පළකල දිනය : Thu, Oct 19th, 2017

ගම් වාසීන් හැඬූ කඳුලින්.. කළු මැණිකා ඇතුළු 9 දෙනෙක් හොරෙන් උස්සලා

බස්නාහිර පළාතේ හොඳම ඉන්දීය කිරි ගවයා ලෙස පශු සම්පත් අමාත්‍යාංශය මඟින් නම් කල මැණිකා නම් කිරි ගවයා සහ රාජ්‍ය සම්මාන ලැබූ තවත් කිරි ගවයන් තිදෙනකු සමග කිරි ගවයන් 9 දෙනකු හොර හරක් ජාවාරම්කරුවන් විසින් පසුගියදා සොරකම් කර තිබෙනවා. ඒ දිවුලපිටිය ප්‍රදේශයේදී.

මෙහිදී පශු සම්පත් අමාත්‍යාංශය මඟින් 2007 වසරේදී හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස දිවුලපිටිය ආසනයේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් හිමි රාජ්‍ය සම්මානය දිනාගත් කළු මැණිකා නමැති කිරි ගවයාත්, ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස ප්‍රථම ස්ථානයේ රාජ්‍ය සම්මානය දිනාගත් චූධී නමැති කිරි ගවයාත් ඇතුළුව එම ගවයන් සමඟ ගාලේ සිටි ගැබ්බර කිරි ගවයන් 9 දෙනකු මස් පිණිස සොරකම් කර ඇති බව ප්‍රදේශවාසීන් ඊයේ(18) ප්‍රකාශ කර තිබුනා
 
මෙම ගවයන්ව භාරව සිටි සිටි පී. චන්ද්‍රකාන්තී මහත්මිය සහ ඇයගේ සැමියා බුද්ධික පුෂ්පකුමාර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්

පසුගිය 15 වැනිදා රාත්‍රියේ තමයි මේ ගවයන් හොරකම් කරලා තියෙන්නේ. ලොරිය ගිය පාරේ ටයර් ලකුණුත් තියෙනවා.

කරපටි කපලා විසි කරලා තිබුණා. බල්ල බිරුවෙත් නෑ එදා. කළු මැණිකා වැඩිම කිරි දෙන කිරි හරකා ලෙස රාජ්‍ය සම්මාන දිනාගත්තා.

මේ තියෙන්නේ ඒ සම්මාන. එක කිරි හරකෙක් ලක්ෂ 4ක් විතර වටිනවා. අපි පාන්දරම 119 අමතලා පොලිසියට කීවා. 119න් කීවා උදේ 8.00ට කතා කරන්න කීවා. පොලිසිය ඒ වෙලාවෙම ආවා නම් පාරවල් වට කරලා ලොරිය අල්ලගන්න තිබුණා.

කොටදෙණියාව පොලිසිය පාන්දර 4.00ට ඇවිත් මේක දිවුලපිටිය පොලිසියට අයිති කීවා. දිවුලපිටිය පොලිසිය ඇවිත් ස්ථානය පරීක්ෂා කරලා හෝඩුවාවක් තියෙනවා නම් දන්වන්න කීවා.

මෙතැන රාජ්‍ය සම්මාන ලැබූ කිරි ගවයන් 3ක් හිටියා. ඒ ඇතුළු කිරි ගවයන් 10ක් හොරාගෙන ගිහින්. ඉන් එකෙක් ආපසු පැනලා ආවා. උෟ පාන්දර ආපසු ඇවිත් කෑගැහුවා. ඉතුරු වුණේ එයා විතරයි. එයාගේ නම සිඟිති. සිඟිතිගේ පැටියවත් මේ හොරු අරන් ගිහින්.

පැටියා නැති සොවින් සිඟිතිගෙන් කිරි වෑහෙනවා. යන යන කෙනාගේ මූණ දිහා බල බලා උෟ අඬනවා. අනේ මේ හොරු අල්ලල දෙන්න. ජාඇළ තිහාරිය පැත්තට හෝ කුලියාපිටිය පැත්තට ගෙනිච්චා කියලා තමයි හෝඩුවාවක් තියෙන්නේ.

ජනාධිපති – අගමැති පොලිස්පතිගෙන් අපි ඉල්ලන්නේ අනේ මේ කිරි ගවයො ටික හොයා දෙන්න කියලයි ගම්වාසීහු කීහ. කිරිවලින් එන ආදායමින් තමයි ගමේ මිනිස්සු වන්දනාවේ යන්නේ. දන්සල් කරන්නේ. දැන් අනාථයි.

එම ප්‍රදේශයේ සමාජ සේවකයකු වන උපුල් මහතා මෙසේ කීය. මේ ගමේ හරක් හොරකම් ජාවාරමක් තිබුණා. මේ පස්වැනි අවස්ථාව. මේක තමයි ලොකුම හරක් හොරකම. ලංකාවේ වටිනාම කිරි ගවයෝ තුන්දෙනාත් හොරකම් කරලා. වහාම පියවර ගන්න මේ ජාවාරම්කරුවන් අල්ලන්න කියලා අපි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button