පළකල දිනය : Fri, Oct 27th, 2017

රූමත් නිළියන් ගේ චරිත අවුල් කියන්නේ ඇයි?

වත්මන් සමාජයේ චරිතය මුල්කොට චෝදනා අපවාද ආදියට ලක්වන කාන්තාවන් අතුරින් ‘නිළිය’ ප්‍රධාන තැනක් ගන්නා බව නොරහසකි.

එනිසාම ටෙලිනාට්‍ය හෝ සිනමා ක්‍ෂේත්‍රයන් හට තරුණියන් සම්බන්ධ කරවීම පිළිබඳව බොහෝ වැඩිහිටියන් නොකැමතිවන අවස්ථාද තිබේ. මේ තත්ත්වය දිනෙන් දින ඉහළ නැංවෙන බවක් පෙනෙන්නට තිබේ.

අප ජන සමාජයේ අනේක විධ කාන්තා පාර්ශව අතරින් නිළියන්ගේ චරිතය සම්බන්ධ අපවාද බහුල වීමට හේතුව කුමක්ද? මෙය පාර්ශව කිහිපයකින් විමසා බැලිය යුතු කරුණකි.
 
පොදුවේ ගත් කළ ‘නිළිය’ යනු අනුරාගයේ සංකේතයකි. බොහෝ විට ‘නිළිය’ යන වදන පෙරටුකොට රූමත් යන වදන යෙදුණ හොත් එම වදනෙහි ඇති අනුරාගය, ශෘංගාරාත්මක බව තවත් තීව්‍ර වේ.

අපි කෙටි නිදසුනක් ගනිමු,

‘සම්බාහන මධ්‍යස්ථානයක සිටි තරුණියක් අත්අඩංගුවට’ යන පුවත්පත් සිරස්තලයේ තරුණියක් යන වදන පෙරටු කොට ‘රූමත්’ යන වදන යෙදුවහොත් එහි ආකර්ෂණීය බව තරමක් වැඩිවේ. එමෙන්ම එම ‘රූමත් තරුණිය’ යන්න වෙනුවට ‘නිළියක්’ යන්න යෙදුවහොත් ඊට වඩා වැඩි පිරිසක් එම ප්‍රවෘත්තිය කෙරෙහි ඇදී එති. එහිදී ද එම ‘නිළියක්’ යන වදනට පෙරටුව ‘රූමත්’ යන වදන යෙදුවහොත් එය ජාතික අවධානයට ලක්කර ගත හැකි මට්ටමේ පුවතක් වනු ඇත.

මෙහිදී එම තැනැත්තියගේ රූමත් බව හෝ වෘත්තීය මට්ටම එතරම් වැදගත් නොවේ. ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක සමූහ දර්ශනයකට පෙනීසිටි තැනැත්තියකට වුවද මෙම ‘නිළිය’ යන නාමය ප්‍රදානය කළ හැක. ‘නිළියන්’ සම්බන්ධයෙන් චරිතාපවාද සමාජය පුරා පැතිර යාමට මුල්ම හේතුව එයයි.

අප කාටත් අකමැත්තෙන් හෝ පිළිගත හැකි පරිදි මානව ශිෂ්ටාචාරයේ ආරම්භයටත් පෙර සිටම අද දක්වා සෑම සමාජයකම ‘ස්ත්‍රී වෙළඳපොළක්’ දක්නට ලැබේ. එහි වෙනස්කම් පවතිනුයේ එම ‍වෙළඳපොළ තුළ ස්ත්‍රිය අලෙවිවන ප්‍රමාණයේ අඩුවැඩි බව හා ස්ත්‍රිය අලෙවිවීමේ මුහුණුවරෙහි පමණි.

නූතන සමාජයේ සෑම තරාතිරමකම ස්ත්‍රීහු යම් යම් ක්‍රම මඟින් පුරුෂයාගේ ලිංගික ගොදුරු බවට පත්වෙති. මෙහිදී ස්ත්‍රී දූෂණය යනු විවෘත පැතිකඩක් පමණි. ඊට අමතරව අප සමාජයේ සෑම ජනකොටසක් තුළම අදටත් ලිංගික වශයෙන් ස්ත්‍රී සූරාකෑම අඩුවැඩි වශයෙන් දක්නට තිබේ.

බොහෝ දෙනෙකු නොසිතන උසස් සමාජ තලයන්හි පවා ඉතා අප්‍රකට ලෙස මෙම ‘ලිංගික සූරාකෑම’ සිදුවේ. ‘සූරාකෑම’ යනු වෙළඳ ක්‍රමයක පවත්නා අවිචාරවත් කොටසකි. නමුත් මෙම ‘සූරාකෑම’ දොරකවුළු වැසූ ගොඩනැගිල්ලක් තුළ සිදුවන්නක් මෙන් අප්‍රකටව සිදුවන නිසා ඒ පිළිබඳ විවෘත සමාජ කතිකාවක් පැන නොනගී. එහෙත් මේ ස්ත්‍රී ඛේදවාචකයේ සමාජයට මුළුමනින්ම විවර වූ කවුළු දෙකක් ඇත. එනම් සෘජු හා අර්ධ ගණිකා ව්‍යාපාරයයි. අනෙක කලා ක්‍ෂේත්‍රයයි.

