පළකල දිනය : Tue, Oct 17th, 2017

ලංකාවේ පළමු මොටර් සයිකල් ලයිසන්කාරියගේ අපූරු ජිවිත කතාව

ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින් සිටියදී ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ගමෙන්ද අපූරු සිදුවීමක් අසන්නට ලැබි තිබිණි.

ඒ හිස ආවරණය වන සේ ‍ලේන්සුවක් බැඳ අව් කණ්ණාඩි යුගලක් පැලඳූ කාන්තාවක් එල් බෝඩ් ගහගෙන මෝටර් සයිකලයක් පැදගෙන යාමය.

අන්න ගෑනු කෙනෙක් මෝටර් සයික‍ලේකින් යනවෝ යැයි පාරේ සෙල්ලම් කරමින් සිටි කොලු කුරුට්ටන් කීප දෙනෙක් මහා හයියෙන් කෑ ගසද්දී ඒ හඬ ඇසුනු ගම්මුන් වහ වහා මහ පාරට දිව ආවේ මේ අපූරු සිදුවීම දැකගන්නටය.
 
මෙසේ දිව ආ එක එක ආකාරයේ කාන්තාවෝ වූහ. කුස්සියේ ‍පොල් මිරිකමින් සිටියදී ‍පොල් කුඩු රැඳුන අත, ඇඳ සිටි චීත්ත ‍පොටින් පිස දමමිනි.

තම දරු පැටියාට කිරි ‍පොවමින් සිටි තවත් තරුණ මවක් කිරි දීම පසෙක තබා දරු පැටියාද ඔසවාගෙන දිව ආයේ විවර වූ හැට්ටයෙන් එළියට පෙනෙන පියයුරු අතින් වසා ගනිමිනි.

කොල්ලන්ගේ හඬ ඇසී විනාඩි කිහිපයක් යන්නට මත්තෙන්’පෙරහරක් නරඹන්නට තරම් පාරේ සෙනඟ පිරුණේ මේ අපූරු සිද්ධිය නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කිරීමටත් වඩා ගණේමුල්ල ගම් වාසීන් පුදුමයට පත් කරවූවක් බැවිනි.මගෙ අප්පේ මෙන්න බො‍ලේ මගේ ජීවිතේට ඔය දැක්කමයි ගෑනු කෙනෙක් මෝටර් සයිකල් පදිනවා. ඒ අතර සිටි වයස්ගත මවක පැවැසූයේ හරියට අටවෙනි පුදුමය දුටු අයුරිනි.

ගම්පහ වේයන්ගොඩ ඉපිද ගණේමුල්ල ගමේ ප්‍රාම් දෙල්දෙනිය සමග විවාහ වී ගණේමුල්‍ලේ පදිංචියට ආ ඇය විමලනයනා දෙල්දෙණිය නම් වූවාය. ඇගේ නම එසේ ඉතිහාස ගත වී ඇත්තේ ශ්‍රී ලංකාවෙහි මෝටර් සයිකල් පැදීම සඳහා බලපත්‍රය පළමු වරට ලබා ගත් කාන්තාව හැටියටය.

ලංකාවේ මුල්ම බලපත්ලාභී යතුරු පැදිකාරිනිය වීමේ නිදාන කතාව ඇය දිග හරිනුයේ මෙසේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරන් රස්සාවක් නැතිව මට අවුරුද්දක් විතර ගෙදර ඉන්න වුණා. විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයනවේදී පශ්චාත් උපාධියක් දෙන්න යනව කියල.

හැබැයි අන්ධ ළමුන්ට අධ්‍යාපනය දීම පිළිබඳ හැදෑරීමක් මේ විෂය මාලාවට ඇතුළත් වෙල තිබුණා. කෝකටත් කියා ඊට අයදුම් කළ නයනාව පාඨමාලාව හැදෑරීමට තෝරාගෙන තිබුණි.

පාඨමාලාව සම්පූර්ණ කළ ඇයට ‘විශේෂ අධ්‍යාපනයද පිළිබඳ ගුරු පත්වීමක් ලැබුණු අතර ඒ අනුව ඇය රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණේ 1969 ජුනි තුන්වැනිදාය. ඒ වන විට නයනාගේ කුළුඳුල් පුත් රුචිර මාසයක් වයසැති බිළිඳෙකු වුවද ප්‍රසූති නිවාඩු ගැන සිතමින් ළත නොවූ ඕ නියමිත දින සේවයට ර‍පෝර්තු කළාය.

