පළකල දිනය : Thu, Nov 16th, 2017

මරණින් පසු සිදුවන්නේ කුමක්ද? ඔබ කිසිදා නොඇසූ පිළිතුරු මෙන්න

මා පසුගියදාක මෙල්බර්න්හි සිටියදී එහි පැමිණි කෙනෙක් “ඔබේ මරණයෙන් පසු ව ඔබට සිදු වන්නේ කුමක්ද?” යන මාතෘකාවෙන් දේශනයක් පවත්වන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. භාවනා කරන විට, විශේෂයෙන් ගැඹුරු භාවනාවන්හි නිතර වූ විට ඔබට ඔබේ මනස ක්‍රියා කරන්නේ කොහොමද?

විශේෂයෙන්ම මනස, ශරීරයට ප්‍රතික්‍රියා දක්වමින් ක්‍රියා කරන්නේ කොහොමද? යන කාරණා පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වෙනවා.

අවුරුදු ගණනාවක් භාවනාවේ නිරත වූ කෙනෙකුට සිදු වන්නේ කුමක්ද? මනසේ ස්වභාවය කුමක්ද? ශරීරයේ ස්වභාවය කුමක්ද කියා අවබෝධයක් ලබාගන්නට පුළුවන් වෙනවා.
 
පසුගිය අවුරුදු කිහිපය තිස්සේම මම මෙවැනි අවබෝධයක් ලබාගැනීමට උදවු වන භාවනා ක්‍රම ඉගැන්වීමේ නිරතව සිටියා.

ධ්‍යාන වැඩීමේදී නැත්නම් ඉතා ගැඹුරු භාවනාවන්හි නිරතව සිටින විට ඔබට ඔබේ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකි වෙනවා.

මේ හැර ඔබේ මරණයෙන් පසු ඔබට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ සාක්ෂි පාදක කරගත් යම් යම් අනාවරණ තිබෙනවා. තාවකාලිකව මරණයට පත් වී, මනස සිරුරෙන් වෙන් වී, ආපසු මනස සිරුරට එක් වූ තැනැත්තන් එම විරාමය නැත්නම් මරණය හා නැවත ප්‍රාණය ලැබීම අතර කාලයේ ලත් අත්දැකීම් පිළිබඳ අනාවරණවලින් මරණයෙන් පසුව සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධ කරගැනීමට අප්‍රමාණ සාක්ෂි තිබෙනවා.

ඒ හැර ස්වල්ප දෙනෙකුට ඔවුන්ගේ පෙර ජන්මය පිළිබඳ මතකයන් තිබෙනවා. මෙය සමහර විට සමහරුන්ට නිරායාසයෙන් ලැබෙන්නක් හෝ තවත් සමහරුන් පුහුණු කිරීමෙන් ළඟා විය හැකි තත්ත්වයක්.

ඔබේ මරණයෙන් පසු ඔබට සිදු වන්නේ කුමක්ද? කියා දැනගැනීමට ඉවහල් වන මෑතකාලීන සාක්ෂි තිබෙනවා. ඒවා අනතුරකට භාජනය වී, නැත් නම් ශල්‍යකර්මයක් අතරතුරදී තාවකාලිකව මරණයට පත් වී පසුව නැවත ප්‍රාණය ලැබූ අය තමන්ගේ මරණය පිළිබඳ දක්වන අත්දැකීම්.

ශරීරය තවකාලිකව මරණයට පත් වූවත් මේ ඇත්තන්ගේ මනස ශරීරයෙන් වෙන් වී ගොස් සිදු වෙමින් පවතින දේවල් නිරීක්ෂණය කිරීමට හැකි වීමෙන් පසු නැවත මනස සිරුරට එක් වී ජීවත් වීමට වාසනාව ලැබූ අයයි. මේ තැනැත්තන් සිය තාවකාලික මරණය පිළිබඳ දක්වන අත්දැකීම් මෙහිදී වැදගත් වෙනවා.

ජීවිතයේ පසු වුණ විවිධ අවස්ථාවල මෙසේ තාවකාලික මරණයට පත් වී නැවත ජීවත් වීමට අවස්ථාව ලැබූවන් පවසන කතාන්දරවලින් කියවෙන්නේ එකම දේවල්ය. මේ සියලු කරුණු එකතු කොට ඔබේ මරණයෙන් පසුව ඔබට සිදු වන්නේ කුමක්ද යන දේශනය පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා.

