පළකල දිනය : Mon, Nov 6th, 2017

දූලා හතර දෙනා එකට ගුලිවෙලා හිටියා, තත්පරෙන් අපිව ගහගෙන ගියා

රත්හිට – පිටවල ගම එකම විලාපයක් කරමින් , තෙල්ගමු දිය කඳට යටවී ජිවීත අටක් ජල රකුසාට බිලි වූ පුවත රටම කම්පාවට පත් කිරීමට සමත්ව තිබේ.

මෙම ඛේදවාචකයෙන් දිවි අහිමි වූයේ පසුගිය සෙනසුරාදා තෙලිගමු ඔයේ දිය නාමින් සිටි පිරිසකගේය.

ඒ පිටවල සමීපයේ සංචාරක ස්‌ථානයක්‌ ගොඩනඟමින් සිටින නාත්තන්ඩිය ප්‍රදේශයේ ප්‍රකට වෙළඳ ව්‍යාපාරිකයකු වූ කිංස්‌ලි රත්නායක මහතාගේ පවුලේ පිරිසය.
 
ඔවුන් සමඟ ඥාතීන් පිරිසක්‌ ද වූහ. ඔවුහු ද දුම්බර සිරිය බලන්නට ආරාධනා ලැබ සිටි නාත්තන්ඩිය ප්‍රදේශයේම ව්‍යාපාරික පවුලකි.

කිංස්‌ලි සිය බිරිඳ දුලීකා සහ සුරතල් දියණියන් දෙදෙනා ද රවීන්ද්‍රගේ පවුලේ බිරිඳ හා දියණියන් දෙදෙනා ද පුතුද ඒ ගමනට එක්‌ව සිටියහ. ඒ හැර දුලීකාගේ මව සහ පියා ද රියෑදුරන් දෙදෙනා ද ගමනට එක්‌වූහ. සියල්ල 12 දෙනෙකි.

රත්නායක පවුලේ දොළොස් හැවිරිදි විනුකි සහ සිවු හැවිරිදි දිල්හාරා සමග රවීන්ද්‍ර පවුලේ දොළොස් හැවිරිදි ඉෂාදි සහ හත් හැවිරිදි ඉමාෂි දැරියන් සිවුදෙනෙක්ද ගමනට එක්ව සිට තිබේ. පසුගිය සිකුරාදා යෙදුනු ඉල් පෝය ගෙවී පැය කීපයක්‌ ගත වූ සෙනසුරාදා ද තෙලිගමු ඔයේ දිය නෑමට මෙම පිරිස සුදානම්ව තිබේ.

පිරිස ගඟ අසලට එන විට හිරු බැස යමින් තිබී ඇත. සියලුම දෙනා මහත් ප්‍රීතියකින් ජල ක්‍රීඩාවට සුදානම්ව තිබේ.

මහා ඛේදවාචකය සිදුව තිබෙන්නේ ඉන් පසුවය. ඒ පිළිබදව මියගිය කිංස්‌ලි රත්නායකගේ බිරිඳ දුලීකා දැඩි ආයාසයකින් මාධ්‍යයට තොරතුරු විස්තර කළේ මෙලෙසය.

“අපි 12 න් පස්‌සේ වගේ නාන්න ආවා. එතකොට අනේ කුකුල් තෙමෙන්න විතරයි වතුර තිබුනෙ. දුවලා ටික ආශාවෙන් ඇඳුම් පිටින්ම වතුරට බැහැලා ගලින් ගලට ඇවිද ගියා. මගේ මහත්තයයි, රවීන්ද්‍ර මල්ලියි, අම්මයි, තාත්තයි වතුරට බැහැලයි හිටියේ. චූටි වැස්‌සක්‌ තිබුණා.

