පළකල දිනය : Mon, Sep 25th, 2017

ආදරය කළ කෙනා ඈත් වුනාම ආදරෙන් බැටකෑව හැටි කියපු ධනුක

ධනුක දිල්ෂාන් කියන්නේ දැන් කලා ලොවේ නිතර කියවෙන නමක්.

ඔහු රංගනයෙන් දායක වන ධර්මයුද්ධය චිත්‍රපටත් මේ දවස් වල තිරගත වනවා.

ධනුකගේ ‘අහිමි වූ ආදරය‘ ගැන මෙවර සති අන්ත පුවත්පතකට කියලා තිබුණා.මේ එම සංවාදයයි.

ඉස්සෙල්ලාම අපිට කියන්න ධනුක දිල්ෂාන් කියන ඔබ මොන වගේ දේවල්වලටද වැඩියෙන්ම සතුටු වෙන්නේ කියලා?
 
මගේ අය සමග එකට ගත කරන එක තමයි මට තියෙන ලොකුම සතුට. “මගේ අය කියලා කිව්වේ. “මගේ පවු‍ලේ අය… මගේ යාළුවෝ… ඒ හැමෝම.

මගේ කිව්වම “මගේ ආදරය” කියන දේත් අයිතිනේ. ධනුක ආදරය කළ කෙනා ධනුක ළඟ ඉඳීම සතුටක් නම් එයා ඈතක ගියොත් මොන වගේ හැඟීමක් ඇති වෙයිද?
ඒ දුක වින්දේ 2010 දී. ඒ මගේ පාසල් ප්‍රේමය අහිමි වූ දවසේදී. ඊට පස්සේ නම් ඒ දුක විඳලාම නැහැ.

දැන් ලැබිලා ඉන්න කෙනා ළඟම ඉන්න නිසා ඒ සතුට විඳිනවා. ඒ නිසා දුකක් නැහැ. එහෙම නේද?
ප්‍රථම ප්‍රේමය බිඳී ගියාට පස්සේ මම කාටවත් ස්ථිරව ප්‍රේම කරලා නැහැ.

ප්‍රේමයක් නැතිව කෙනෙක්ව ජීවිතය ළඟින්ම තියාගෙන ඉන්න එක ඔබට සතුටක්ද?
මගේ ළඟ ඉන්න හැමෝම මගෙ මිතුරෝ හා මිතුරියෝ විතරයි. මිතුරු මිතුරියන් ළඟ ඉන්න එක සතුටක් තමයි. හැබැයි මම කී දේවල් වැරදියට වටහා ගන්න එපා. ඒ හැම සම්බන්ධතාවක්ම මිතුරු සබඳතා විතරමයි.

පහුගිය කා‍ලේ ධනුකගේ ඔය මිතුරු සබඳතා ගැන කටකතා පැතිරුනා නේද?
ඒ කටකතාවලට පිළිතුරු දැන් ලැබෙමින් පවතිනවා නේද? මගේ නිදොස් බව කාලයා විසින් විසඳාවි.

ධනුක හිතන්නේ වැඩි සතුටක් රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
මම නිදහස තුළින් ලොකු සතුටක් විඳින කෙනෙක්. අද මම තනිකඩ ජීවිතයේ උපරිම සතුට විඳිනවා. දැනට නම් මම හිතන්නේ වැඩිම සතුටක් තියෙන්නේ තනිකඩ ජීවිතය තුළ කියලා. හැබැයි ඉතින් මම කවදා හරි විවාහ වෙයි. එදාට මම ජීවිතය සතුටින් බාර ගනීවි.

සතුට තියෙන්නේ තනිකඩ ජීවිතය තුළ නම් ඇයි ඔබ විවාහ වෙන්නේ?
විවාහ ජීවිතය කියන්නෙත් කෙනෙකුගේ ජීවිතයට අවශ්‍ය දෙයක්නේ.
 
විවාහය අවශ්‍ය ලෝක සම්මතයට නිසා සතුටින් හෝ දුකින් හෝ අනිවාර්යයෙන්ම ඊට මුහුණ දිය යුතුයි කියන තැනද ධනුක ඉන්නේ?
කොහෙත්ම නැහැ. කඩදාසියක අත්සන් කළ පමණින් දෙදෙනකු අතර බැඳීමක් ඇතිවෙන්නේ නැහැ. අනික ඒ විදියේ සහතිකයක් නැතුව වුණත් දෙදෙනකු අතර ආධ්‍යාත්මික බැඳීමක් තියෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ අන්න ඒ ආධ්‍යාත්මික බැඳීමයි.

ඒ ආධ්‍යාත්මික බැඳීම තියෙනවා නම් විවාහ නොවී වුණත් කෙනෙකු සමග එක වහලක් යට දිවි ගෙවීම “ධනුකට සතුටක්?” එහෙමද?
ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන ටිකක් පුළුල් විදියට. විවාහ නොවී දෙදෙනකු එක වහලක් යට ජීවත් වීම බටහිර රටවලට සාමාන්‍ය දෙයක්. සුද්දගේ ඇඳුම අඳින සුද්දගේ භාෂාව භාවිත කරන, ඒ හැමදේම ගන්න අපි ඔතැනදී විතරක් සංස්කෘතිය ඉස්සරහට දානවා.

ඒත් ඔය කියන සංස්කෘතියට මුවාවෙලා අපි බොහෝ දේ කරනවා. මම ඒ බොරුවට විරුද්ධයි. ඒ මගේ මතය. හැබැයි මම මගේ පැත්තෙන් ගත්තොත් ජීවිතේ බෙදා හදා ගන්න ගැළපෙන කෙනෙක් මට මුණගැහුණොත් මම එයා එක්ක එකතු වෙන්නේ සමාජ සම්මතයට අනුවයි. විවාහ වෙලා, ඊට පස්සේ සතුටින් යුග ජීවිතේ ගෙනියනවා.

ධනුකට අනාගතය ගැන හිතන විට ඇතිවන්නේ සතුටක්ද? දුකක්ද? එහෙම නැත්නම් මොන විදියේ හැඟීමක්ද?
කිසිම හැඟීමක් නැහැ. මම නිතරම ජීවත් වෙන්නේ මේ මොහොතේ. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි බෞද්ධ දර්ශනය, බැඳීම්වලින් හිත නිදහස් වෙද්දී දැනෙන සතුට ඔය හැම තාවකාලික සතුටකටම වඩා වැඩියි.

ධර්ම ‍පොත පත පරිශීලනය කරමින්, බණ භාවනා කරමින් ධනුක ඒ සතුට විඳිනවාද?
මම දහම් පාස‍ලේ ධර්මාචාර්ය දක්වා බෞද්ධ දර්ශනය හදාරලා තියෙනවා. දැනට විවේකයක් ලැබුණාම ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා හමුවෙලා ධර්මය ගැන සාකච්ඡා කරනවා. තවම භාවනානුයෝගී ජීවිතයක් ගැන අවශ්‍යතාවය හිතට දැනිලා නෑ. ඉදිරියේදී එහෙම දැනුණොත් ඊට යොමුවෙන්නත් බැරි කමක් නැහැ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button