මරණයෙන් පසුව ඔබට සිදු වන්නේ කුමක්ද වැනි කාරණා විමසා බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි? මේ වගේ දේවල් මගින් කලින් කලට අපේ ජීවිතය පිළිබද ආකල්ප පුළුල් වෙනවා. ජීවිතය පිළිබඳව වඩාත්ම වැදගත් වන්නේ අපේ ආකල්පයි. මෙහිදී අප උගන්වන්නේ මෙවැනි කරුණුයි.

ඒවා ව්‍යවහාරයට පැමිණි විට ඔබ මරණයට පත් වූ පසු ඔබට සිදු වන්නේ කුමක්දැයි දැනගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් හා අත්දැකීමක් ලබාගත් විට ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයකට සාර්ථකව ප්‍රතික්‍රියා දක්වන්නට හැකි වෙනවා; ජීවිතය දිහා සුන්දර ලෙස ඒ වගේම සුබදායකව හෙවත් ධනාත්මකව බලන්නට ඔබට හැකි වෙනවා.

දැන් අපි ආපසු අපේ මාතෘකාවට පිවිසෙමු. අපි ඔබ මරණයට පත් වීමට ආසන්නව ඔබට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව මූලිකව විමසා බලමු. මරණයෙන් පසුව සිදු වන්නේ කුමක්ද කියා ඊට පසුව විමසා බලමු.

ජීවිතය කියන්නේ අඛණ්ඩ ගමනක්. ඔබ රාත්‍රියේදී නින්දට ගොස් පසුදා උදේ අවදි වන විට උදේ අවදි වුණේ රාත්‍රිය නිදාගන්නට ගිය පුද්ගලයාමයි. සමහර විට නින්දට යන්නට පෙර සිටියාට වඩා තරමක් වයස්ගත වී තිබුණත් උදේ අවදි වන්නේ රාත්‍රි නින්දට ගිය තැනැත්තාමයි. ඔබ මරණයට පත් වූවාට පසුවත් සිදු වන්නේ මෙයම තමයි.

අප මරණයට පත් වීමට ආසන්නව සිදු වන්නේ කුමක්ද කියා විමසීමේදී මා මෙහිදී අවධානය යොමු කරන්නේ අනතුරකින් නැත්නම් ශල්‍යකර්මයක් මැද සිදු වූ හදිසි මරණයක් ගැන නොව, අසනීපයකින් වියපත් වීමකින් නැත්නම් රෝගාතුර වීමක් වැනි දෙයකින් සිදු වන සෙමෙන් මරණයට පත් වීමක් ගැනයි.

එය සිදු වන්නේ අපේ පංචේන්ද්‍රියේ, ඒ කියන්නේ ඇසින් දැකීම, කනින් ඇසීම, නාසයෙන් සුවඳ දැනීම, දිවට රසය දැනීම, කයෙන් පහස ලැබීම ආදිය එකිනෙක අකර්මණ්‍ය වීමෙන් නැත්නම් ශරීරයේ වෙන් වීමෙන්. බෞද්ධ භික්ෂුවක් විදිහට බොහෝ දෙනෙකු මරණාසන්නව සිටි අවස්ථාවලදී මරණය සිදු වන්නේ කෙසේදැයි දැක බලාගැනීමට මම භාග්‍යවන්ත වී සිටිනවා.

මෙය බෞද්ධ භික්ෂුවක විදිහට අත්විඳින්න ලැබෙන හරිම සිත්කාවදින අත්දැකීමක්. භික්ෂුවක් විදිහට මේ වගේ දුර්ලභ අත්දැකීම් ලබාගන්න ඉඩකඩ ලැබෙන නිසා මේ භික්ෂු ජීවිතය මම මහත් සේ අගය කරනවා. ඒ අතර එහි අගය ගැන සහතික කර කියන්න මට පුළුවන් වෙනවා. මරණයට ආසන්න වූවන්ගේ කටයුතුවලට භික්ෂුවක් විදිහට සහභාගි වීමට නිරතුරුවම මට අවස්ථාව ලැබෙන අතර, ඉන් ලැබෙන අත්දැකීම් හරිම අපූරුයි.

