පළකල දිනය : Tue, Oct 31st, 2017

දකුණු ආසියාවේ පාපැදි රැජන පාසල් බෑග් මසමින් ජීවිත සටන ගෙනයන හැටි

දෙපා වාරුවෙන් රේසින් පාපැදිය විදුලි වේගයෙන් ධාවනය කර දකුණු ආසියාව සියතට ගෙන ලක් මාතාව ජාත්‍යන්තරයේ ඔසවා තබා රනින් සැරසූ ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම පාපැදි ශූරිය වන අනුරාධපුරයේ යූ. ඩී. ශි්‍රයාලතා මහත්මිය අද වන විට ජීවත්වීමට මඟක් නොමැතිව අන්ත අසරණ භාවයට පත්වී පාසල් බෑග් මසමින් ජීවන සටන ජය ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටින්නීය.

අනුරාධපුරයේ උපන් ඇය අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ ආදි ශිෂ්‍යාවකි.
 
1994 වර්ෂයේදී පාසලෙන් පාපැදිය අතට ගෙන 2016 වසර වනවිට තරග හාරසියයකට පමණ සහභාගීවෙමින් ජයග්‍රහණ රැසක් අතකර ගනිමින් රන්, රිදී, ලෝකඩ පදක්කම් 100 ඉක්මවා ලබාගෙන සිටින්නීය.

දෙස් විදෙස් තරගවලින් රටට හා උතුරු මැද පළාතට කීර්තියක් ලබාදුන් පාපැදි ක්‍රීඩාවේ රැජනිය ලෙස කිරුළු පලන් 38 හැවිරිදි ශි්‍රයාලතා මහත්මියට රැකියාවක් ලබා දෙන බවට වර්තමාන රජයේ හා පෙර රජයේ මැති ඇමැතිවරුන් පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නත් ඒ සියල්ල පොරොන්දුවලට පමණක් සීමා වී අද වන විට ඇය දැඩි මානසික අසහනයකට පත්ව සිටින්නීය.

රටක් රනින් හැඩකළ සිය දියණිය පත්ව සිටින තත්ත්වය පිළිබඳව රටට හෙළිකරන ලෙස ඉල්ලමින් අනුරාධපුර මිහිඳුපුර පදිංචිව සිටින ශි්‍රයාලතා මහත්මියගේ මව වන ඩබ්ලිව්. පී. කරුණාවතී මහත්මිය පුවත්පතක් සොයා පැමිණියාය.

මවගේ ඉල්ලීම මත ශි්‍රයාලතා මහත්මිය හමුවීමට ඇය පදිංචිව සිටින තඹුත්තේගම පිහිටි නිවෙසට ගිය අතර ඇයට ජීවත්වීමට මඟක් නොමැති නිසා බුලත් වගාවක් ආරම්භ කිරීමට අවශ්‍ය බුලත් පැළ කිහිපයක් රැගෙන ඒමට මහවැලි අධිකාරියට ගොස් සිටියාය.

රට වෙනුවෙන් දෙපා රිදෙනතුරු කිලෝමීටර් සිය ගණනක් පාපැදිය පැදි ජාතික ශූරිය වන ශි්‍රයාලතා මහත්මිය ඇයට අත්ව ඇති ඉරණම පිළිබඳව මෙසේ පැවසුවාය.

‘මට හිතෙනවා මේ බයිසිකලයක් බදාගෙන මම මගේ අධ්‍යාපනය නැති කර ගත්තා කියලා. මේවා අතහැරලා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තා නම් මම මෙහෙම අසරණ වෙන්නෙ නෑ. පාපැදි තරගයක් අතරතුර සිදුවූ අනතුරකින් මගේ කොන්දට හානි වෙලා තියෙන්නේ. විශේෂඥ වෛද්‍යවරු හමුවන්න කොළඹ යන්න විදියක් නෑ. ඒ නිසා අනුරාධපුර ආයුර්වේදයට ගිහිල්ලා ප්‍රතිකාර කර ගන්නවා.

පාපැදියෙන් මම තියපු වේග සීමාව කඩන්න තාම කිසිම කෙනෙක් සමත්වෙලා නෑ. මම පැයට කිලෝමීටර් 38.99ක වේග සීමාවක් රඳවාගෙන ඉන්නවා. සාෆ් ක්‍රීඩා උළෙලට සහභාගි වෙලා රන් පදක්කම් තුනක් රටට අරගෙන දීලා තියෙනවා.

මැලේසියාව, ඉන්දියාව, දෝහා කටාර්, ස්කොට්ලන්තයේ පැවැති ජාත්‍යන්තර තරගවලට සහභාගිවෙලා පදක්කම් අත්කරගෙන තියෙනවා. 2006 වසරේ ඉඳන් ජාතික මහා ක්‍රීඩා උළෙල හතක් එක පිට එක දිනලා තියෙනවා. 2016 වර්ෂයේ ඉන්දියාවේ පැවැති කාලය මැනීමේ තරගයෙන් රිදී පදක්කම රටට ගෙනල්ලා දුන්නා. දේශීය තරග සිය ගාණකට සහභාගි වෙලා ජයග්‍රහණ සිය ගාණක් ලබාගෙන තියෙනවා.