උඩහ පිරිමි ළමයි හත්අට දෙනෙකුත් නාමින් සිටියා. තාත්තාට දියවැඩියාව නිසා ගල්වලට කකුල් තුවාල වෙයි කියලා ඉවුරට ආවා. අපි හැමෝම හරිම සතුටින් හිටියේ. එකපාරටම මහා සද්දයක්‌ සමඟ මහ වතුර පාරක්‌ ආවා. ගල් වැටි අතරින් පහතට කඩා වැටෙනවාත් දැක්‌කා. වතුර එනවා අයින් වෙන්න කියලා කවුදෝ කෑ ගැහැව්වා. මම ඉක්‌මනට ළමයි ටික එක පොදියට අල්ලා ගත්තා. ඒත් චූටිදුව අතහැරුණා. එතන තාත්තා හිටියා. කෙල්ලො හතර දෙනා එකට ගුලිවෙලා හිටියා.

එක පාරටම මහා ජල කඳක්‌ ඇවිත් අපි සීසීකඩ විසිරිලා ගියා. තත්පර ගාණයි ගියේ. මොනවා උනාද දන්නෙ නෑ. වතුර වැඩිවුණා. මගේ ඇස්‌ ඉදිරිපිටම කට්‌ටිය අතුරුදන් වුණා. මගේ මහත්තයා ගඟ මැද ගලක එල්ලිලා විනාඩි 5 විතර බේරෙන්න පොර බැදුවා. ඒත් වතුර පාරෙ සැරට එයත් විසිවෙලා නොපෙනී ගියා. මම මොනවා කරන්නද ගඟ දිගේ දිව්වා. කෑගැහැව්වා. පස්‌සේ තමයි ගමේ අය ආවේ. පොලිසිය ආවෙ.”

අනේ එක පාරක්‌ මූණ බලන්න මගේ අහිංසක කෙල්ලො දෙන්නා හොයලා දෙන්නැයි කියමින් දුලීකා දැත් එකතු කරමින් අවට සිටි සැමගෙන් ආයාචනා කරමින් වැළපෙනු දුටු ගම්වාසීහු ද කඳුළු සලන්නට වූහ. ඒ වන විට ගම්වැසි අභීත තරුණයෝ ගංදිය සමඟ පොර බදමින් දිල්රුක්‍ෂි ගේ දේහය ගොඩට ගෙනවුත් තිබුණි.

එය ගිලන් රථයකට දැමූ අතර තවත් ස්‌වල්ප වේලාවකදී වැඩිමල් දියණිය විනුකි ගේ නිසල සිරුර තරුණයකු විසින් සිය ගෙලවට දවටා ගොඩට ගෙන ආවේ දුටුවන් හද කම්පාවෙන් කම්පාවට පත් කරමිනි. සවස 6 පමණ වන විට කිංස්‌ලි, චන්ද්‍රකාන්තී, රවීන්ද්‍ර ඇතුළු සිරුරු 05 ක්‌ සොයා ගනු ලැබූහ.

05 දා උදැසන පිරිසේ බාලයා වූ හිරුනි දිල්හාරාගේ දේහය සිද්ධිය වූ තැනින් කිලෝමීටර් දෙකකට පමණ ගඟ පහළින් සොයා ගැනුණි.

ප්‍රදේශවල ආරක්‍ෂාව ලග්ගල සහ රත්තොට පොලිසිවලට අයත්ය. ඒ වෙත කිලෝමීටර් 50 – 25 අතර දුරක්‌ පවතී. සති අන්තවල පොලිස්‌ මුරපොලක්‌ පිටවලට ලබා දෙන්නැයි ලග්ගල ප්‍රාදේශීය ලේකම් මෑතක දිස්‌ත්‍රික්‌ සංවර්ධන රැස්‌වීමේදී ඉල්ලා සිටි බවට වාර්තා පළවිය.

නමුත් අනතුරු මරණ නැතැයි කියා පොලිසිය එය ප්‍රතික්‍ෂේප කළ බව ද සඳහන් විය. දැන් ඒ සියල්ල විමසා බලන ලෙස මේ මරණ 8 බලධාරීන්ට ඒත්තු ගන්වා ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button