පළකල දිනය : Sat, Nov 4th, 2017

කිලෝමීටර් හත් ලක්‍ෂයක් ‘ක්ලච් ප්ලේට්’ මාරු නොකර දුවපු හයිවේ බස්රියේ සරත්

සරල මනුෂ්‍යයකුගේ හදවතට පිවිසීමට ඇවැසි නම් ඔහුගේ හද ‍ෙදාරටුවේ උසට සරිලන අයුරින් හිස නමා ගැනීමට සිදු වීම අහම්බයක් නොවේ.

මාතර සිට අධිවේගී මාර්ගයේ පැමිණි ව්ඕ- 7356 බස් පොඩ්ඩට කඩුවෙලින් මම ගොඩවන මොහොතේදී සිදුවූයේ නිනව්වක් නොමැතිව බස් රථයකට ගොඩ වැදීම නම් නොවේ.

එය පිරුණු සරල බවින් යුතු, සොඳුරු තරුණයකුගේ හදවතකට ගොඩ වැදීමක්.
 
සරත් කුමාර විදානගේ; ඔහු තමයි රියැදුරු. බස් රථය සීරුමාරුවට කිලෝමීටර් හත් ලක්ෂයක ආසන්නයට මහ දුරක් ගෙවා රැගෙන විත් ඇති රියැදුරු.

අප්පා කළ දේ පුතා නොකළා නම් උෟ නොට්ටිගේ පුතා ! සැබෑවටම සරත් කුමාර විදානගමගෙ නොට්ටිගේ පුතෙක් නෙවෙයි.

සරත්ගේ පියා බස් රථ පොදු ජනසේවයක් කරන්නට පෙරාරතුව ගාල්ල ජයසිංහ බස් කම්පැණියේ ජැන්ඩි රියැදුරෙක්.

පියාගේ නම විදානගේ ජුවානිස්. නියමිත පරිද්දෙන් තාත්තා හැම විටකදීම සරත්ගේ ලෝකයේ වීරයා. “වෙනවානම් වෙයන් රියැදුරෙක් – ඒක බොහොම ලස්සන රස්සාවක් කොල්ලෝ” තාත්තා සරත්ගේ ලෝකය දෙස තම ඇසින් බැලුවේ ඒ ආකාරයට.

බස් රථයකට හදවත් රෝග ඇති කරන්නේ නැතිව සීරුමාරුව භාවිතාවේ යොදවා කිලෝමීටර් හත්ලක්ෂයකට ආසන්න මහ දුරක් ගෙවා දමන්නට හැකි සුමුදු අමුතු රියැදුරෙක් බවට සරත් පත් වුණේ සරත්ගේ පියා ලස්සන රස්සාවක් සිය එකම පුතුණුවන්ට දායාද කළ නිසා.

තාත්තා රස්සාව කළේ දේවකාරියක් කරනවා වගේ. 38 වැනි වගන්තිය අනුව 56දී බණ්ඩාරනායක මහත්තයා ඇති කරපු ලංගමය තමයි තාත්තාගේ එකම ලෝකය වුණේ. අපි මාතර උපන් අය. මම පවුලේ එකම දරුවා. තාත්තාගේ මහපට ඇඟිල්ල තමයි මගේ ජීවිතයේ යතුර.

තාත්තා උදේ ජයසිංහ කම්පැණියේ වැඩට යන්න කලියෙන් වත් පිළිවෙත් ගොඩක් ඉටු කළා කියලා අම්මා හැමදාම කියනවා. එයා හැම ඇඳුමක්ම මැදල ඇන්ද කෙනෙක්. ජේත්තුකාරයා. බස් ගැන කියවන්න ගත්තම කට කන්‍ෙදාස්කිරියාවයි. ඇන්ජිමේ ඉඳලා ඒ කාලයේ එංගලන්තයේ ආපු ෂෝ බඩු වල නට් ගැන පවා එයා දන්නවා. ඒ හින්දා මට පුංචි කාලයේදී බස් කියන්නේ කාන්සියට පාළුවට හිටිය එකපළෝලේ සහෝදරයෙක්! ඇයි අප්පා; කොයි වෙලාවෙත් තාත්තා කතා කරන්නේ මම ගැන. නැත්නම් බස් ගැන.

හත දශකයේ මුල, ටක්කටයම කිව්වොත් 1971 උපදින සරත් පාසල් ඩෙස් බංකුව පවා සුක්කානමක් බවට පත් කර ගන්නේ අනාගතය පිළිබඳ පියාගේ යුරු සහ අදියුරු රියැදුරුම විය යුතු යැයි නිතර දෙවේලේ ස¼දහන් නිසා. මාතර සෙන් ජෝන්ස් පාසලෙන් පතපොත පිළිබඳ දැනුමක් ලබා ගත්තත් සරත්ගේ හද තුළ කැකෑරෙන්නේ සුක්කානම පමණයි.

