ඉස්කෝලෙ ඇරිලා සාරංග ගුවන් විදුලියට එනවා. ආයෙ ඉතින් අපි දෙන්නා හවස්වෙලා ගෙදර යනවා.

ඒ නිසා පහු කාලෙයෙදී ගුවන් විදුලි වැඩසටහන්වලට සාරංගට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් හොඳ පුහුණුවීමක් සාරංගට ලැබුණා. ටිකක් ලොකු වෙද්දි පුතා ළමා වැඩසටහන්වලට සහභාගි වුණා. එයාව පරීක්ෂණවලට තියලා නිවේදකයෙක් විදිහටත් තේරුණා.

කොහොමද ළදරු පාසලේදි සාරංග…?
ඒ වෙනකොට අපිට අත්උදව්වට ගැහැනු ළමයෙක් හිටියා. ඉතින් එයත් එක්ක කෑම පෙට්ටිය, වතුර බෝතලය, බෑග් එක එහෙමත් ලෑස්ති කරගෙන සාරංගවත් අතින් අල්ලගෙන ළදරු පාසලට මුලින්ම එක්කගෙන ගියා. එදාට ඉතින් හැම ළමයෙක්ම අඬන නිසා මාත් ඉතින් හරිම දුකෙන් මෙයාවත් එක්කගෙන ගියා.

මොන්ටිසෝරියෙදිත් හැම ළමයෙක්ම අම්මා තාත්තා බදාගෙන අඬනවා. ගුරුවරුන්ට බාරදීපු හැම ළමයෙක්ම අඬාගෙන අම්මා තාත්තා පස්සෙන් එළියට දුවගෙන එනවා. එතැන එකම කාලගෝට්ටියක්. ඉතින් අපිත් සාරංගව අතින් අල්ලගෙන ගුරුවරියට බාර දුන්නා. එතැන යකඩවලින් ගහපු පොඩි ගේට්ටුවක් තියෙනවා.

ඉතින් මම ගුරුවරියට බාරදීලා පුතාගේ අත අතහැරලා අර ගේට්ටුවෙන් එළියට ආවා. අපි ඇස්වල කදුළු පුරවගෙන බලාගෙන හිටියා. සාරංග හෙමිහිට අර ගේට්ටුව ළඟට ඇවිත් අම්මා… ටටා… අම්මා… කියලා හිනාවෙලා කිව්වා. අපිට හරි පුදුමයි. එයා ඇඬුවේ නෑ. ඉතින්… අපි ගෙදර ආවා. මොන්ටිසෝරියට යන්න එයා හරි ආසා කළා. ඒ මොන්ටිසෝරියට දාපු මුල්ම දවසෙ උදේ ඇඳුම් ඇඳලා අපි ෆොටෝ එකක් ගනිද්දි සාරංග එකපාරටම අතින් සැලියුට් එකක් ගැහුවා. තාමත් ඒ ෆොටෝ එක මා ළඟ තියෙනවා.

සාරංග තර්ස්ටන් ආදි ශිෂ්‍යයෙක්. කොහොමද සාරංගගේ පාසල් ජීවිතේ…?
එයා පාසලේදී හොඳ දරුවෙක් වුණා. පාසලේ කථික තරගවලදී, විවාද තරගවලදී එයා හොඳ ශිෂ්‍යයෙක් වුණා. කලා උළෙලේදී එයා හැමදේකටම සහභාගි වුණා. එයා දෙවැනි වසරේ ඉදිද්දි හරි අපූරු සිද්ධියක් වුණා. එයා දෙක වසර පන්තියට ගියපු අලුතම පන්තියේ යහළුවෙක්ට ගහලා දතක් ගැලවිලා වැටුණා.

ඉතින් පන්ති භාර ගුරුතුමිය මට පණිවිඩයක් එවලා තිබුණා ඉස්කෝලෙට එන්න ඒ දරුවගේ අම්මත් එනවා කියලා. ඉතින් මාත් බයෙන් ගියා. ඒ අම්මා මට කිසිම දෙයක් කිව්වෙ නෑ. හොඳට කතා කළා. පස්සෙ ඒ ගුරුතුමිය අර පොඩි පුතාගෙන් පුතා… ඔයාට මෙයා මොකද කළේ… ඇහුවා.

ඒ දරුවා මෙයා මට ගැහුවා… කිව්වා. අපේ පුතාගෙන් ඇහුවා ඔයා මෙයාට ගැහුවද… කියලා. අහද්දි පුතා හ්ම්… කියලා කිව්වා. එතකොට දත කැඩෙන්න ගැහුවෙ ඇයි ගුරුවරිය අහද්දි අර පුතා නෑ… ටීචර්… මගේ ඒ දත හෙලවි හෙලවි තිබුණේ… කියලා කිව්වා. අපි හැමෝටම හරිම හිනා.

