පළකල දිනය : Thu, Oct 26th, 2017

අනතුරට ලක් වූ තරුණියගේ සිරුරින් මනෝකාය අහසට

එය ප්‍රධාන මාර්ගයක සිදුවූ බිහිසුණු රිය අනතුරකි. එම රථයේ ඉදිරිපස වම් අසුනේ සිටි කාන්තාව එම අනතුරින් බරපතල තුවාල ලැබුවාය.

ඉන්පසුව පළමුව අද්දර ප්‍රාදේශීය රෝහලකටත් දෙවනුව මහ රෝහලකටත් මාරු කරනු ලැබූ ඇය යළි සාමාන්‍ය තත්ත්වයකට පත්වූයේ මාස කිහිපයකට පසුවය.

ඉනික්බිතිව ඇය එම අනතුර පිළිබඳව මෙලෙස විස්තර කළාය.
 
“ඒ ඇක්සිඩන්ට් එක වුණු වෙලාවේ මට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනුණා. ඒ එක්කම ඒ වේදනාව වේගයෙන් අඩුවෙලා ඇඟට අමුතුම සනීපයක් දැනෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මට තේරුණා; මගෙ ඇ‍ගෙන් වෙන්වෙලා මාව අහසට යන බව. නමුත් වැඩිය ඉහළට ගියේ නැහැ.

අඩි 6- 7 ක් ඉහළ අහසේ මම නතර වුණා. එතකොට මම දැක්කා කාර් එක ඇක්සිඩන්ට් වෙච්ච තැනට සෙනඟ එකතුවෙනවා. ලේ නෑවිලා තිබුණු මගේ ශරීරය කාරෙකෙන් එළියට ඇදල ගන්න හැටිත් මං දැක්කා. ඒ අතරෙ සමහරු කිව්වා මෙයාව නං ඉස්පිරිතාලෙ ගෙනිහින් වැඩක් නෑ දැනටමත් ඉවරයි වගේ කියලා. කොහොම හරි ඒ වෙලාවෙ ආපු වාහනයක පටවල මගේ ශරීරය වේගෙන් අරන් යනවා මම දැක්කා. මාත් අහසින් ඒ එක්කම වගේ ගිහින් මගේ ශරීරයට රිංගන්න බැලුවා.

කීප සැරයක් උත්සාහ කළාම මට මගේ ශරීරයට රිංගගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට මගේ ශරීරයේ උණුසුම දැනුණා. ඒ එක්කම අර වේදනාවත් ටික ටික දැනෙන්න පටන් ගත්තා.”

ඉහත සඳහන් වූයේ මීට වසර ගණනාවකට ඉහත හදිසි අනතුරකට පත් වූ කාන්තාවක මාහා කී විස්තරයකි. ඇගේ මෙම ප්‍රකාශයත් සමඟම අප කාගේත් සිහියට නැගෙන වදනක් වේ. එනම් ‘මනෝ කාය’ යන්නය. මෙම ‘මනෝ කාය’ පිළිබඳව බොහෝ දෙනෙකුට අත්දැකීම් ලැබී ඇත්තේ මරාන්තික අනතුරු වලට පත්ව ‘මරණයේ දොරකඩට’ ගිය අවස්ථා වලදීය.

ඒ අනුව මරණයේ එළිපත්තෙන් ඇතුළට නොගොස් යළි මෙපිටට පැමිණි බොහෝ දෙනෙක් මීට අතිශයින් සමාන අත්දැකීම් හෙළි කරති.

NDE යන නාමයෙන් ලොව පුරා ප්‍රචලිත මරණාසන්න අත්දැකීම් (Near Death experience) පිළිබඳව ලොව පුරා මෙතෙක් සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින වාද විවාද බොහොමයකි. මේ සම්බන්ධයෙන් ලියැවුණු පොත පත ද බොහෝ ය. ඒවා අතරින් රේමන්ඩ් මූඩ් විසින් ලියන ලද ‘ජීවිතයෙන් පසු ජීවිතය (Life after Life)’ පිටපත් දශලක්ෂ ගණනින් අලෙවි වූ සහ භාෂා විශාල ගණනකට පරිවර්තනය වූ ග්‍රන්ථයකි.

