පළකල දිනය : Fri, Nov 3rd, 2017

කොරියාවේ රැකියාව කරමින් සිටි තරුණයා සියලු සැප සම්පත් හැරදා පැවිදි වූ හැටි

කොරියානු රැකියාවකට යැම බොහෝ දෙනකුට සිහිනයක්‌ වුවද කොරියාවේ තෙවසරක සේවයෙන් පසු ගිහිගෙය අත හැර දමා ගොස්‌ පැවිදි බවට පත්වූ තරුණයකු පිළිබඳ තොරතුරක්‌ අනුරාධපුර ප්‍රදේශයෙන් අනාවරණය වෙයි.

නමින් ප්‍රභාත් ප්‍රියකැලුම් තිස්‌ දෙහැවිරිදි තරුණයෙකි.

විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ සමත්ව සිට මීට වසර තුනකට පෙර එනම් 2014 වසරේදී සිය කොරියන් සිහිනය සැබෑ කරගත්තේය. ඔහුගේ පියා විශ්‍රාමික විදුහල්පතිවරයෙකි.
 
අගහිඟකම්වලින් තොර පවුලේ දූ දරුවන් හතරදෙනකුගේ පවුලේ තෙවැන්නා ඔහුය. සෙසු දරුවෝ විවාහවී සිටිති. ලබන වසරේ විවාහ වීමට සිටි ඔහුට පෙම්වතියකද විය.

කොරියාවේ සිටි කාලයේදී අන්තර්ජාලය ඔස්‌සේ විකාශය වන ආගමික වැඩසටහනක් පුරුද්දක්‌ ලෙස ශ්‍රවණය කර ඇති ඔහු නිස්‌සාර කටයුතු අතහැර පැවිදි වීමට තීරණය කළේය.

මේ බව පසුගිය අට වැනිදා දෙමාපියන්ට දැන්වීය. මෙය ඇසීමෙන් දැහැමි දිවියක්‌ ගෙවන මවත් පියාත් මහත් අමන්දානන්දයට පත් වූහ.

එය තම පවුලට ලද මහා භාග්‍යයක්‌ කොට සිතුවේය. ඒ සඳහා මාපිය අවසර ලත් මේ තරුණයා මේ බව සිය පෙම්වතියට දැනුම් දුන්නේ ඇයගේ ආශිර්වාදය ද අපේක්‍ෂාවෙනි.

එහෙත් එය හිතූ තරම් පහසු කාර්යයක්‌ නොවීය. තම උත්සාහය අත්නොහළ තරුණයා මනා සංයමයකින් යුතුව සිය පෙම්වතියට කරුණු අවබෝධ කර දීමට සමත් විය.

ඔහු වෙනුවෙන් ටික දිනක්‌ හඬා වැටුණ ඇය සත්‍ය තේරුම් ගෙන ඒ සඳහා පෙම්වතාට ආශිර්වාද කළාය.

පසුගිය මස එකොළොස්‌ වැනිදා ආපසු ශ්‍රී ලංකාවට පැමිණි ඔහු තමන් සතු ඉඩකඩම් හා තමා සතු වාහනය හා හරි හම්බ කළ මුදල් සියල්ල දෙමාපියන්ගේ බැංකු ගිණුම්වලට මාරු කළේය.

දෙපතුලේ තිබූ පාවහන් දෙක ද නිවසේ තබා සියල්ල අත්හැර ඇඳිවත පමණක්‌ ම රැගෙන නිවසින් නික්‌ම ගියේය.

ඔහු පසුගියදා දෙමාපියන්ගේ සතුටු කඳුළු මැද “ජයසිරිපුර ධම්ම විජිත” නමින් පැවිදි බවට පත් විය.

පැවිදි බව ලැබූ ඔහු මේ වනවිට ඉංගිරිය ආරම පරිශ්‍රයේ භාවනානුයෝගීව වැඩ වාසය කරයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button