පළකල දිනය : Wed, Nov 1st, 2017

සුරාජ් මාපාට කපුටු ප්‍රහාරයක් !

දැන් සුරාජ්ගේ අලුත්ම වාහනේ කුණු ට්‍රැක්ටරයලු නේද?
ජාතික රූපවාහිනියෙන් විකාශය වන “චුට්ටේ” ටෙලි නාට්‍යයේ චුට්ටේ කියන චරිතය නිසා තමයි මට කුණු ට්‍රැක්ටරයක් ලැබුණේ.

මේ චරිතය හරහා කුණු ට්‍රැක්ටරයක වැඩ කරන මිනිහෙකුගේ අත්දැකීම කොයි තරම් දුෂ්කරද කියන එකත් මට දැන ගන්න ලැබුණා.

ඇත්තටම මේ චරිතය මගේ රංගන ජීවිතය තුළ ලැබුණු විශාලතම අභියෝගය විදියටත් හඳුන්වන්න පුළුවන්.
 
ඔය කියන “අභියෝගය” ඔබ මොන විදියටද ජය ගත්තේ?
ට්‍රැක්ටරේ පදවගෙන යන එක මට ගොඩක් අමාරු වුණා. වාහනේ අතට හුරු කරගන්නත් ලොකු කාලයක් වැය කරන්න වුණා.

මට මේ ටෙලි නාට්‍ය සඳහා අධ්‍යක්ෂවරයාගෙන් ඇරයුම් ලැබෙන කොටත් ඇහුවේ සුරාජ් කුණු ට්‍රැක්ටරයක ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කැමතිද කියලයි. හැබැයි බාර දුන් චරිතෙ මේ තරම් අභියෝගයක් වෙයි කියලා නම් එදා හිතුණේ නැහැ.

එතකොට “චුට්ටේ” නිසා සුරාජ්ට කපුටෝ කොටන්න ආපු කතාව මොකක්ද?
ඒක නම් මාරම අත්දැකීමක්. මොරටුව ටවුන් එකේ රූගත කිරීම්වලට යනකොට මැරිච්ච කපුටෙක්ව කුණු ට්‍රැක්ටරේට දාගන්න දර්ශනයක් තිබ්බා. මම ඉතින් කපුටාව අරගෙන කුණු ට්‍රැක්ටරේට දාගන්න යනකොට කපුටෝ රංචුවක් ඇවිත් මාව වට කරගත්තා.

ඒ විතරක් නම් මදෑ. උන් ටික එකතු වෙලා මට පන්න පන්න කොටන්නත් ගත්තා. හරියට උන්ගේ රෑනේ් එකෙක්ව මම මරා දැම්මා වගේ.

හාර කෝටියේ නැ‍පෝලියන්, චුට්ටේ වගේ වෙනස් විදිහේ චරිතවලටම දැන් සුරාජ්ට ආරාධනා ලැබෙන්නේ පෙම්වතාට දැන් සුරාජ් හරියන්නේ නැති නිසාද?
කවුද කිව්වේ මම දැන් පෙම්වතාට හරියන්නේ නැහැ කියලා. මට තවමත් පෙම්වතාගේ චරිතේ හොඳට කරන්න පුළුවන්. ඒත් මම අහිංසක පෙම්වතාගේ චරිතෙන් මිදෙන්න ලැබුණ එකම ලොකු දෙයක්. මේ වගේ වෙනස් විදිහේ චරිත වලින්ද සුරාජ්ට අලුත් දේවල් කරන්න පුළුවන් කියන එක දැන් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබුණානේ.

මේ වෙනකොට සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔබට තිබෙන ඉල්ලුම මොන වගේද?
මට චරිත දෙන්න කියාගෙන මම අධ්‍යක්ෂවරු පස්සෙන් යන්නේ නැහැ. අනිත් එක මට චරිත නොදුන්නත් මට කිසි කෙනෙක් එක්ක අමනාපයක්, තරහක් නැහැ. ඒත් මට චරිත ලැබෙන්න ඕන වේලාවේදී ලැබිලා තියෙනවා.

ඔබ හිතනවාද ඔබ එදා තරමටම ජනප්‍රියයි කියලා?
මං අදටත් මිනිසුන්ගේ හදවතේ ඉන්න බව නම් මම දන්නවා. අනිත් එක ඉර්ඉ දාගෙන වසරේ ජනප්‍රියම නළුවා වෙන්න මට වුවමනා නැහැ. ජනප්‍රියත්වය කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්.

ටික කලක් යනකොට ජනප්‍රියත්වය දිරන්නත් පුළුවන්. නාස්ති වෙන්නත් පුළුවන්. ඒත් හදවතේ ජනප්‍රිය නළුවා කියන එක සදහටම පවතින දෙයක්.

ඔබ එක්තරා රූපවාහිනී නාළිකාවක සුපිරි නර්තන කිරුළ තෝරන විනිශ්චය මණ්ඩලයක සිටියා. නමුත් එක්වරම ඔබ එයින් ඉවත් වුණා. ඒ ඇයි?
මට ජජ් බෝඩ් එකට ආරාධනා කරන කොටම කිව්වා මට දිගුකාලීනව නම් ඉන්න බැහැ කියලා. මං ආස නැහැ පුංචි ළමයි විනිශ්චය කරලා එයාලව රිද්දන්න. ඉතින් මම වට දෙකකට විතරයි හිටියේ. මම නළුවෙක්නේ. මම කැමති මගේ රංගනයට මුල්තැන දෙන්න.

සුරාජ් වසර ගණනාවක් තිස්සේම පෙම්වතාගේ චරිතේ රඟපෑවනේ. ඔය රඟපෑම සැබෑවක් වන දවස පේන තෙක් මානයේ නැද්ද?
විවාහ වෙන්න තවම නම් මට කිසිම හදිස්සියක් නැහැ. ඒත් හැමෝම අහනවා සුරාජ්ට පෙම්වතියක් ඉන්නවානේ. ඇය ගැන කියන්න කියලා.

සමහරු කියනවා මං යාළුවෙලා ඉන්නෙත් ජනප්‍රිය නිළියක් එක්ක කියලා. ඔව්. මට පෙම්වතියක් ඉන්නවා. ඒත් ඇය ජනප්‍රිය නිළියක් නම් නමෛයි. අපි ආදරේ කරනවා. ආදරේ විඳිනවා. ඒත් විවාහ වෙන දවස ගැන විතරක් තවම හිතලා නැහැ.

– සමන්මලී නැලිගම
මුලාශ්‍රය – ලක්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button