පළකල දිනය : Fri, Nov 3rd, 2017

මහ මග තිබුණු ලක්ෂ හතරේ සල්ලි මල්ල අයිතිකාරයාට දුන් විශ්වනාදන්

ජීවත් වීම සඳහා කාටත් මුදල් අවශ්‍යය. මේ නිසාම මුදල් සෙවීම පිණිස වෙහෙසී වැඩ කරන්නට අප කාටත් සිදුව තිබේ.

තවකෙකු වෙහෙසී උපයන මුදල් නීති විරෝධී ලෙස ලබා ගන්නට මිනිස් ඝාතන පවා සිදු කරන තත්ත්වයට අද සමාජය පත්ව තිබෙන මොහොතක මහ මඟ වැටී තිබී තමන් අතට ලැබුණු ලක්ෂ ගණනක මුදලක් ආපසු බාර දීමට කටයුතු කළ ත්‍රිරෝද රථ රියදුරකු පිළිබඳ අපට අසන්නට ලැබුණේ මහනුවරිනි.
 
මුදල් වලට වටිනාකමක් ඇතත් මේ උතුම් ක්‍රියාව සිදුකළ තරුණයාගේ අවංකත්වය නම් කිසිදු මුදල් අගයකින් මැනිය නොහැකි තරමට විශාල වන්නේ වත්මන් සමාජය තුළ අවංක මිනිසුන් සොයා ගැනීම කළුනික සෙවීම තරම් දුර්ලභ බැවිනි.

බණ පිරිත් අසමින් නිදි යහනෙන් නැගිටින මිනිසුන් රාත්‍රී නින්දට යන්නේද බණ හෝ පිරිත් අසමිනි.මේවා අසන තරමට සමාජය යහපත්වී නොමැති බව පසක් වන්නේ දිනපතා අසන දකින ප්‍රවෘත්ති වලිනි.

මේ නිසාම උතුම් මනුෂ්‍යත්වය ඉස්මතු වන සිද්ධියක් අසන්නට දකින්නට ලැබුණු විට අපි ඒ පිළිබඳ කතා කරන්නට පෙළෙඹෙන්නේ නිරායාසයෙනි. රුපියල් හාර ලක්ෂ දස දහසක මුදලක් (410000.00) මහ මඟ වැටී තිබී හමුවී එය හිමිකරු සොයා බාර දෙන ලෙස පොලීසියට බාරදුන් තරුණ‍‍යෙකු පිළිබඳ පුවතක් කන වැ‍නේ‍නේ ඒ අතරතුරය. ඔහු නමින් විශ්වනාදන් පංචශීලන්ය. හින්දු භක්තික දෙදරු පියෙකි. ආර්ථික ප්‍රශ්න වලින් මිරිකී සිටියද මුදල් වලට ඇති ආශාව කොයි ලෙසකින් හෝ ජයගන්නට ඔහු සතු අවංකත්වය ඉඩ නොදුන්නේය.

මම වැඩ කරන්නේ නුවර ටවුන් එකේ නගර සභාවේ අනුමත කරපු වීල් පාක් එකක. බලපත්‍රයක් නැති නිසා අනුමත පාක්වල අය ගියාම මම රෑට ඒ තැන්වල වීල් එක දාලා දුවනවා. ගොඩක් වෙලාවට රෑට මම වීල් එක පාක් කරන්නේ නුවර ක්වීන්ස් හෝටලය ලඟ ශ්‍රී වික්‍රම රාජසිංහ මාවත පටන්ගන්න තැනයි. එතන වීල් 14 ක් දවල්ට දුවනවා. මම රෑ 7.00 ට විතර එතන පාක් කරනවා. පාක් එකේ බලපත්‍ර තියෙන අය හිටියොත් එතන හිස් වෙනකන් ඉන්නවා.

එදා 24 වෙනිදා මම පාක් එකට අවේ රෑ 7.00 ට විතර. ටිකක් වැස්ස තිබුණා. මම වීල් එක රිවර්ස් කරලා බහින්න හදනකොට පස්ස රෝදේ ළඟ කළු බෑග් එකක් තිබ්බා. අතට ගන්නකොට බරට තිබුණ නිසා බෝම්බයක්ද කියලා බයත් හිතුණා. කෝකටත් කියලා දිග ඇරලා බලන කොට පන්දාහේ සල්ලි බන්ඩ්ල් වගයක්, බැංකු පොත් වගයක් තිබ්බා.