මරණාසන්න අත්දැකීම් යනු යමකු මිය යන මොහොතේ තම සිරුරින් නික්මෙන ද්විතියික ශරීරයක් මුල් කොට ගත් අත්දැකීම් සම්භාරයකි. ඒ සම්බන්ධ අත්දැකීම් ඇත්තවුන් පවසන්නේ තම සිරුරින් වෙන් වූ යම් පදාර්ථයක් විසින් තම සිරුරට අඩි හතරක පහක නැතිනම් ඊටත් මදක් උස ප්‍රමාණයක සිට ප්‍රාණය නිරුද්ධ තම සිරුර දුටු බවකි. අපට යමක් දැකීම පිණිස ඇස නම් වන භෞතික ඉන්ද්‍රිය තිබිය යුතු ය. එහෙත් මේ අත්දැකීම්වලට අනුව එසේ දකිනුයේ මෙතෙක් හඳුනා නොගැනුණු සංවේදී පථයක් මඟින් බව පැවසෙයි.

නමුදු මෙම මරණාසන්න අත්දැකීම්වලට අතිශයින් සමාන අත්දැකීම් තමන් ජීවත්ව හිඳින කාලය තුළ දී ද බො‍හෝ දෙනෙක් අත්විඳ තිබේ. ශල්‍ය කර්මවලදී නිර්වින්දනය වීම සඳහා ලබා දුන් කෙටමීන් (Ketamine) වැනි නිර්වින්දක ඖෂධ ශරීර ගත වූ පසු මෙම ‘සිරුරින් බැහැර’ අත්දැකීම් ලැබීම ඉතා ස්වභාවික ය. LSD (Lysergic Acid Diethylamide) වැනි භ්‍රාන්තිජනක මත්ද්‍රව්‍ය මඟින් ද මෙම අසාමාන්‍ය අත්දැකීම් ජීවිත කාලය තුළ දීම ලද හැක. ඒ අනුව මේවා හුදෙක් භ්‍රාන්තිමය අත්දැකීම් විය නොහැකි ද යන්න පිළිබඳව විද්වතුන්ගේ අවධානය යොමු වී තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්ව විද්‍යාල රෝහලේ දී විශේෂඥ වෛද්‍ය ඔල්ෆ් බලාන්ක් ඇතුළු වෛද්‍ය කණ්ඩායමකට මේ සම්බන්ධ වැදගත් අනාවරණයක් ලොව හමුවේ ගෙන ඒමට හැකි විය. ඒ ස්නායුවේදය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක අහඹු ඵලයක් වශයෙනි.

එක්තරා කාන්තාවකගේ මොළයේ ස්නායු සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනයක දී මොළයේ විවිධ කලාප වලට ඉලෙක්ට්‍රෝඩ මඟින් උද්දීපන ලබා දෙන අතරේ එක් අවස්ථාවක තම සිරුර කයින් වෙන් වී අහසේ පාවෙමින් තිබෙනු එම කාන්තාව දැක තිබේ. මේ මොහොතේ වෛද්‍ය බ්ලාන්ක් උද්දීපනය ලබා දී තිබුණේ ඇගේ මොළයේ කෝණික ගයිරසය(Angular Gyrus) නමැති කොටසට ය.