ඒ කා‍ලේ අන්ධ ළමයින්ට සාමාන්‍ය පාසලකට දාලා උගන්වනවා කියන එක විශාල අභියෝගයක්. ඕව නම් කවදාවත් කරන්න පුළුවන් වැඩ නෙවී. ඔහොම හිතපු විදුහල්පතිවරුන්ගේ ආකල්පය වෙනස් කරන එකත් පහසු වුණේ නැහැ.

මෙවැනි තත්ත්වයක් යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සොයා ගෙවල් ගානේ ඇවිද ගොස් ඒ දරුවන් පාසල් යැවීමට දෙමාපියන් කැමති කරවාගැන්ම මහත් අසීරු කාර්යයක් විය. එහෙත් නයනා එම අභියෝගය හමුවේ ද පසු බැස්සේ නැත.ඇය තම ගුරු ජීවිතයේ විස්මිත අත්දැකීම් ගැන මෙසේ පවසන්නීය.
 
ගම්පහ මිරිස්වත්තේ කනිෂ්ඨ විද්‍යාලයට සඳමාලා කියලා අන්ධ දැරියක් ඇතුළත් වුණා. පුදුමෙ කියන්නේ පළවෙනි සුමානෙදීම බ්රේල් මුල් ‍පොත කියෙවුවා.

සාමා අමර තමයි ඒ මුල් ‍පොතේ හිටියේ. හරියට අපේ හෝඩි ‍පොතේ වගේ.මේ සඳමාලා දැරිය පාසල් ගතවී වසරක් පමණ ගතවෙද්දී අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැති අතර එම ප්‍රදර්ශන භූමියේදී සඳමාලා බ්රේල් පාඩම කියවන හැටි බලන්නට සෙනඟ වැල නොකැඩී පැමිණ තිබුණි. සඳමාලිගේ ඉදිරිපත් වීම නිසා ඇති වූ දිරිගැන්වීම තමයි මට අදත් තියෙන්නේ. ඇත්තටම විශේෂ අධ්‍යාපනය දිගටම කරගෙන යන්න මා තීරණය කළේ ඇගෙන් ලද පන්නරය නිසයි.

එවකට අධ්‍යාපන ක්‍රමය යටතේ ළමයා ආසන්නම පාසලට ඇතුළත් කළ යුතු වෙද්දී ගුරුවරුන්ගේ වගකීම වූයේ ළමුන් සොයා යාමය. ඒ අනුව එය දිනක් තුළ පාසල් කිහිපයක සිටින විශේෂ දරුවන් කිහිප දෙනෙකුට ඉගැන්වීමට යාමට නයනාට සිදුවූවාය.

අද මෙන් ‘පෞද්ගලික බස් රථ නොතිබුණ ඒ කාලයේ මෙය පහසු කටයුත්තක් නොවීය. අවසානයේදී ඊට විසඳුම් ලෙස විශේෂ අධ්‍යාපනයේ යෙදුන ගුරුවරුන්ට මෝටර් සයිකල් දීමට රජයට සිදුවිය.විශේෂ අධ්‍යාපනය භාරව කටයුතු කළ ‘ලීසන් හෙල්ද්’ කියන නෝනා තමයි අපිට මෝටර් සයිකල් අරගෙන දුන්නේ. 1969 ජූලි මාසෙ ලීසන් නෝනා ඇගේ කිරුළපන තිබුුණ ගෙදරට අපිව එක්ක ඇවිත් ඒ ගේ ඉස්සරහ ‍ලේන් එකේ අපිට මෝටර් සයිකල් පදින්න පුරුදු කළා.

පවු‍ලේ බඩපිස්සිය වූ නයනා කුඩා කල සිටම ‘කොලු ගති තිබූ දැරියක වූයෙන් ගස් නගින්නට බයිසිකල් පදින්නට හැකියාව තිබිණි. එහෙයින් ජීවිතයට මෝටර් සයිකලයක් අතින්වත් අල්ලලා නැති ඇයට පැයක් ඇතුළත මෝටර් සයිකලය පදින්නට හැකිවිණි.

මෝටර් සයික‍ලේට ලයිෂන් ගන්න තිබුණ දවසේ මට පදින්න තිබුණේ ඇස් වාට්ටුව පැත්තෙ. මම මෝටර් සයික‍ලේ පැදගෙන ඉස්සරහින් යද්දී පරීක්ෂක මහත්තයා මගෙ පිටිපස්සෙන් කාර් එකේ ආවා. ඔන්න දැන් ඔක්කොම හරි. ඊළඟට අට ගහන්නය තිබුණේ. (අටේ හැඩේට පදින්න) ඔන්න සෙනඟ වට වුණා මම අට ගහන හැටි බලන්න හරියට ලෝක පුදුමයක් වගේ.

