පළකල දිනය : Sun, Nov 12th, 2017

සෙල්ල කතරගම විහාරයේ සිදුවන භයානක නිධන් කොල්ලය

කතරගම පූජා භූමී ප්‍රදේශය යළිත් උණුසුම්ව තිබේ.

ඒ ප්‍රදේශවාසීන් සෙල්ල කතරගම පුරාණ ගල්ලෙන් විහාරයේ සිදුවන කැණීමක් පිළිබදව සිදු කරන බවට කරන චෝදනාවක් සමගිනි.

වාර්තා වන අන්දමට පුරාණ ගල්ලෙන් විහාරයේ ඓතිහාසික ගල්ලෙන පාමූල පසෙකින් විශාල කැණීමක්‌ සිදු කරමින් තිබේ.
 
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන ආකාරයට විදිහට ගල්ලෙන හාරන්නේ නිධානයක්‌ ඉලක්‌ක කරගෙනය.

කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියක්‌ නොමැතිව පූජා භූමියක සහ පුරාවිද්‍යා භූමියක කිසිදු ආකාරයේ කැණීමක් සිදු කළ නොහැකිය.

මේ පිළිබදව ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙසය.

“දැන් මාස කිහිපයක ඉඳලා රෑට පන්සල්වත්තෙන් පන්දම් එළි පේනවා. අපි බලාගෙන ඉන්නකොට ඒ එළි හෝස්‌ ගලා පත්තු වෙනවා. මහා පාන්දරට ගල් කඩන ශබ්ද ඇහෙනවා. ගමේ හැම කෙනෙක්‌ම ඒ ඇහෙන ශබ්ද ගැන විමසිල්ලෙන් හිටියේ. ඒත් පන්සලට ගිහින් බලන්න බෑ.

මොකටද තොපි ආවේ කියලා හාමුදුරුවො ඇඟට කඩාපනිනවා. පහුගිය පළමුවැනිදා රෑ හතරදෙනෙක්‌ එක්‌ක පන්සලේ හාමුදුරුවො ගල උඩ ඉන්නවා අපි දැක්‌කා. පන්දම් පත්තු වුණා. ගල් කඩන ශබ්ද ඇහුණා. අපි 119 ට කතා කරලා කිව්වා. පැයකට විතර පස්‌සේ පොලිසියේ වාහනයක්‌ ඇවිත් ගියා. ඊට පස්‌සේ පන්දම් එළි නිවිලා ගල් කඩන ශබ්දය නැවතුණා. ඒත් පොලිසිය ඒ ගැන පරීක්‍ෂණයක්‌ කළේ නැති බව අපිට පස්‌සේ තේරුණා.

ඊට පස්‌සේ ගමේ මිනිස්‌සුන්ගේ අත්සන් සහිතව තංගල්ල පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට ලිතව පැමිණිලි කළා. ඒත් වැඩක්‌ වුණේ නෑ. පස්‌සේ අපි බුද්ධ ශාසන අමාත්‍යවරයාට ලිතව දැනුම් දුන්නා. ඒ එක්‌කම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් දැනුම් දුන්නා. ඊට පස්‌සේ පසුගිය 07 වැනිදා පුරාවිද්‍යා නිලධාරීන් කිහිපදෙනෙක්‌ පන්සලට ඇවිත් කැණීම් සිදුවන ස්‌ථාන පරීක්‍ෂණ කළා…”

“මේ විහාරස්‌ථනයේ නායක හාමුදුරුවො විදිහට වැඩ සිටියේ මලිත්තේ ඥානානන්ද හාමුදුරුවො. උන්වහන්සේ පන්සලේ ඉඩම් ප්‍රදේශවාසීන්ට විකුණුවා. පන්සල් භූමිය කට්‌ටි කැඩෙන හැටි බලාගෙන ඉන්න බැරි තැන ගමේ මිනිස්‌සු එකතු කරගෙන ගිහින් ඔය දේ කරන්න එපා කියලා අපි ඥානානන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටියා. ඒත් හාමුදුරුවො කිව්වේ ඉන්න තැනක්‌ නැති කෙනෙකුට ඉන්න හිටින්න තැනක්‌දීම පිනක්‌ කියලයි.

එහෙම කියාගෙන හාමුදුරුවෝ පන්සල් භූමියේ පර්චස්‌ පහ, දහය, විස්‌ස විකිණුවා. ඒකට විරුද්ධව අපි උද්ඝෝෂණ කළා. මාධ්‍යයට කිව්වා. ඒත් වැඩක්‌ වුණේ නෑ. කතරගම බොහෝ දෙනෙක්‌ හාමුදුරුවන්ගෙන් ඉඩම් ගත්තා. නීතිඥ මහත්මයෙකු ඉදිරියේ හාමුදුරුවො ලිතව අත්සන් කරලා තමයි ඉඩම් විකිණුවේ. ඒ ගත්ත සමහර ඉඩම්වලට බලපත්‍රත් තියෙනවා. සමහර ඉඩම්වලට තවම බදු ඔප්පු නෑ…”

“උන්වහන්සේ 2014 මැයි මාසේ 26 වැනිදා අපවත් වුණා. දැන් මේ පන්සලට හාමුදුරුවරු දෙනමක්‌ අයිතිවාසිකම් කියනවා. පන්සලේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවකුත් තියෙනවා. දැන් පන්සලේ වැඩ වාසය කරන හාමුදුරුවො හරිම දරුණුයි. මිනිස්‌සු සල්ලිවලට ගත්ත ඉඩම්වල පදිංචි වෙලා ඉන්න දෙන්නේ නෑ. ගහනවා… බණිනවා… ගෙවල් කඩන්න හදනවා. ගමේ අයට පන්සල පැත්ත පළාතකට එන්න දෙන්නේ නෑ.

