පළකල දිනය : Fri, Nov 3rd, 2017

ඉස්කෝලේ යන්න ඕන කීවම තාත්තා ගහනවා

මහනුවර පොලීසියේ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණි කුඩා දැරියක් එහි ස්ථානාධිපතිනිය වෙත පැමිණ පවසා සිටියේ ‘‘අනේ නැන්දේ මම ඉස්කෝලේ යන්න ආසයි.

ඉස්කෝලේ යන්න ඕන කීවම තාත්තා ගහනවා. මම ශිෂ්‍යත්ව විභාගයට ලිව්වා.එදායින් පස්සේ ඉස්කෝලේ ගියෙම නෑ.

ඉස්කෝලෙ ඇඳුම් ඉරිලා සපත්තු දෙක කැඩිලා.අලුත් පොත් දෙක තුනක් ඒන අකුරු ලියන්න.අම්මා සල්ලි නෑ කියනවා.මට ඉගනගෙන හොඳ රස්සාවක් කරන්න ඕන‘‘ යනුවෙනි.
 
දස හැවිරිදි කවිෂ්කා කල්හාරි දැරිය මෙසේ පවසමින් ස්ථානාධිපතිනිය හමුවේ සඳහන් කළේ ඒ සඳහා තම පියාගෙන් මුදල් ඉල්ලා දෙන ලෙසයි.

මත්කුඩු හා හත්පැන් භාවිතයට ඇබ්බැහිව කවිෂ්කා ඇතුළු දියණියන් දෙදෙනෙකු සමග තමන් හැරගොස් සිටින සැමියා මහනුවර නගරයේ අයිස්ක්‍රීම් අලෙවියෙන් ලබන සියලු මුදල් මත්කුඩු භාවිතයට වැයකරන බව කවිෂ්කාගේ මව පවසයි.

කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් නිළධාරිනියන්ගේද දෙනෙතට කඳුලක් එක් කළ කවිෂ්කා අද ගෙවන ජීවිතය වයස අවුරුදු 10 දැරියකට උසුලන්න පුලුවන්ද කියා සිතෙන්නේ ඇගේ කතාවට සවන් දෙන විටය.

‘‘තාත්තා ගෙදර එන්නේ නැති නිසා අම්මා අපිට කන්න දෙන්න. ගෙවල් වල වැඩට යනවා.අම්මා උදේ ගියාම හවස එන්නේ.දවල්ට කන්න දෙයක් නැතිවෙන වෙලාවල් ගොඩක් තියනවා.ඒ වෙලාවට වතුර ටිකක් බීලා තමයි හවස් වෙනකල් ඉන්නේ .මම ඉස්කෝලේ ගියෙත් උදේට කන්න නැතිව‘‘ යැයිද ඇය පැවසුවාය.

මෙසේ තම දුක කියන කවිෂ්කාගේ වැඩිමහල් සහෝදරියට අවුරුදු 16කි.ඇය මාස හතරක් වයසැති බිළිඳියකගේ මවක් බවට පත්ව තිබෙන්නේ බස් රථ රියදුරෙකු අතින් අතවරයට ලක්වීමේ ප්‍රතිපලයකිනි.

සැකකරු මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන අතර,ඔහු දරුවාගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අධිකරණය මගින් ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කරීමට තීණය කර ඇත.

තම මව කුලී වැඩක් කර යමක් රැගෙන එන තුරු දරුවාද තුරුලු කරගෙන ඇයටද බලා සිටින්නට සිදුව තිබේ.

මහනුවර කටුගස්තොට අඹතැන්න ප්‍රදේශයේ ගරා වැටීමට ආසන්න නිවසක කුලියට පදිංචිව සිටින මොවුන් පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයාගේ හෝ වෙනත් වගකිව යුතු නිළධාරින්ගේ ඇස නොගැටීම කණගාටුව කරුණකි.

මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව සෑම දරුවෙකුම නිසි වයසේදී පාසල් යැවීම කළ යුතු අතර එසේ නොකරයි නම් නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.

රජයේ වැටුප ලබන ග්‍රාම නිළධාරිවරයාගේ වගකීම වනුයේ තම බලතල ප්‍රදේශය තුළ එවැනි දරුවන් සිටී නම් ඒ පිළිබඳ අදාල අංශ වෙත වාර්තා කිරිමය.

පුංචි කවිෂ්කාට එම අවස්ථාවද අහිමිව ගොස් අවසානයේ පොලීසියට පැමිණ දුක කියන්නට සිදුව තිබෙන්නේ පිය මෙන්ම රජයේ වගකිව යුතු නිළධාරීන්ද වගකීම් ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක හේතුවෙනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button