අටේ විස්කමද හොඳ හැටි පෙන්වූ නයනා සියලු පරීක්ෂණ ජය ගත්තාය. මේ නෝනා තමා ඉස්සෙල්ලාම මෝටර් සයිකල් ලයිෂන් ගත්ත කාන්තාව. ඒ හින්දා නිකම් බැහැ. මේක සමරන්න ඕනෙ. කියලා බලපත්‍ර කන්තොරුවෙ මහත්වරු සංග්‍රහයක් සූදානම් කළා.

කේක් කට්ලට් කිරි තේ සංග්‍රහය භුක්ති විඳ නිලධාරීන්ගේ ශුභාශිංසනය ලැබූ නයනා ආපසු නිවසට පැමිණියේ උතුරා යන සතුටින් යුතුවය.ඒ කාලෙ බලපත්‍ර ගාස්තුව රුපියල් පහකි. ඒත් නයනාගේ බලපත්‍රයට රජයෙන් මුදල් ගෙවූ නිසා ඇයට ඒ සඳහා වියදමක් නොවිනි.

සතියකට පසු මෝටර් සයිකල් බලපත්‍රය තැපෑලෙන් ඇය වෙත එවා තිබුණු අතර එතැන් සිට මෝටර් සයිකලයේ නැගී උදේ හවා රාජකාරියට යන එන ඇගේ දසුන ප්‍රදේශවාසීන්ට හුරු පුරුදු වූවක් විය.නයනා මොටර් සයික‍ලේ ගමන් යාම නවත්වා දින කිහිපයක් ගතවෙද්දී අපූරු දෙයක් සිදුවිය. ඇගේ ගමේ රෙදි නැන්දා හඬාගෙන නයනාගේ නිවසට පැමිණ තිබුණි.

මේ මිනිස්සු මොන තරම් නරකද? නෝනා මළා කිව්වනේ. රෙදි නැද්දා නයනාව බදාගෙන හඬන්නට වූවාය.මම මළා කියලා මුලින්ම මම දැන ගත්තේ රෙදි නැන්දාගෙන්. කවුදෝ ගෑනු කෙනෙක් මෝටර් සයික‍ලේක පිටිපස්සේ ගිහින් ඇක්සිඩන්ට් වෙලා. හැබැයි අන්තිමට ප්‍රචාරය ගියේ මෝටර් සයික‍ලේ යන නෝන මළා කියලයි.

නයනා තවත් මුහුණ දුන් අපූරු අත්දැකීම් කිහිපයක් අප හමුවේ තබන්නට වූයේ සිනහ වෙමිනි.විමලනයනා දෙල්දෙණිය හෙවත් ‘මෝටර් සයික‍ලේ යන නෝනා මළ බවට ප්‍රදේශය පුරා පැතිරෙමින් මහා ආන්දෝලනයක් ඇති වෙද්දී සිද්ධිය කන වැකුණු නයනා තම මළ ගමට එන උදවියට සංග්‍රහ කරන්න කේක් හා සිසිල් පැන් සූදානම් කොට තබන්නට යුහුසුළු වූවාය.

මේ අතර ඇතැම් පාසල්වල නයනාගේ මළ ගෙදරට එන්නට බස් කුළියට ගැනීමට එකකුගෙන් ශත දහය බැගින් එකතු කර තිබිණි.ඇතැමුන් මල් වඩම් රැගෙන සුදු ඇඳුමෙන් සැරසී නයනාගේ නිවසට පැමිණ තිබුණේ ශෝකයෙන් බරිත මුහුණෙන් යුතුවය.

මගේ මිනිය දැක ගන්න ආපු අය මම පණ පිටින් ඉන්නව දැක්කාම අන්ද මන්ද වුණා. සමහරු හොල්මනක් දැක්කා වගේ බය බිරාන්ත වෙලා බලන් හිටිය. ඒ අයට කේක් බිම අල්ලලා සංග්‍රහ කරලා ආපහු යන්න හදද්දී ඔන්න ඔය මල් වඩමත් කාට හරි අඩු ගානට විකුනලා හරි සල්ලි ගනින් කියලා මම කියනවා.අවුරුදු ගණනාවක් මෝටර් සයිකලයේ ගමන් බිමන් ගියත් මේ වන තුරුත් තමන් කිසිදු අනතුරකට පත්වී නොතිබිම පිළිබඳ නයනා තුළ දැඩි ඇත්තේ දැඩි ආඩම්බරයකි.