අප කවුරුත් දන්නා අන්දමට ‘නිළිය’ සමාජමය වශයෙන් ‘සන්නාමයක්’ (Brand) හිමි තැනැත්තියකි. ඒ අනුව ඇගේ සියලු ක්‍රියාකාරකම් සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිරයාමේ පහසු හැකියාවක් තිබේ. ඒ අනුව අප ජන සමාජයේ වෙනත් කන්තාවක පිළිබඳ තොරතුරකට වඩා ‘නිළිය’ පිළිබඳ තොරතුර වේගවත්ව පැතිර යයි. ඒ සඳහා විධිමත් සේම නොවිධිමත් ජනමාධ්‍ය මඟින් මනාපිටුවහලක් ලැබේ.

රැකියා අවස්ථාවක් හෝ රැකියා උසස්වීමක්, ඉහළ වෘත්තීමය තත්ත්වයක්, කීර්තියක් හෝ වෙනයම් සමාජීය වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් පුරුෂයකුගේ ලිංගික සූරාකෑමට ලක්වන කාන්තාව නූගත් නොදියුණු ග්‍රාමීය සමාජයේ සිට උගත් දියුණු නාගරික සමාජය තුළද අඩුවැඩි වශයෙන් දක්නට පුළුවන.

එහෙත් එම කාන්තාවන් ‘සන්නාම’ ගත වී නොමැති බැවින් ඔවුන්ගේ එම චර්යාවන් මුල්කොට සමාජ කතිකාවක් ගොඩ නැඟී නැත. සයිමන් නවගත්තේගමයන්ගේ ‘සුද්දිලාගේ කතාව’ වැනි කෘති තුළින් එළි දැක්වුණු නූගත් බව සහ දිළිඳු බව පදනම් කරගත් කාන්තාවන් ලිංගික සූරාකෑමට ලක්වීම මුල්කොට හෝ ශ්‍රී ලාංකිය ගැමි කාන්තා එලෙස සන්නාම ගත වූයේ නැත. මක්නිසාද ඇය පොදු ශ්‍රී ලාංකික ජන සමාජයේ න්‍යෂ්ඨිය හා බද්ධව සිටි බැවිනි.

එහෙත් විවෘත ආර්ථිකයත් සමඟ ඇගලුම් සේවිකාව එලෙස ‘සන්නාම’ ගත වූ අයුරු අපට මතකය. නමුදු ‍ශ්‍රී ලංකාවේ සෙසු බොහෝ කර්මාන්ත ක්‍ෂේත්‍රයන් තුළ කාන්තා ශ්‍රමය ව්‍යාප්ත වීමත් සමඟම එම සන්නාමය කෙමෙන් මැකී යන්නට විය. එහෙත් චරිතය මුල්‍ කොට ගත් අපවාද එක්රොක් වීම පිණිස ‘නිළිය’ යන ‘සන්නාමය’ අද ද සමාජ භාවිතාවේ පවතී.

තමන්ට රංගන අවස්ථාවක් ලබා ගැනීමට හෝ කලා ක්‍ෂේත්‍රයේ යහපත් අවස්ථාවක් උදාකර ගැනීමට සේම මිල මුදල්, යාන වාහන ඇතුළු වෙනත් සමාජීය වරප්‍රසාද උදෙසා තම ලිංගිකත්වය කැප කරන ‘නිළියන්’ අප සමාජයේ නොසිටියහොත් එය ලෝක පුදුමයකි. එහෙත් එසේ ලිංගිකත්වය කැප කරනුයේ හුදෙක් වෘත්තීය ‘නිළියන්’ පමණක්ම නම් ඔවුනට එරෙහිව මෙවන් ‘චරිතාපවාද’ ගොඩනැගීම සාධාරණය.

එහෙත් විශ්ව විද්‍යාල, අධිකරණ ක්‍ෂේත්‍රය ආදී ඉහළ සමාජ තලයන් මුල්කොට පවා ක්‍රියාත්මක වන ස්ත්‍රී වෙළඳපොළ, ස්ත්‍රී ලිංගික සූරාකෑම, සහ ඒ මත පදනම් වූ කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් උදෙසා ‘නිළිය’ යන ‘සන්නාමය’ පමණක් යොදා ගැනීම එක්තරා අන්දමක අවිචාරවත් හා අදූරදර්ශී ක්‍රියාමාර්ගයක් බව නොකියාම බැරිය.

මහාචාර්ය දයා අමරසේකර,
සමාජ විද්‍යා අධ්‍යනාංශය,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button