මරණය සිදු වන්නේ, විශේෂයෙන්ම වියපත් වූවකුගේ, රෝගාතුර වූවකුගේ, එහෙම නැත්නම් කිසියම් ලෙඩක් නිසා මරණාසන්න වූවකුගේ මරණය සිදු වන්නේ සෙමෙන්. මම මුලින්ම මේ විදිහට සිදු වන මරණ දැක්කම, මරණය සිදු වන්නේ මෙන්න මේ වේලාවටයි, අටටයි නැත්නම් නමයටයි කයා කියන්න බැරි, මිනිත්තු ගණනක් තිස්සේ සිදු වන ක්‍රියාවලියක් විත්තිය මට තේරුණා.

මේ ක්‍රියාවලිය පටන් අරගෙන සෙමෙන් සෙමෙන් අවසානයට පත් වනවා. හිටිහැටියේ සිදු වන දෙයක් නොව, ක්‍රියාවලියක්යැයි මා කියන්නේ මේ නිසයි. මෙය මුළු ජීවිතයම තේරුම් ගැනීමට බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. මරණය යනු ක්‍රියාවලියක් මිස සිදුවීමක් නොවෙයි.

මෙය තේරුම් ගත් විට මරණය සිදු වන ක්‍රියාවලියේ අවසානය සිදු වන්නේ ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, ස්පර්ශය, රස විඳීම යන පස් ඉඳුරන්ගේ අතුරුදන් වීම, අවසාන වීම සමග බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. තව විදියකින් කිව්වොත් තවත් ඉතින් ඇසීමක්, දැකීමක්, ගඳසුවඳ දැනීමක්, රස විඳීමක්, ස්පර්ශයක් සිරුරට දැනෙන්නේ නැහැ. කෙනෙකු මරණයට පත් වූ බව අප දැනගන්නේ මෙන්න මෙහෙමයි.

ඒත් අපි කෙනෙක් මැරුණාය සිතමින් හඬාදොඩා වැලපෙද්දිත් ඔහු හෝ ඇය තවමත් ජීවත් වෙමින් සිටින්න පුළුවන්. අපි ඒ නැතැත්තා මරණයට පත් වූවායැයි තීරණය කළත්, හෙදියන් නැත්නම් වෛද්‍යවරුන්ට මරණය කරා ආසන්න වෙමින් සිටින තැනැත්තාගේ ඇස්වල ජීවයක් දකින්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා.

භාවනාව තුළින් මා වටහාගත් එක් දෙයක් තමයි, භාවනාවේදී සිදු වන්නේ මෙන්න මේ ක්‍රියාවලියමයි කියන-එක. භාවනාවේ ගැඹුරට යන විට ඔබේ සිරුරෙහි පස් ඉඳුරන්ම සිරුරෙන් අතුරුදන් වෙනවා. ඔබ භාවනාව සඳහා හිඳගත් විට ඔබට මේ වගේ අත්දැකීමකට ආසන්න අත්දැකීම් අත්විඳින්න පුළුවන් වෙනවා. ටිකෙන් ටික ඔබට ඔබේ අත, පය, සිරුර එහා මෙහා කරන්නට බැරිව සිරුර ඔබෙන් අතුරුදන් වෙනවා.

සෙමෙන් සෙමෙන් මරණයට පත් වීමේදී සිදු වන්නේ මේකම තමයි. හැබැයි ඔබ භාවනා කිරීමේදී මිය යන්නේ නැහැ. ඔබට භාවනාව නිම කොට සිහි එළවාගන්න පුළුවන් වෙනවා. නමුත් මරණයේදී එය නිමක් දකිනවා. සිරුර පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් වින්දනයන් සහමුලින්ම, නැත්තටම නැති වී යනවා. මේ විදියට භාවනාව නිසා පසිඳුරන් ඔබේ ශරීරයෙන් අතුරුදන් වීමෙන් ඔබට විශාල සැහැල්ලුවක්, සතුටක්, සැනසීමක් අත්විඳින්න ලැබෙනවා.

මෙහි තිබෙන ප්‍රයෝජන මොනවාද? මුල්ම කාරණය නම් ඔබේ සිරුර ඔබෙන් වෙන් වී ගිය පසු, අතුරුදන් වී ගිය පසු ඔබට සිරුර නිසා මෙතෙක් විඳින ලද දුක්වේදනාවන්ගෙන් අත්මිදීමක් ලබන්න පුළුවන් වීමයි. එය හරිම යහපත් තත්ත්වයක්. ඔබ ගැන කියන්ට මා දන්නේ නැහැ.