ඇය විසින් පසුව කරන ලද එම ප්‍රකාශය අනුව වෛද්‍ය බ්ලාන්ක් විසින් ඇගේ මොළයට යළිත් එවැනිම ඉලොක්ට්‍රෝඩ උත්තේජන ලබා දී ඇත. යම් සාධක සමුදායක් මුල් කොට යම් ප්‍රතිඵලයක් ලැබේ නම් ඒ සාධක නැවත නැවතත් එලෙස ම ඉදිරිපත් කළ විට එම ප්‍රතිඵල ඒ අයුරින් ම නැවත ලැබිය යුතු ය යන්න විද්‍යාත්මක පර්යේෂණවල ක්‍රමවේදයයි. ඉන්පසු පර්යේෂකයන් එය පදනම් කර ගෙන විද්‍යාත්මක වාර්තා ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඒ අනුව මොළයේ කෝණික ගයිරසයට උත්ඡේදනයක් ලබා දී මේ දී යමෙකුට සිරුරෙන් බැහැර අත්දැකීම් (Out of Body Experience) ලැබිය හැකි බව මුල්වරට අනාවරණය කර ගැනීමට වෛද්‍ය බ්ලාන්ට් ඇතුළු පිරිසට හැකි විය.

2002 වසරේ ඔක්තෝබර් 19 නේචර් (Nature) සඟරාවේ මෙම පර්යේෂණ වාර්තාව පළ කර තිබුණි.

කුමන වයසක, කවර තරාතිරමක වේවා පුද්ගලයකු මරණයට පත්වීම පිණිස මුල් වන කායිකමය හේතූන් තුනක් ඇත. හෘද අකර්ණීය (Cardiac Arrest) ඉන් පළමුවැන්නයි. දෙවැන්න ශ්වසන පද්ධතියේ ඇති වන ක්‍ෂණික අකර්මණ්‍යතාවය (Respiratory Arrest) ය. මධ්‍ය ස්නායු පද්ධතියේ ඇති වන ප්‍රබල ප්‍රාථමික රෝග තත්ත්වයන් (Primary Brain Diseases) යමකු මරණයට මුල් වන තෙවන හේතුව ය. මින් එකක් මරණය සඳහා මුල් වන අතර ඉන්පසු අනෙක් කරුණුත් ඊට සාපේක්ෂව සිදුවීමෙන් මරණය සිදු වනු ඇත.

හෘද අකරණියක් මුල් කොට මරණය සිදු වන්නේ දරුණු හෘදයාබාධයක් හෝ හෘදය සංකෝචනය වන රිද්මයේ ප්‍රබල වෙනසක් (Arrhythmia) වීමෙනි. මේ සඳහා මුල් වන හේතූන් රාශියකි.

මීට අමතරව ඇදුම, නියුමෝනියාව වැනි රෝග ප්‍රබල ලෙස ඇති වූ විටත්, කෘමිනාශක වැනි දරුණු විෂ ශරීරගත වීම හේතුවෙනුත් ශ්වසන පද්ධතියේ ඇතිවන ක්‍ෂණික අකර්මණ්‍යතාවක් සිදුවනු ඇත.

මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ඇති වන ප්‍රබල ප්‍රාථමික රෝග තත්ත්වයන් ලෙස මොළයේ උණ, මොළයේ මැලේරියාව, අක්මාව අකර්මණ්‍ය වීමෙන් සිහි විකල්වීම වැනි තත්ත්වයන් දක්වන්නට පුළුවන.

අප මේ කී අවස්ථා තුනෙන් මුල් අවස්ථා දෙකේ දී හෘදය හා ශ්වසනය ක්‍රියා විරහිත වුවත් මොළයේ ක්‍රියාකාරීත්වයට ඉන් ක්‍ෂණික බලපෑමක් සිදු නොවේ. කිසියම් ආකාරයකට කෘත්‍රිම උත්තේජක ලබා දී එමඟින් හෘදය සහ ශ්වසනයේ පැවැත්ම තබා ගත හොත් මොළය ඇතුළු වැදගත් ඉන්ද්‍රියයන්හි රුධිර ගමනාගමනය යන්තමින් හෝ පවත්වා ගත හැක. ඒ නිසා එම ඉන්ද්‍රියයන් තවදුරටත් පවත්වා ගැනීමට අවස්ථාව ලැබේ.

