පළකල දිනය : Mon, Oct 30th, 2017

නිදාගෙන ඉද්දි ගලක් පෙරලිලා ඇවිත් පුංචි උදාරාව බිලිගත්ත හැටි !

සිය නිවෙසට ගලක් පෙරලී ඒමෙන් තුවාල ලැබූ කුඩා දැරියක් මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් පේරාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය ගලහා මාර්ගයේ මහකන්ද ප්‍රදේශයේ නිවසක වන අතර එලෙස ගලක්‌ පෙරළී යැම හේතුවෙන් හත් හැවිරිදි කුඩා දියණිය මියගොස්‌, ඇගේ මිත්තනිය තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙන බව සදහන්.

පවතින අධික වර්ෂාව සමඟ මෙම විපතට ලක්‌ව මියගොස්‌ ඇති උදාරි සෙහාරා හිඳගල සීවලී මහ විද්‍යාලයේ දෙක ශ්‍රේණීයේ ඉගෙනුම ලබමින් සිට ඇත.
 
පසුගිය 28 වනදා රාත්‍රි 8.00 ට පමණ මෙම විපත සිදු වී තිබේ. නිවසේ සාලයේ නිදා සිටි දැරිය වර්ෂාව නිසා සීතල යෑයි පවසා මිත්තනිය සිටි කාමරයට ගොස්‌ ඇගේ ඇඳේ නිදාගෙන ඇති අතර, ඒ අවස්‌ථාවේ මිත්තනිය ඇඳේ වාඩි වී ඇඳුමක්‌ මසමින් සිට ඇත.

නිවසට ඉහළින් ඇති කඳු මුදුනේ සිට පෙරළී ආ ගලක්‌ වහළය ද කඩාගෙන මොවුන් නිදා සිටි ස්‌ථානයට වැටී ඇත්තේ එවිටයි.

දැරියගේ හිස මතට ගල වැටී ඇති අතර, ඇගේ මිත්තනියද අනතුරින් බරපතළ තුවාල ලබා තිබුනා.

තුවාල ලැබු දැරිය සහ ඇගේ මිත්තනිය ප්‍රථිකාර ලෙස පේරාදෙණිය රෝහලට රැගෙන ගියද අවාසනාවන්ත ලෙස දැරිය මියගොස් තිබෙන බව සදහන්.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ නිවස සහ ඔවුන්ගේ අසල්වැසියන්ගෙ නිවෙස් වලට ඉහලින් තවත් මෙවැනි අනතුරුදායක ගල් විශාල ප්‍රමාණයක් තිබෙන බවත් එය ප්‍රදේශවාසීන්ගේ ජීවිත වලට තර්ජනයක් බවත් ගම්වාසීන් පවසනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button