නමුත් මා නම් වියපත් වෙමින් සිටින බව මා දන්නවා. දැන් මට වයස අවුරුදු 60 යි. දැනටමත් මට ශරීරයේ රුදා වේදනා, අපහසුකම් දැනෙනවා. හැටේදී මෙහෙම නම් හැටපහේදි, හැත්තෑවේදි කොහොම වේවිද කියා මට සිතෙනවා.

කොහොමහරි තවතවත් වේදනා උත්සන්න වෙන විත්තිය නම් මා දන්නවා. මේ හින්දා මේ ශරීරයෙන් වෙන් වෙන්න ලැබෙනවා නම්, මේ ශරීරය අත්හරින්න ලැබෙනවා නම් කොයිතරම් කදිමද? ඔබේ ශරීරය ඔබෙන් අතුරුදන් වෙන්න පටන් ගත්තාම ඔබට හරිම පුදුමාකාර ආස්වාදයක් විඳදරාගන්න ලැබෙනවා.

වේදනා නැහැ, රුදා නැහැ. මීට මිනිත්තු කිහිපයකට ඉස්සර මා භාවනා කරමින් සිටියදී මගේ උගුරේ තිබුණු වේදනාව එහෙම්පිටින්ම අතුරුදන් වී ගියා. පසුගිය සති කිහිපයේදී ඉන්දුනීසියාවේ සිට ආපසු ආවාට පසු මේ උගුරේ අමාරුවෙන් මා පීඩා වින්දා. ඒක මොකක් හරි ආසාත්මිකතාවක් නිසා හැදිච්ච අමාරුවක් වෙන්න ඇති.

ඒ වුණත් කරුණාකර ඔබට කියන්න දෙයක් තිබෙනවා. මා ගැන කරුණාවන්ත වී මට කිසිම බෙහෙතක් දෙන්න උත්සාහ කරන්න එපා. මට අසනීපයක් කියා දැනගත්තාම මගේ දායකයෝ ගෙනත් දෙන බෙහෙත්වලින් බෙහෙත් සාප්පුවක් පුරවන්න බෙහෙත් ජාති තියෙනවා. කරුණාකර මේ සැරේ එහෙම කරන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.

මිනිත්තු කිහිපයකට ඉස්සර භාවනා කිරීමෙන් මා ලත් අත්දැකීම තමයි උගුරේ දැවිල්ල කෙමෙන් කෙමෙන් අතුරුදන් වීම. කොයිතරම් අරුමයක්ද? වදවේදනාව තුරන් වුණා. මරණයට පත් වීමේදී ශරීරය අප අත්හැර යෑමට, අපෙන් අතුරුදන් වන්නට පටන්ගත්තාම සිදු වෙන්නේත් මේකම තමයි.

මේ හරිම සුන්දර විදිහේ පහසුකමක්, නිදහසක්, සැනසිල්ලක්. එහෙම වුණාම යම් යම් දේවල් දැකීමේ, ඇසීමේ, රස විඳීමේ, ගඳ සුවඳ දැනීමේ, පහස ලැබීමේ රාජකාරිවලින් ඔබට නිදහස් වෙන්න හැකි වෙනවා.

ඔබ භාවනා කිරීමේදී එක්කෝ ගැඹුරට, ඒත් නැත් නම් ඒ තරම් ගැඹුරු නොවෙන විදිහට භාවනා කිරීමේදී ඔබට කරදරයක් වෙන, අවහිරයක් වෙන එක් දෙයක් නම් ශබ්දය විත්තිය ඔබ වැඩි දෙනෙක් දන්නා කාරණයක්. කාමරයෙන් පිටත ඔබ්බෙන් බබෙක් හඬන සද්දය, කෙනෙක් කහින විට ඒ හින්දා නැගෙන කැස්සේ සද්දය ඔබට හිරිහැරයක්, අවහිරයක් වෙනවා. මෙහෙම වෙන්නේ මක් නිසාද කියන්න ඔබ දන්නවා.