වඳින්න එන වන්දනාකරුවන්ටත් බැණලා එළවන අවස්‌ථා තියෙනවා. ඒ වන්දනාකරුවො පාර දිගට දොස්‌ කිය, කියා යනවා අපිට ඇහෙනවා. කතරගම දේවාලයට එන බොහෝ බැතිමතුන් සිරිත් පරිදි වල්ලි දේවාලයට එනවා. දෙමළ බැතිමතුන් අනිවාර්යයෙන් එනවා. ඒත් දැන් ඒ ස්‌ථානයට ගිහිල්ලා බැතිමතුන්ට නිදහසේ වැඳුම් පිදුම් කරගන්න ඉඩක්‌ නෑ. එක පාරක්‌ ගිය පිරිසක්‌ ආයෙත් පන්සල වඳින්න එන්නේ නෑ. ඒ නිසා දැන් පන්සල පාළුවට ගිහිල්ලා.

පහුගිය ජූලි මාසේ දවසක පන්සල් වත්තේ පුද්ගලයෙක්‌ එල්ලිලා මැරිලා ඉඳලා පොලිසිය හොයාගත්තා. මිනිය හොඳටම නරක්‌ වෙලා තිබුණා. එල්ලිලා මැරුණද… මරලා එල්ලුවද… කියලා අදටත් අභිරහසක්‌. පස්‌සේ අපිට ආරංචි වුණා ඒ මැරිලා හිටිය මනුස්‌සයා කට්‌ටඩියෙක්‌ කියලා. ටික කාලයක ඉඳලා ඒ මනුස්‌සයා පන්සලේ නතර වෙලා ඉඳලා තියෙනවා. ගමේ මිනිස්‌සු ඒ බව සඳහන් කරලා පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා. ඒත් ඒ මරණය සම්බන්ධයෙන් හරි පරීක්‍ෂණයක්‌ වුණේ නෑ.

දැන් පන්සලට පොලිස්‌ ආරක්‍ෂාවත් දීලා තියෙනවා. මොන හේතුවක්‌ නිසා පොලිස්‌ ආරක්‍ෂාව දීලද කියලා අපි දන්නේ නෑ. මේ අපේ පන්සල. අපිට වැඳුම්, පිදුම් කරන්න තියෙන, දානේ වේලක්‌ දෙන්න තියෙන එකම සිද්ධස්‌ථානය. දැන් අපි රටේ බලධාරීන්ට කියන්නේ මේ පන්සලට වෙන විනාශය නතර කරලා දෙන්න කියලයි. මල්වතු නායක හාමුදුරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා හිටින්නේ මේ ඓතිහාසික විහාරස්‌ථානයට සුදුසු විහාරාධිපතිවරයෙක්‌ පත් කර දෙන්න කියලයි…”

මෙම සිදුවීම් පිළිබදව සෙල්ලකතරගම ප්‍රදේශවාසීන්ගේ චෝදනාව එල්ල වන්නේ පුරාණ ගල්ලෙන් විහාරස්‌ථානයේ වැඩ සිටින රඹුක්‌වැල්ලේ සංඝානන්ද ස්‌වාමීන් වහන්සේටය. සිදුවීම පිළිබදව උන්වහන්සේ මාධ්‍යයට අදහස් දක්වා තිබුනේ මෙලෙසය.

“මෙතැන කිසිම කැණීමක්‌ සිදුවෙන්නේ නෑ. කණින එක අහන්න ඕන ඔය කියන අයගෙන්ම තමයි. කැණීමක්‌ තියෙනවා නම් මමත් ආසයි බලන්න. මහත්තෙලා පන්සලට ඇවිත් කණින එක ගැන හොයලා බලන්න. මෙතැන කැණීමක්‌ නෙමෙයි මහත්තයා වෙන්නේ ඉඩම් කොල්ලයක්‌. දැනටමත් හැටතුන්දෙනෙක්‌ ඉඩම් අල්ලගෙන ඉන්නවා. තවත් හැත්තෑදෙනෙකු ඉඩම් අල්ලන්න සූදානමින් ඉන්නවා.

දැනටමත් නටබුන් උඩ ගෙවල් හදලා, හෝටල් ගහලා. තැන්, තැන්වල කසිප්පු පෙරනවා. වටිනා ගස්‌ කපනවා. මේ ඉඩම් කොල්ලකරුවන්ට ඕන මාව එළවගන්න. මම කැණීම් කරනවා කියාගෙන සැරසෙන්නේ මාව එළවන්න. මේ පෞරාණික ස්‌ථානයක්‌. මම මහණ වෙච්ච තැන. මම ඉන්නකම් මේ පූජා භූමියේ ඉඩම් කොල්ලකන්න දෙන්නේ නෑ. මම දෙවියන්ගෙන් ඉල්ලා හිටින්නේ මේ ස්‌ථානය පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ කරන්න කියලයි…”

කෙසේ වෙතත් මේ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් සිදු කර ඉඩම් කොල්ලයක් හෝ කැණීමක් සිදුව ඇත්දැයි සොයා බලා , එවැනි දේ නවතා දැමීම බලධාරීන්ගේ වගකීමයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button