ඒකාලේ හොඳ ලස්සනට තියාගෙන ඉන්න සරල පෙනුම ඇති බස් පාරවල්වල හිඟයි. එක්කෝ තිබුණේ ඕනෑවට එපාවට දුවන්නම් වාලේ පාරේ දුවපු බස්. එහෙමත් නැත්නම් අපේ තාත්තා වගේ මල් පූජාසනයක් බවට පත් කරගත් බස්. මම ඔය දෙකොටසටම කැමැති වුණේ නැහැ.

බස් එකක් කියන්නේ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන එකක්නේ. පිරිසුදුව පිළිවෙළට තිබුණම ඕනම දෙයක් හොඳ හැඩයෙන් පෙනෙන්න ගන්නවා. මට ඕන වුණේ එහෙම බස් එකක්. ඔය කාලේ මාතර ඉඳලා දුවන හැම බස් එකකටම මම නැඟලා තියෙනවා. රියැදුරු තැනගේ සීට් එක පිටුපස්සේ තියෙන පොල්ල අල්ලගෙන ගමනාන්ත හැම එකටම වගේ යනවා. අතේ තියෙන ගාණට ගමන ගිහින් ආපසු එන්නත් සල්ලි තියාගෙන බස්වල නැඟලා ගිය ඒකාලේ තමයි මගේ ජීවිතයේ හොඳම කාලය.

බස්වල රියැදුරු තැන බේ්‍රක් ගහද්දී හිටගෙන ඉන්න මටත් බේ්‍රක් පෑගිලා. කෙළින් අතට තියෙන පොල්ලක්නේ අල්ලගෙන ඉන්නේ. රියැදුරු තැන බස් එක හරවන විදියට ඒ පොල්ල අල්ලගෙන හරව හරව තමයි මමත් ඉන්නේ. ටික කාලයක් යද්දී රියැදුරු තැන බේ්‍රක් ගහන්න කලින් ගියර් බැලන්ස් එකෙන් මට බේ්‍රක් ගහලා බස් එක ස්ලෝ කරගන්න පුළුවන් වුණා.

තොරොම්බෝල් කරත්ත, වළං මැහි වැනි බස් කම්බස් කර දමා මධ්‍යම ප්‍රතිපදාවේ බස් රථයක සිහින කරුවෙක් බවට පත් සිටින අප කතානායක සරත් කුමාර විදානගේ ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතර ඩිපෝවේ රියැදුරෙක් බවට පත්වන්නේ 1991 වර්ෂයේදී. බස් රථයක සුක්කානම මෙහෙයවීම යනු සුළු පටු රාජකාරියක් නොවේ.

ගමනාන්තය දක්වා සමස්තය කැටිව පවතින්නේ රියැදුරු දෑත මත. සුවපහසු ගමනාන්තයක් සෙන්සෙලෙප්පුවේ මගියාට ලබා දෙන රියැදුරා ලයර් නම් සංගීත භාණ්ඩය වාදනය කරන ඔර්ෆීනස් දෙවිඳුන්ට සමාන යැයි කියැවෙන්නේ ඒ නිසා.

ලයර් වාදනය කන වැටෙන කඳු හෙල්, ගංගා, ගහකොළ නටන්නට ගන්නවාලු! සැබැවින්ම අද වන විටත් එකදු මගී පැමිණිල්ලක් නොමැතිව සරත් කුමාර විදානගේ මාතර සිට කඩුවෙල දක්වා මගීන් රැගෙන යෑමට සුක්කානම සුසර කරන්නට ගත්විට ඔහු පිළිබඳ දන්න කියන මගීන්ට සැබෑම සැනසිල්ලක්.

අවදානම පිළිබඳ අවධානයකින් තොරව ගමනාන්තය කරා යෑමට හැකි විශ්වාසය මගීන් තුළ ඇති කරන්නක්. එයම කඳු, හෙල්, ගංගා, ගහකොළ නටනවා දකින්නට නැති සම සිතක් මගීන්ට උරුම කර දෙනවා.1991 මම ලංගමේ රියැදුරු රස්සාව භාර ගත්තා. 2014 අප්‍රේල් 8 වැනිදා අධිවේගී මාර්ගයේ බස් දුවන්න ගත්තා.

ඒ අවුරුද්දේ තමයි මම වැඩ කරන මේ බස් රථ ලංකාවට ගෙන්නුවේ. ඔක්කොම බස් 100ක් ගෙනාවා. 80ක් ලංගමට දුන්නා. 20ක් මාර්ග සංවර්ධන අධිකාරියට. මම බස් එක භාරගන්න කොට දුවලා තිබුණේ කිලෝමීටර් 80යි. ඒවා පොඩි පොඩි රනින් ෂෙඩූල්. මම තමයි හයිවේ එකේ මුලින්ම මේ බස් එක දුවන්න ගත්තේ. චීනයෙන් ගෙනාපු බස් හින්දා මේ දිහා රියැදුරෝ බැලුවේ වපර ඇහින්. මම එහෙම හිතුවේ වත් නැහැ.