මාර්ග නීතිය කඩ කිරීම පිළිබඳ නිරපරාදේ තමන් අල්ලාගත් ට්‍රැපික් රාලහාමි කෙනෙකු හමුවේ ඇය ඔහුට අභියෝග කර තිබුණි.දුවයි චූටි පුතයි පුංචි කාලෙ බයිසික‍ලේ නග්ගගෙන යද්දි මාව රාලහාමි කෙනෙක් නවත්තලා මේ.. මේ… තුන්දෙනෙක් යන්න බැහැ නඩු දානවා කිවුවා. මේකෙ කොහෙද තුනක් පේන්නැද්ද එකයි බාගෙ දෙකයි කියලා මම කියද්දි ‍පොඩි ළමයි වුණත් ඒත් ජීවිත… ඒ හින්දා නඩු දාන්න වෙනවා. නීතියෙ හැටියට දෙන්නටයි යන්න පුළුවන්. ඒක තමයි රාලහාමිගෙ පිළිතුර වුණේ. බැරිම තැන මම කිව්වා හැබැයි ඊළඟට එන දෙන්නෙකුට වඩා යන බයිසිකල් ඔක්කොටම නඩු දාන්න ඕන කියලා.

ඔන්න එතකොට ‍පොඩි ළමයෙක් එක්ක ජෝඩුවක් මෝටර් සයික‍ලේක එනවා.මම පාරට පැනලා මෝටර් සයික‍ලේ නැවැත්තුවා. දැන් ඉතින් නඩුවක් ලියන්න රලාහාමිට මගේ ළමයි විතරද වටින්නෙ. මේත් ජීවිතයක්නේ….. කියල මමම බල කරද්දී… නැහැ… නැහැ කාටවත් නඩු දාන්නෙ නැහැ කියල රාලහාමි මාව ගෙදර යැවුවා.මෙසේ ගෙදර ගිය නයනාට මේ සිදුවීම සහමුලින්ම අමතකව තිබියදී දිනක් ‘අධික ලෙස මගීන් ප්‍රවාහනය කිරීමේ වරදට නඩු පවරා සිතාසි ලැබි තිබුණි. කුඩා කළ සිටම පෙරළිකාරියක වූ නයනා වහා ‍පොලීසිය වෙත ගොස් ස්ථානාධිපතිවරයාට දොස් තැබුවාය. නයනා ඊළඟට ගියේ නීතිඥ මහතෙකු හමුවන්නටය.

මම ඒක බලා ගන්නම්. නඩුව වෙලාවට කූඩුවට නගින්න. හැබැයි වචනයක්වත් කතා කරන්න එපා. නීතිඥවරයාගෙන් ලද උපදෙස් අකුරටම පිළිපදින්නට සිතූ ඈ ඊළඟ දිනයේ උසාවියේ තම නම හඬ ගසද්දී නිහඬව පෙනී සිටියාය.

ඈ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ තර්කය වූයේ ‘නීතියේ හැටියට අධික ලෙස මගින් ප්‍රවාහනය කිරීම පිළිබඳ බලපත්‍ර බස් රථවලට බවයි. නඩුව එතැනින් ‘ඉවත ගිය අතර තම ගාස්තුවවත් නොගත් නීතිඥයාට ස්තූති කර උසාවියෙන් පිටවූ ඇයට ඉන් අනතුරුව ට්‍රැෆික් රාලහාමිගෙන් ‘කිසිදු ගැටලුවක් ඇති නොවිනි.අද ජීවිතයේ සැඳෑ සමයට එළඹ සිටියද තවමත් කාර්ය ශූර ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස මේ වන තුරුම කටයුතු කර ඇත.ඇගේ සැමියා ප්‍රාම් දෙල්දෙණිය ගත් කතුවරයෙකි.

පන්හිඳට හුරු පුරුදු නයනාගේ අතින් මේ වන විට විශේෂ අධ්‍යාපනයට සම්බන්ධ මොඩියුල රැසක්ම ලියැවී ඇති අතර අඳුරු ලොව තරණය විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවෝ මෑතකදී ඈ විසින් ලියු ‍පොත් කිහිපයක් අතර වෙයි.

ඇගේ දරුවන් තිදෙනා විවිධ ක්‍ෂේත්‍රවල ඉහළටම ගොස් ඇත. වැඩිමල් පුතු රුචිර හා ඔස්ට්‍රේලියාවේ පදිංචි කනිටු පුත් ප්‍රගති මවගේ අඩි පාරේ යමින් විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඉහළ දැනුමක් ලැබුවාය. ‘බඩපිස්සී’ වන මධුභාෂිනී ජාතික අධ්‍යාපන ආයතනයේ විදේශීය භාෂා භාරව කටයුතු කරන්නීය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button