මම වයිෆ්ට කෝල් එකක් ගත්තා. ඒත් එක්කම වයිෆ්ට කිව්වොත් ‘එයා සල්ලි ගැන මොනවා කියයිද දන්නේ නැහැ, මගේ හිත වෙනස් වෙන දෙයක් කිව්වොත් එහෙම මම මොකද කරන්නේ’කියලා හිතලා ෆෝන් එකකට් කරලා ඕෆ් කළා. ඊට පස්සේ කෙලින්ම ගියේ නුවර පොලීසියට. ඩියුටි හිටපු සාජන් මහත්තයාට බෑග් එක දීලා ‘සල්ලි වගයක් වැටිලා තිබුණා. අයිතිකාරයා හොයලා දෙන්න’ කියලා මම එන්න හැරුණා. පොලීසියේ මහත්තයා කිව්වා එහෙම යන්න බෑ ඔයාගේ විස්තර ගන්න ඕන කියලා.

මම කිව්වා සර් වීල් එක දුවලා කීයක් හරි හොයා ගන්න ඕන. පරක්කු වුණොත් ඒකත් නැති වෙනවා මට යන්න ඕන කියල. මගේ විස්තරයි ෆෝන් නම්බර් එකයි පොලීසිය ගත්තා. මම ටවුමට ඇවිත් වීල් එක වැඩකළා. රෑ 10.54 ට මට පොලීසියට එන්න කියලා කෝල් එකක් ආවා. මම ගියාම බෑග් එකේ සල්ලි ලොකු ගාණක් තිබ්බ බව කිව්වා. කීයක් සල්ලි තිබ්බද මම දන්නේ නැහැ කියලා කිව්වම ඇයි බැලුවේ නැත්තේ කියලා පොලීසිය ඇහුවා. මම කිව්වා මට බලන්න වුවමනාවක් වුණේ නැහැ කියලා.

මහනුවර බෝගම්බර පදිංචි විශ්වනාදන් පංචශීලන් තිස් එක් හැවිරිදිය. ඔහුගේ වැඩිමහළු දරුවාට අවුරුදු 04 කි. බාල දරුවා ඉපිද තාමත් ගතව ඇත්තේ සිව් මසකි. බිරිඳ සත්‍යමූර්ති විමලනීය. ඇයද විශ්වනාදන් මෙන්ම අවංකව ගුණයහපත් කමින් ජීවිතය ගොඩනගා ගන්නට වෙහෙස මහන්සි වන්නියකි.

මහත්තයා සල්ලි වගයක් අහුලලා පොලීසීයට බාරදීලා ගෙදර ඇවිත් විස්තරේ කිව්වා. මම කිව්වා අනුන්ගේ සල්ලි අපිට වැඩක් නැහැ දීපු එක හොඳයි කියලා. සල්ලි අයිති මහත්තයා ගිනි ඇවිලිලා ඉද්දී ඒ සල්ලි වලින් කෑවොත් අපිට කවදාවත් හරි විඳවන්න වෙනවා. මහත්තයා දවසට කීයක් හෙව්වත් රුපියල් සීයක් අනාථ නිවාස වල දරුවන් වෙනුවෙන් අයින් කරනවා. මාසේ අන්තිමට ඒ සල්ලි වලින් අසරණ ළමයින්ට කන්න අරන් දෙනවා. අපිට තිබිලා නෙවෙයි ඒක කරන්නේ. අපි හම්බ කරන දෙයින් කීයක් හරි තවත් නැති බැරි අය වෙනුවෙන් අයින් කරන්න ඕන.

මෙම මුදලේ හිමිකරු ගාල්ල හිනිදුම පදිංචි එස්.බී විජේසුන්දර මහතාය. ඔහු නැතිවූ මුදල් කිසි විටෙකත් යළි හමුවේයැයි නොසිතුවේය. මහනුවර පොලීසියෙන් මේ පිළිබඳ දැනුම් දෙන විට ඔහුට එය අදාහාගත නොහැකි වූයේ එබැවිනි…

මම පසුගිය 24 වෙනිදා මගේ 51 වැනි උපන් දිනය ‍‍වෙනු‍වෙන් දළදා මාලිගාවට පූජාවක් පැවැත්වූවා. මාස තුනක් මස් මාංශ ආහාරයට නොගෙන පේ වෙලා තමයි මම පූජාවට සම්බන්ධ වුණේ. සීට්ටුවකින් මට ලැබුණු මුදල් වගයකුත් අරන් තමයි නුවර ආවේ. ඒ සල්ලි බෑග් එකක දාලා මගේ බැංකු පොත් එහෙමත් ඒකට දැම්මා. වැඩකටයුතු ඉවර වෙලා රෑ 7.00ට විතර ඔය කියන වීල් පාක් එක ළඟ වාහනය නතර කරලා නුවර නවතින්න තැනක් ගැන තොරතුරු ඇහුවා.