ඔබ උදේම අවදි කරන්න එලාම් ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ මේ නිසයි. බුදු රජාණන් වහන්සේ පවා, උන් වහන්සේගේ ඉගැන්වීම්වලදී දක්වා ඇත්තේ පස් ඉඳුරන්ගෙන් අවසාන වශයෙන් අතුරුදන් වෙන්නේ නිමක් දකින්නේ ශබ්දය කියන කාරණාවයි. ඒ නිසා ඔබ මරණයට පත් වෙමින් සිටින විට ඔබෙන් අවසාන වශයෙන් අතුරුදන් වන්නේ ශබ්දයයි.

භාවනාවේ නියැලී සිටින තැනැත්තකු භාවනාවෙන් අවදි කරන්නේත් මේ ඉන්ද්‍රීය අවදි කිරීමෙනුයි; ඔබේ ඇසීම අවදි කිරීමෙනුයි. ටික දවසකට පෙර, උතුරු පර්ත්වලදී පැවැත්වූ භාවනා වැඩසටහනකට සහභාගි වූ කෙනෙක් භාවනා වැඩසටහන නිම කළ පසුත් ගැඹුරු භාවනාවේ ම නියැලී සිටියා. සමහරවිට ඔහු එතන සිටිද්දී අප එතනින් යන්න ඉඩ තිබුණා. ඒත් එතැන පිරිසිදු කරන්න ගිය මා ඔහු දැක, දැන් ඉතින් යන්න වේලාව හරි බව පෙනුණත්, ඔහු තවමත් භාවනාවේම නියැලී බිම වාඩි වී සිටියා. ඔහු ගැඹුරු භාවනාවෙන් ඉවතට ගැනීම මගේ වගකීමක් වුණා. ඔහුගේ සිරුරෙන් අල්ලා හොල්ලනවා වෙනුවට කනට කිට්ටු කර කතා කර, මම ඔහු අවදි කළා. පස් ඉඳුරන්ගෙන් අන්තිමට අතුරුදන් වන්නේ ශබ්දයයි.

මෙය තේරුම් ගත්තාම මරණයට පත් වීමේ ක්‍රියාවලියේදී කෙනෙකු මරණාසන්න මූර්ඡාවට වැටී සිටින බවත් ඔහුගේ අවසානය ළං වී ඇති බවත් දැනගත් විට මිය යමින් සිටින තැනැත්තාට කතා කරන්න. මක් නිසාද යත්: සියලු පස් ඉඳුරන්ගේ අවසානයට අතුරුදන් වන්නේ ඇසීම නිසා, මිය යන තැනැත්තාට ඔබ කතා කරන දේවල් බොහෝ විට ඇසෙන්න ඉඩ තිබෙනවා. සෙලවීම, ස්පර්ශ කිරීමට, වඩා අවසාන වශයෙන් ශරීරයෙන් අතුරුදන් වෙන්නේ ඇසීමයි.

භාවනාවේ ගැඹුරට යන විට ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, රස විඳීම, පහස විඳීම ආදි පස් ඉඳුරන් කෙමෙන් කෙමෙන් ඔබෙන් අතුරුදන් වන බවත්, ඒ සමග ඔබට පුදුමාකාර පහසුවක්, නිදහසක් සිතේ සැනසීමක් දැනෙන බවත් භාවනාවේ නිරත වන ඔබ බොහෝ දෙනාට අත්විඳින්න ලැබෙනවා. අසනීප වී මරණයට පත් වීමේදී සිදු වන්නේ මෙයයි.

වාසනාවකට වගේ දැන් නව වෛද්‍ය ක්‍රම අනුව මේ සඳහා මෝෆීන් වැනි සිහි නැති කරන බෙහෙත් හොයාගෙන තිබෙනවා. සමහර බෞද්ධයන් මරණාසන්න මොහොතට එළඹුණාම ඇති වන දුක්වේදනාවන්ගෙන් මිදෙන්න කළ යුත්තේ කුමක්ද කියා මගෙන් අසනවා. මරණය පිළිබඳ ක්‍රියාවලිය පිළිබඳව සිත් කරදර කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. මෝෆීන් වැනි සිහි නැති කරන වේදනා සමනයන් භාවිත කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