මරණාසන්න අත්දැකීම් නැතහොත් සිරුරින් බැහැර අත්දැකීම් (Our of body experience) වශයෙන් එක් එක් පුද්ගලයන් මත පළ කොට ඇත්තේ මෙම අවස්ථා දෙකේ දී මරණාසන්න වූ විට දී බව සනාථ වී තිබේ. හේතුව මේ අවස්ථා දෙකේ දී ම මොළයේ විද්‍යුත් සහ ජෛව රසායනික ක්‍රියාවලියේ ඇණ හිටීමක් සිදු නොවීම ය. ඒ අනුව ඒ පුද්ගලයාගේ විඥාන ශක්තියේ ඇණ හිටීමක් ඇති නොවේ.

නමුත් තෙවනුව කී මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇණ හිටියොත් ඒ මොහොතේ ම ඒ පුද්ගලයාගේ මරණය සිදුවන බැවින් ඔහුට ඉහත කී අන්දමින් ‘මරණාසන්න අත්දැකීම්’ ලැබීමට අවකාශයක් නැත. ඒ අනුව ‘මරණාසන්න අත්දැකීම්’, ‘සිරුරින් බාහිර අත්දැකීම්’ යන මේවා එක් එක් පුද්ගලයා සම්බන්ධ මනෝමය සහ කායික තත්ත්වයන් වශයෙන් විස්තර කළ හැක.

මෙම ‘මරණාසන්න අත්දැකීම්’ සහ ‘සිරුරෙන් බැහැර අත්දැකීම්’ සඳහා ඉහවල්වන සෘජු මනෝ විද්‍යාත්මක හේතුවක් ද තිබේ. එය හැදින්වෙනුයේ ‘විෂ්පෞරුෂායණය (Depersonalization)’ යනුවෙනි.

තම ජීවිතයේ, පැවැත්ම සම්බන්ධයෙන් තමන්ට දරාගත නොහැකි අභියෝගයක් එල්ලවීමේ දී ඇතැම් පුද්ගලයන් තුළින් ඔවුන්ගේ සාමාන්‍ය පෞරුෂය ගිලිහී යා හැක. එවිට එතැන් සිට ඔවුන් ක්‍රියාකරනුයේ තම උප විඥානයේ කලක් තිස්සේ රැඳුණු විස්වාස සහ මතිමතාන්තර අනුවය. ඉහත සඳහන් රිය අනතුරට මුහුණ පෑ තරුණියට එම ඇත්දැකීම දරා ගත නොහැකි වූ තැන ඇය කෙරෙන් ඇගේ පෞරුෂය ගිලිහී ගොස් තිබේ.

ඇයට තම ශරීරයෙන් ‘මනෝ කාය’ වැනි යමක් පිටව අහස් ගත වන බව හැ‍ගෙනුයේ ඒ අනුවය. බොහෝවිට ‍ප්‍රකෘති සිහියෙන් බැහැරව සිටියද තමන් අවට පරිසරයේ සිදුවන සිදුවීම් පිළිබඳ යම් සංවේදීතාවක් ඇය සතුව තිබේ. ඇය මිය ගොස් ඇතැයි යමෙකු පැවසීම ඇතැම් විට ඇයට සැබැවින්ම ඇසුණු දෙයක් වීමට පුළුවන. නොඑසේනම් එය ඇගේ මනෝ භාවයක් වීමට ද බැරි නැත.

ඒ කෙසේ හෝ මෙබඳු විද්‍යාත්මක කරුණු පදනම් කොට වුව මරණයත් සමඟ තම සිරුරෙන් පිටවන ආත්මයක් ඇතැයි යන මිථ්‍යාව බැහැර වීමට බොහෝ දෙනෙකු කැමති නැත.

ඊට හේතුව මිථ්‍යා විශ්වාස යනු අපේ සහජතාවය සමඟ ‘ගසට පොත්ත’ මෙන් සහ සම්බන්ධ වී ඇති අපගේ මානසික ගැටළු අර්බුද වලට නොවිධිමත්, තාවකාලික විසදුම් සපයන සිතතුළ සැඟවුණු අදහස් උදහස් මතිමතාන්තර සමුදායක් බැවිනි.

– තිලක් සේනාසිංහ
මුලාශ්‍රය – ලක්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button