වැව රවුමේ නවාතැන් පොළට මුදල් දෙන්න බලනකොට තමයි සල්ලි බෑග් එක නෑ කියලා දැන ගත්තේ. නුවර එන ගමන් නිට්ටඹුවේ කඩේකින් උදේට කෑවා. සල්ලි මල්ල එතන තමයි වැටෙන්න ඇත්තේ කියලා හිතලා කෙලින්ම නිට්ටඹුවේ කඩේට ගියා. එතන සී.සී.ටී.වී දර්ශන වල මම සල්ලි බෑග් එක කඩේට අරන් ගිහින් ආයෙත් අරන් ඇවිත් කාර් එකට නගිනව පහැදිලිව තිබුණා. සල්ලි මල්ල ගත්ත වෙන අවස්ථාවක් මතක නැති නිසා සල්ලි ගැන අදහස අතහැරලා ගෙදර ගියා.

එතකොට තමයි පොලීසිය සල්ලි වගයක් හම්බවෙලා තියෙනවා අන්‍යන්‍යතාව ඔප්පු කරලා ගන්න කියලා කී‍වේ. සල්ලි ගාන පොලීසිය මගෙන් ඇහුවා. මම කිව්ව ගාන ඒකේ තිබ්බා. මගේ බැංකු පොත් එහෙමත් ඒ විදිහටම තිබුණා. මේ වගේ අවංක අය අද හරිම අඩුයි. ඇත්තටම මට මේක හීනයක් වගේ..

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි නාරංපනාව මහතා… ත්‍රීවීල් රියදුරන් පිළිබඳ සමාජයේ යහපත් හැඟීමක් නැහැ.ඔවුන් අපරාධ , නොයෙක් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බව තමයි පොදු හැඟීම.

සල්ලි නිසා ඕනෑම ජරා වැඩක් කරන්න පෙළඹෙන පිරිසක් මේ ක්ෂේත්‍රෙය් ඉන්නවා. මේ අය නිසා අද ත්‍රීවීල් රියදුරා කියන චරිතයට පිළි ගැනීමක් නැති වෙලා. එවැනි පසුබිමක් තුළ විශ්වනාදන්ගේ ක්‍රියාව අතිශයින්ම ප්‍රශංසනීයයි. මේ ක්‍රියාව ත්‍රිරෝද රථ රියදුරන් දෙස අලුත් අහැකින් බලන්න හේතු වෙනවා.

මහනුවර ත්‍රිරෝද රථ රියදුරන්ගේ මහ වෘත්තිය සංගමයේ සභාපති ප්‍රියදර්ශන රූපසිංහ.

අපේ සංගමයේ සාමාජිකයෝ හාරදහසක් පමණ ඉන්නවා. මේ සල්ලි මල්ල පොලීසියට දීලා තියෙන්නේ බලපත්‍රයක් නැතුව නගරේ වීල් එකක් වැඩකරන කෙනෙක්.

මේ ක්‍රියාව නිසා ත්‍රීවිල් රියදුරන් සම්බන්ධයෙන් සමාජයේ පවත්නා දුර්මත ටිකක් හරි දුරුවුණා කියලා අපි හිතනවා. මේ සල්ලි මල්ල අයිතිකාරයට බාර දෙන්න ක්‍රියාකළ විශ්වනාදන්ට අපිත් උදව්වක් කරන්න කල්පනා කළා. අපි එයාට ටවුමේ කොතන හරි වීල් එක දුවන්න පර්මිට් එකක් අරන් දෙන්න උදව් කරනවා. මේ වගෙ අය අපේ රස්සාවට ඕන. මේ ගැන අපි සංගමයේ මහ සභාවේදී කතා කරන්න තීරණය කළා.

සටහන-අසේල කුරුළුවංශ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button