ඒ මක් නිසාද කිව්වොත්: මරණය පිළිබඳ ක්‍රියාවලියේදී, ඔබේ සවන ඉන්ද්‍රිය වන මනස, සාමාන්‍යයෙන් ඔබේ මොළය පාවිච්චි කරනවා. මොළයේ ක්‍රියාකාරිත්වය නතර වුණාම, තවත් විදියකින් කිව්වොත් ඔබ මොළයෙන් නිදහස් වුණාම, ඇත්තටම සිදු වන්නේ අන්තිම මිනිත්තුවේදී සමහර විට වැඩිපුර, නැත් නම් සමහර විට අඩුවෙන් ඔබට පැහැදිලිකමක්, නැත් නම් නිර්මල බවක් අත්විඳින්න ලැබෙනවා. මගේ අම්මාගේ අවසාන කාලයේ මා මෙය අත්දුටුවා.

ඇය බොහෝ වියපත් වී සිටියදී මා ඇය බලන්නට ගිය අවස්ථාවේදී මා ඇය සමග පැය දෙකක් පමණ කාලයක් ගත කළා; ඇය සමග කතාබහ කරමින් සිටියා. ඒත් ඇය මා කවුරුන්දැයි දැනගෙන සිටියේ නැහැ. පුදුමාකාර දෙයක් නම්, ඇය සමග ගත කළ පැය දෙකක් පමණ කාලයේදී ඇය ර්ධදචඵබපර (වනඅරම, ආරණ්‍යය) නම් වචනය පමණක් භාවිතා කළා.

මේ කියන්නේ මොනවාදැයි මගේ සහෝදරයාට තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ මව එවේලේ කතාබහ කළ දේවල්වලට මේ ‘පන්සල නැත් නම් ආරණ්‍යය’ කියූ වචනය කොහොමටවත් ගැළපුණේ නැහැ. නමුත් මේ පැමිණි සිටින තැනැත්තා හා ‘පන්සල’ අතර සම්බන්ධයක් තිබුණු බව ඇයට අවසාන අවස්ථාවේ පැහැදිලි වුණා. මේ වගේ අසනීපවලට ගොදුරු වී, මරණයට ආසන්න වූවන්ට ඔවුන්ගේ අවසාන අවස්ථාවේදී යටපත් වූ මතකයන් අවදි වූ අවස්ථා බොහෝමයි.

ඔවුන්ගේ මතකයන් අවදි වෙනවා. ඔවුන්ට මෙතෙක් අමතකව තිබූ දේවල් පැහැදිලි වෙනවා; නිරවුල් වෙනවා. හේතුව තමයි මනස, බොහෝ කාලයක් මනස පාවිච්චි කිරීමට මොළය උදව් වුවත්, මොළය පාවිච්චි නොකර මනස පාවිච්චි කිරීමට හැකි වෙනවා. ජීවිතයේ අවසාන අවස්ථාවේදී මේ විදිහට මොළය මැරුණත් මනස සිරුරෙන් වෙන් වී ක්‍රියාකාරී වෙ

මා ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ, පතපොත කියවමින් සිටියදී, අවුරුදු සිය ගණනකට පෙර ජීවත් වූ තැනැත්තෙක් පිළිබඳ ටොල්ස්ටෝයි ලියූ හරි අමුතුම කතාවක් කියෙව්වා. මේ තැනැත්තා ජීවත් වුණේ ගම්බද ප්‍රදේශයක පිහිටි නිවෙසකයි. මොහු බරපතළ ලෙස අසනීප වී වේදනාවෙන්, දවසේ පැය විසිහතරම, ළතෝනි දුන්නා; කෑමොරගැසුවා. ගෙදර අයට කරකියාගන්න දෙයක් නැතිව අවුලෙන් අවුලට පත් වුණා.

ගෙදර කෙනෙක් මුළු දවස තිස්සේම වේදනාවෙන් කෑමොරගසමින් සිටියොත්, ඔබට කරකියාගන්න දෙයක් නැති වුණාම කොයිතරම් අසරණ වෙනවද කියන-එක ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ පවුල ගමේ පොහොසත් පවුලක්. ඒ හින්දා ලෙඩාට වෙදකම් කරන්න නොයෙකුත් ජාතියේ දොස්තර මහත්තුරු, ගමේ වෙද මහත්තුරු, හෝමියෝපති දොස්තරලා ගෙන්නුවා. ඒත් පලක් වුණේ නැහැ. මේ ලෙඩා විඳින වේදනාවෙන් එයා මුදාගන්න මේ කාටවත් බැරි වුණා.

