පළකල දිනය : Fri, Nov 3rd, 2017

ක්‍රිකට් වලින් වැඩ පෙන්නපු චමරිට පත්තු වුන ඕස්ට්‍රේලියන් ලක් එක !

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

මෙලෙස කාන්තා බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව ලැබූ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව චමරි වීමද විශේෂත්වයකි.

බිග්බෑෂ් තරගාවලියේ මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායම චමරි අතපත්තු සමග ගිවිසුම්ගතව තිබෙන අතර ඒ අනුව චමරි එලබෙන බිග්බෑෂ් තරගාවලියට මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරනු ඇත.
 
මේ වසරේ පැවැති කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළ චමරි මීට ඉහතදී ඒංගලන්ත කාන්තා විස්සයි20 ලීග තරගාවලියේදී යෝක්ෂයර් ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කළාය.

ඒ ශ්‍රී ලංකාවෙන් විදෙස් කාන්තා විස්සයි20 ලීග තරගාවලියට ක්‍රිඩා කිරීමට අවස්ථාව ලැබූ පළමු හා එකම ක්‍රීඩිකාව බවට වාර්තා අතරට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින්ද චමරි සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයක් වූ අතර කාන්තා බිග්බෑෂ් ලීග තරගාවලිය දෙසැම්බර් 9 දා ආරම්භවීමට නියමිතය.

මින් පෙර පැවැති කාන්තා ශූරයින්ගේ කුසලානයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව චමරි අතපත්තු ලබා ගත් ලකුණු 178 දැඩි විචාරක ප්‍රසාදයට ලක් විය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button