අද මට ඉන්න තැනක් නෑ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නොහිටින්න. එතුමා මහවැලි ඇමැතිතුමාව ඉද්දී ගෙයක් දෙනවා කියලා දීපු පොරොන්දුව ඉෂ්ට කළා. නමුත් එතුමාට හැකි ආකාරයෙන් තමයි නිවෙස දුන්නේ. දැන් නිවෙස ගරාවැටිලා තියෙන්නේ. වහලය, සිවිලිම දිරාපත් වෙලා කඩා වැටෙනවා. හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්තයා මට වටිනා රේසින් පාපැදියක් දුන්නා. ඒ පාපැදිය තමයි තාම පදින්නේ.

රැකියාවක් ලබා දෙන්න කියලා අවස්ථා කිහිපයකදීම මම බලධාරීන්ට ඉල්ලීම් කළා. මට වරායේ රැකියාවක් දෙනවා කියලා දුමින්ද ඇමැතිතුමා කිව්වා. නමුත් ඒ කිසි දෙයක් ලැබුණේ නෑ. දැන් ගියහම කියනවා ඔයාට රැකියා දෙන්න වයස වැඩියි කියලා. වයස වැඩි වෙන්න කලින් තමයි මම රස්සාවක් ඉල්ලුවේ.

හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහත්තයා එක්ක හුඟක් හිතවත් කියලා ලැබෙන්න තිබුණු ක්‍රීඩා නිලධාරි තනතුරත් මේ ආණ්ඩුවේ අය අහිමි කළා. දැන් එක දෙයයි ඉතිරි වෙලා තියෙන්නේ. මේ ගේ පුරවලා තියෙන පදක්කම් කුසලාන සියල්ලම පුච්චලා වළදාලා දිවි නසා ගන්න එක. අම්මා නොහිටිය නම් මම මෙලහකටත් දිවිනසා ගෙන (හඬා වැටෙමින්) අම්මා තමයි තවමත් කන්න අඳින්න දෙන්නේ. මහත්තයට ස්ථිර රැකියාවක් නෑ.

අම්මා නැත්නම් සමහරදාට කන්නත් නෑ. මේ බයිසිකලේ නිසා දරුවෝ හදාගන්නත් බැරි වුණා. එක දරුවයි ඉන්නේ. දරුවට නම් බයිසිකලයක් අල්ලන්නවත් දෙන්නෑ. තියෙන ආර්ථික ප්‍රශ්න ගැන හිතලාම මානසිකව වැටිලා ඉන්නේ. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මැෂිමක් ලැබුණා.

පාසල් බෑග් මහන්න පුරුදු වුණා. නමුත් අමුද්‍රව්‍ය ගන්න විදියක් නෑ. අම්මා දීපු සල්ලිවලින් බඩු ටිකක් ගෙනල්ලා බෑග් මහනවා. මේ බයිසිකලයක් බදාගෙන දඟලන්නේ නැතිව ව්‍යාපාරයක් කළා නම් අද හයිබි්‍රඩ් කාර් අරන් මාලිගා හදාගෙන ජීවත් වෙන්න තිබුණා.

නාවික හමුදාවෙන් රස්සාව දෙනවා කියලා (2014 _ 2015) වසරවල මගෙන් වැඩ ගත්තා. ගුවන් හමුදා පාපැදි සවාරි දෙකක් පැදලා රන් පදක්කම් අරන් දුන්නා. සත පහකවත් වැටුපක් නොදුන් නිසා එතැනින් අයින් වුණා. අදටත් ලබාදීපු සේවයට කිසිම මුදලක් ලැබුණේ නෑ.

ලැබෙන්න තිබ්බ උදව්වත් අපේම නිලධාරියෝ නැති කළා. සංජීව මුත්තයියා මහත්තයා මාව ඇමෙරිකාවට ගෙනිහිල්ල පුහුණු කරන්න හැදුවා. ඒකත් වැළැක්කුවා.තාමත් මට පාපැදිය පැදලා රටට ජයග්‍රහණ අරන් දෙන්න හයිය තියෙනවා. නමුත් දැන් ප්‍රැක්ටිස් කරන්න පහසුකම් නෑ. මානසිකත්වයක් නෑ. පෝෂ්‍යදායී ආහාර නෑ. දැන් දරුවත් එක්ක ජීවත් වෙන්න විදියක් නැති නිසයි මාධ්‍යයට කිව්වේ’ යැයි ඇය පැවසුවාය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button