පළකල දිනය : Sat, Nov 4th, 2017

මම වැරැද්දක්, නරක දෙයක් කරලා නැහැ

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන “සිඳූ ටෙලිනාට්‍යය” ඔස්සේ බොහෝ කතාබහට ලක්වූ “තෙරුණි” පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ ප්‍රසිද්ධියට පත්විය.

මනීෂා චංචලා නමැති ඇය රංගන ශිල්පිනියක පමණක් නොව ගායිකාවකද වෙයි. මේ ඇය සමග කළ කතාබහකි.

මේ දවස්වල කාර්යබහුලද?

මේ දවස්වල ලොකු කාර්යබහුලත්වයක් නැහැ.
 
රංගන ජීවිතයේ වැඩකටයුතු කොහොමද?

තවම ‘සිඳූ’ ටෙලිනාට්‍ය‘යේ පටිගත කිරීම් සඳහා සහභාගි වෙනවා. පසුගිය දිනවල මියුසික් වීඩියෝ කිහිපයකට දායක වුණා.

ඔබ රංගන ශිල්පිනියක්ද? ගායන ශිල්පිනියක්ද?

ගායනය තමයි මූලික. මම ඇක්ටින් කියන එක එහෙම ලොකුවට කරන්නේ නැහැ. ලැබෙන හොඳ චරිත විතරක් බාරගෙන කරනවා.

‘අවාරේ අවාරේ’ ඔබේ පළමු වැනි ගීතයද?

නැහැ. මීට කලින් ගීත කරලා තියෙනවා. නමුත් ‘අවාරේ’ ගීතයට වැඩිපුර ප්‍රතිචාර ලැබුණා. වගේම ඒ ගීතය ගොඩක් මහන්සි වෙලා කළා.

ඔබ මීට කලින් කළ ගීත මොනවාද?

මම වැඩියෙන්ම කරලා තියෙන්නේ යුග ගීත. හිරාන් තේනුවර සමග ගීත කිහිපයක් කර තියෙනවා.

‘අවාරේ අවාරේ’ ගීතයට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. කොහොමද එහෙම වුණේ?

ඒක මෙහෙමයි. රැල්ලට ගියෙ නැති එක තමයි එතැන ජනප්‍රියත්වයට මූලික හේතුව. තියෙන මියුසික් වීඩියෝ හා ඕඩියෝ දිහා බැලුවාම තියෙන දේට වඩා වෙනස් දෙයක් සමාජයට ගියාම ජනප්‍රියත්වයක් ලැබෙනවා. ජනප්‍රියත්වය මූලික කරගෙන නෙවෙයි ඒක කළේ. හොඳ ගීතයක් හා හොඳ අදහසකට මියුසික් වීඩියෝ එක කළ නිසා ජනප්‍රියත්වක් ලැබුණා.

ඇයි ඔබ යුග ගීත සඳහාම දායක වෙන්නේ? ‘සෝලෝ’ සඳහා දායකත්වයක් නැද්ද?

නැහැ. එහෙම දෙයක් නැහැ. මගේ ‘සෝලෝ’ ගීතයක් එන්න තියෙනවා. ඒ ගීතයේ මියුසික් කළේ ශාන්ත ජයලත් තිසේරා සර්. ගීතය ලිව්වේ මගේ අම්මා ශාන්ති දොඹකාර. අම්මාගේ අදහසකට අනුව හදිසියේ කළ ගීතයක්. ඒ ගීතය මගේම කියලා කරපු පළමු වැනි ගීතය විදියට එළිදක්වන්න බලාගෙන ඉන්නවා.

ගායනයේ පසුබිම සකස් වෙන්නේ පවුල් පරිසරයත් සමගද?

නැහැ. ගායන ක්‍ෂේත්‍රයට අපේ පවුලේ අයගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මම 2008 දී ‘ලිට්ල් ස්ටාර්’ හරහා තමයි ගායන ක්‍ෂේත්‍රයට එන්නේ. ඊට පෙර ළමා නිවේදිකාවක ලෙස වැඩකටයුතු කරලා තියෙනවා.

ඔබේ පළමු වැනි රංගන අත්දැකීමත් එක්ක දායක වුණ වැඩකටයුතු මොනවාද?

මගේ පළමු වැනි ටෙලිනාට්‍ය ‘වස්සාන සිහිනය’. ජානක සිරිවර්ධන සර් තමයි අධ්‍යක්‍ෂණය කළේ. ඊට පස්සේ තමයි ‘සිඳු’ ටෙලිනාට්‍ය සඳහා දායක වුණේ උසස් පෙළ කරන කාලයේ.

‘සිඳූ’ නාට්‍යයත් සමග ඔබ ගොඩක් කතාබහට ලක්වුණා. දැන් ඒක ටිකක් අඩුවෙලා. දැන් ඔබේ ජනප්‍රියත්වය අඩු වෙලාද?