ඩිපෝ අධිකාරිතුමා බස් එක් මට භාරදෙන කොට තිබුණු සරල ක්‍රම තමයි දිගටම ආරක්ෂා කළේ. මතුපිටින් නෙවෙයි ඇතුළෙනුත් මම ඒක කළා. හරි වෙලාවට ඔයිල් මාරු කළා. බේ්‍රක් ඔයිල් බැලුවා. ධාවන සටහන් ක්‍රමවත් කළා. බස් එකට කළ යුතු ප්‍රතිකාර හරි දිනයට කළා. දැන් කිලෝමීටර් ලක්ෂ හතකට ආසන්න වුණත් තාම එකම ක්ලච් ප්ලේට් එකක්වත් මේ බස් එකට දාලා නැහැ. බේ්‍රක් පැඩ්ල් මාරු කළෙත් එකම එක පාරයි.

ගෙනාපු බස් සියය අතරින් හොඳම තත්ත්වයෙන් තියෙන බස් එක මේක. අපි මතු පිට ලස්සන ගැන හිතන ජාතියක්නේ. එහෙම බැහැ. මම විශ්වකර්ම වැඩක් කළේ නැහැ. බස් රථයේ මතු පිට තිබෙන සරල ක්‍රම ඇතුළතත් තියා ගන්න උත්සාහ කළා. එච්චරයි. අදටත් මම දවසකට කිලෝමීටර් හයසියයක් දුවනවා.

මේ වැඩේ කරන්න මට මගේ ඉහළ නිලධාරීන් ගොඩක් උදවු කරනවා. ඒ අය දන්නවා මම රැකියාවට ආදරය විත්තිය. චයිනීස් කියන්නේ දැන් බ්‍රෑන්ඩඩ් එකක්. මේ බස් හදන චීන කම්පැණියේ සභාපතිතුමා ලංකාවට ඇවිත් මාව මුණ ගැහිලා මගේ සේවය ඇගැයීමටත් ලක් කළා.

සරත් කුමාර විදානගේ ගේ අවසන් වචන අතර ඇත්තේ ගෝලීය ආර්ථිකයේ හරස් කැපුමක්. චීනය! චීනය සැබවින්ම ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ පතාක යෝධයාට අඳින්නට සූදානමින්.

ජර්මනියේ වොක්ස්වැගන්, ජපානයේ ටොයෝටා, ඇමෙරිකාවේ පර්ජෝ, ඉතාලියේ බොගවාඩ් ඉසෙබලා, එංගලන්තයේ ෆෝඩ් පරදවා, චීනයේ යූටෝන් සමාගම තනි නමකින් ඉදිරියට ඇවිත් යන්න තමයි සත්‍යය. කොමියුනිස්ට් පාලනය තිබුණද චීනය ලෝවපතළ විදේශීය සමාගම්වලට සිය රට තුළට පැමිණීමට ඉඩ දී නව තාක්ෂණය, අනර්ඝත්වය සහ නිර්මාණශීලීත්වය ඔවුන්ගෙන් උකහා ගෙන පමණක් නොව ඒවා අභිභවා යන නව නිපැයුම් ලෝකයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එහි කදිම සාක්ෂිකරුවා වන්නේ ලංකාවේ මෝටර් රථ පරිහරණය කරන්නන් අතරින් 12% අතරැඳි චෙරි කිවු කිවු රථයයි. ගෝලීයකරණයෙන් දශකයකටත් පසු චීනය අත්පත් කර ගත් ව්‍යාපාරික – තාක්ෂණික ජනප්‍රියත්වය අප වැනි රටක් සමඟ සසදා කතා කිරීමේ විහිළුවෙන් පලා යා හැක්කේ ඒ තාක්ෂණය ප්‍රායෝගිකව අත් විඳිමින් තවකෙක්ට කියන්නට තරම් හැකියාවක් ඇති සරත් කුමාර විදානගේ වැනි වටිනා කියන මිනිසුන් අතළොස්සක් සිටින නිසාවෙන්.

මේ පිළිබඳ නිනව්වක් නැති සරත් හෙට දිනයේද තම රාජකාරියට සූදානම්. සරත් කුමාර හරියටම දන්න හැඩයි නිහැඩියාව සරල බවත් එක්ක කාලයේ ගර්භාශ බිත්තිය ඇලුණම අදට වඩා හොඳ හෙට දවසක් උදා වන බව.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button