සාරංග… කලාවට සම්බන්ධ වීමත් එක්ක බොහෝ ජනප්‍රිය වුණා. අම්මා කෙනෙක් විදිහට මොකද හිතන්නෙ..?
පුංචි කාලේ සාරංගට මරණං සමාප්තිය කියලා කෙටි චිත්‍රපටයකට දායක වෙන්න ලැබුණා. ඒ රඟපාද්දි සාරංගගේ වයස අවුරුදු දහයක් විතර ඇති. එකෙ ප්‍රධාන චරිතය රඟපෑවෙ අයිරාංගනී සේරසිංහ මහත්මිය. ඒකෙදි පුතා හොඳට රඟපාලා තියෙනවා. එදා සේරසිංහ මහත්මිය මගේ ඇස්වලට පුතා කදුළු ගත්තනේ…

කොහොම හරි පුතාට හොඳ ඉදිරියක් තියෙනවා… කියලා පුතාගේ ඔළුව අතගාලා කියලා. මම හිතන්නෙ පුතාට ලැබිච්ච මුල්ම සම්මානය තමයි ඒක. ඊටපස්සෙ පුතා මාත් එක්ක වෙළෙඳ දැන්වීම්, හඬකැවීම් බොහොමයක්ම කළා.

සාරංග පුංචි කාලෙදිම නාරද ඔබේ පවුලෙන් ඈත්වෙනවා නේද…?
ඔව්… පුතාව ලොකු ඉස්කෝලෙට දාන කාලෙදි නාරද අපිත් එක්ක හිටියෙ නෑ. ඒ නිසා පුතාගේ ජීවිතේදි එයා ළඟ තාත්තා හිටියේ අවුරුදු පහක් වගේ තමයි.

ඒ නිසා පුතාට තාත්තගේ අඩුව ලොකුවටම දැනුණේ නෑ. පුතාට තාත්තා නැති අඩුව කොහොමින් කොහොම හරි නැති කරන්න මම ලොකු කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් මගේ පවුලේ උදවිය ගොඩාක් උදවු කළා. විශේෂයෙන් මගේ අයියා (ඩග්ලස් රණසිංහ) සාරංග ගැන ගොඩාක් හොයලා බැලුවා.

නාරදගේ අවසන් කාලෙදි ඔහු සාරංග ගැන හොයලා තිබුණා නේද…?
ඔව්… කවදාවත් නාරද ගැන තරහවක් මම සාරංගගේ හිතේ ඇති කළේ නෑ. හැබැයි නාරද සාරංග ගැන හොයලා බැලුවේ නෑ. අඩුම තරමේ සාරංගගේ අධ්‍යාපනය ගැනවත් හොයලා බැලුවේ නෑ.

කොහොම හරි අසනීපවෙලා නාරද ලෙඩ ඇඳේ අසාධ්‍යව ඉඳිද්දි නාරද පුතා ගැන අහලා තිබුණා. ඒ නිසා අපි සාරංගට කිව්වා ගිහින් බලන්න කියලා. සාරංග සතියක් තිස්සේ තාත්තා බලන්න ගිහින් එයාට කවන්න කියද්දි කවලා පොවලා තිබුණා. අවසාන කටයුතුවලටත් එයා සහභාගි වුණා.

අද සාරංග ජනප්‍රිය කලාකරුවෙක්. සාරංගගේ ජීවිතේ ගැන අද හිතද්දි මොකද හිතෙන්නෙ?
සාරංග පුංචි කාලෙදිවත් ලොකු කාලෙදිවත් පුතාගෙන් මට කිසිම කරදරයක් වුණේ නෑ. පුතා කවදාවත් මගේ හිත කැඩුවේ නෑ. මොන ප්‍රශ්න එයාගේ ජීවිතේට ආවත් එයා ඒ ප්‍රශ්න මගේ හිතට දෙන්න බය වුණා.

හැබැයි මාත් එක්ක හැමදෙයක්ම ගැන කතා කරනවා. ඉස්පිරිතාලෙදිත් එයා හැමදෙයක්ම මට කිව්වා. පුතා විනෝදයෙන් ඉන්න හරි ආසයි. ඉතින්… ජීවිතේ සතුට වගේම හැම දුකක්ම පුතා මට කියනවා. පුතා වගේ දරුවෙක් ලබපු මම හරි වාසනාවන්තයි.

උපුටා ගැනීමකි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button