මෙහෙමයි. ජනප්‍රියත්වය කියන දේ එක මට්ටමක පවත්වාගන්න බැහැ. ඒක මට විතරක් නෙවෙයි. ක්‍ෂේත්‍ර‘යේ ඉන්න ඕනෑම කෙනෙකුට ඒක පොදුයි. ප්‍රවීණ වුණත්, ජනප්‍රිය වුණත් ජනප්‍රියත්වය අඩු වෙනවා, වැඩිවෙනවා. තමන් කරන දේ අනුව මිනිස්සුන්ගේ හිතේ හැමදාම ඉන්නවා නම්, ප්‍රශ්නයක් නැහැ.

මියුසික් වීඩියෝ සඳහා ගොඩක් ආරාධනා ලැබෙනවානෙ. තෝරාබේරාගෙනද ඒවාට දායක වෙන්නේ?

ඔව්. ඕඩියෝ එක ගැන විශේෂයෙන් සැලකිල්ලක් දක්වනවා. ඒත් එක්කම ‘ස්ක්‍රිප්ට්’ (රචනය‍/කතාව) පිළිබඳ සැලකිලිමත් වෙනවා. ඒ දෙකම ගැන බලලා තමයි සම්බන්ධ වෙන්නෙ.

සිනමාව පැත්තෙන් පේන්න නැත්තේ, අවස්ථාවක් නැද්ද? ආසාවක් නැද්ද?

එහෙම එකක් නැහැ. මම චිත්‍රපට සඳහා ගායනයෙන් දායක වෙලා තියෙනවා. රංගනයට ලැබුණ අවස්ථාව මට මගහැරුණා. මොකද මම උසස් පෙළ හදාරන කාලේ නිසා. අධ්‍යාපන කටයුතුත් එක්ක ඒවායේ යන්න බැරි නිසා ගොඩක් දේවල් මිස් වුණා. ගොඩක් ඉස්සරහට අවස්ථාවක් ලැබිලා හොඳ දෙයක් ලැබුණොත් යනවා.

වෘත්තිය විදියට රංගනය තෝරා ගන්නවාද? නැතිනම් ඔබේ ජීවිතයේ වෙනත් හීනයක් තියෙනවාද?

වෘත්තීය මට්ටමෙන් මම ගායනයවත්, රංගනයවත් කරන්නේ නැහැ. ඉදිරියට මගේම කියලා දෙයක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

‘සිඳූ’ නාට්‍යයෙන් ලබන අත්දැකීම මොනවගේද?

මම රංගනය හදාරලා නැහැ. හැබැයි මම ‘වස්සාන සිහිනය’ වැඩකරපු අය එක්කමයි ‘සිඳූ’ කරන්නෙත්. මේ නාට්‍ය‘යේ අධ්‍යක්‍ෂවරයා තිළිණ බොරලැස් අයියා. ඒගොල්ලෝ කියලා දෙන දේවල් එක්ක තමයි ඒ දේවල් කරන්නේ. ඉදිරියේදී රංගනය තුළ දිගටම හිටියොත් මම ඒ දේවල් පිළිබඳ අධ්‍යයනය කරනවා.

ක්‍ෂේත්‍රය තුළ නවකයන් බොහෝමයක් බිහිවෙනවා. මේක ඔබ වැනි නවකයන්ට තරගයක් නෙවෙයිද?

ඒක ඉතින් අපට නවත්වන්න බැහැ. ක්‍ෂේත්‍රය තුළ අලුත් අය ඉදිරියටත් බිහිවෙන්න පුළුවන්. එහෙමයි කියලා තරගකාරීත්වයක් තියෙනවා කියලා ඒක වෙනස් කරන්න බැහැ. ඒක තමයි ඇත්ත.

කෙනෙකුගෙ හිත තුළට යන්න එක නිර්මාණයකට දායක වීමෙන්ම පුළුවන්ද?

ඔව්, අනිවාර්යයෙන්ම. මිනිස්සුන්ගේ හිතේ රැඳෙන්න නිර්මාණ ගොඩකට ඉන්න ඕන කියලා දෙයක් නැහැ. එක නිර්මාණයක් හරියට කළොත්, මිනිස්සුන්ගේ සිත් තුළ ඉන්න පුළුවන්.

ඔබ දායක වුණ වැඩකටයුතු පිළිබඳ ඔබ පෞද්ගලිකව තෘප්තිමත්ද?

ඔව්. මම වැරැද්දක්, නරක දෙයක් කරලා නැහැ. මාව ජනප්‍රිය වුණානම් වුණේ හොඳ දෙයකින්. ඒ කරපු දේවල් පිළිබඳ තෘප්තිමත්.

ඉදිරි බලාපොරොත්තු හා වැඩකටයුතු මොනවාද?

ඉදිරියේදී මගේම දෙයක් පටන් ගන්න මම හිතාගෙන ඉන්නවා. ඒ මොකක්ද කියලා පසුව කියන්නම්. ඊට අමතරව මට පුළුවන් කාලයක් ගායන ක්‍ෂේත්‍ර‘යේ රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා.

මේ දේවල්වලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

අම්මි, අප්පච්චි තමයි මගේ හයිය. ඒ වගේම අක්කිලා දෙන්නා. මෙතැනට එන්න උදව් කරපු හැම කෙනෙක්ම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button