මේක මේ විදියට සති ගණනක් එක දිගටම සිදු වුණා. මේ කතාව අවසන් කරමින්, අන්තිමේදී ගෙදර තිබුණු කලබලය සමහන් වුණා කියා කතාකාරයා කියනවා. ඒත් ඒ ලෙඩාගේ මරණයෙන් නොවෙයි. මැරෙන්න විනාඩි 10ක් විතර තියා එයා හොඳ සිහියෙන්, බොහෝම නිරවුල් මනසින් සිටියා.

බොහෝම තැන්පත්කමින් සිටි ඔහු ඊට පසුව මැරුණා. මේක කතාවක් වුණත් මෙය මරණාසන්න වූ බොහෝ දෙනාට පොදු දෙයක් විත්තිය හෙදියන්, වෛද්‍යවරුන්ගේ අත්දැකීමයි. ඔවුන්ගේ අත්දැකීම් අනුව මරණාසන්න වූ බොහෝ දෙනෙකු ජීවිතයේ අවසාන මොහොතේ බොහෝම පැහැදිලි, නිරවුල් මනසින් සිටිනවා. දැන් මම මේ පන්සලට එන කෙනෙකු, සිය පියාගේ අවසාන මොහොත ගැන මට පැවසූ අත්දැකීමක් ඔබට කියන්නම්.

මේ කතාව කියූ තැනැත්තිය සමහර විට අදත් මෙතන ඉන්න ඉඩ තිබෙනවා. ඇය පර්ත්වල වාසය කරන කෙනෙක්. ඇගේ පියාගේ මරණාසන්න මොහොතේදී ඇයත් ඇයගේ සහෝදරියත් ඇඳ දෙපසට වී සිටියා. මරණාසන්නව සිටි පියා සිහිසන් නැතිව සිටි අතර, ඔවුන් ඔහුගේ මරණය සිදු වන තුරු දෙපසට වී බලා සිටියා.

අන්තිම හුස්ම හෙළමින් සිටි මොහොතේ එක් සහෝදරියක් ඇගේ පියාගේ අත අල්ලාගෙන සිටියා. මරණය කොයි මොහොතේදී සිදු වෙනවාදැයි ඔවුන් දැන සිටියේ නැහැ. මමද මේ විදිහට මරණාසන්නව සිටින ඇත්තන්ගේ අවසාන හුස්ම අදිනවා බලාගෙන සිටි අවස්ථා එමටයි.

අවසාන මොහොතේ මේ කියන තැනැත්තා පිළිබඳ අමුතු යමක් සිදු වුණා. ඔහු අන්තිම හුස්ම හෙළීම නවතා, ඇස් දෙක හැර බැලුවා. ඉන්පසුව ඇඳ දෙපස සිටි සිය දූවරුන් දිහා ඕනෑකමින් බැලුවා. මේ මොහොතේ කල්තියා කිසිම සූදානමක් නැතුව, එවේලේ ඇති වූ සිතේ හැඟීම් නිසා මේ දූවරුන් දෙදෙනා “තාත්තේ, අපි ඔයාට ආදරෙයි” කියා කිව්වා.

ඉන් පසු ඔහු ඇස් දෙක පියාගත්තා. ඔහු මිය ගියා. මේ සිදු වූ දේ ගැන පුදුම හිතෙන්න පුළුවන්. මිය ගිය තැනැත්තා හුඟාක් වෙලාවක් මරණාසන්නව සිහිසන් නැතිව සිටියා. අවසාන මොහොතේ ඔහු ඇස් හැර බැලුවා. දූවරුන් දෙදෙනාට අවසාන වචනය කියන්න ඉඩ ලැබුණා.

මේ සමඟ අපූරු සිද්ධියක් ‘ටයිම්’ සඟරාවේ මනස ගැන විස්තර වූ ලිපියක තිබුණා. මා හිතන්නේ මේ ‘ටයිම්’ සඟරාවේ පිටපතක් අපේ ආරාමයේ තිබෙනවා. මේක මනස, ශරීරයෙන් වෙන් වීම පිළිබඳ කදිම සිද්ධියක්. මේ සිද්ධියට අදාළ තැනැත්තා දරුණු මොළයේ ගෙඩියකින් පීඩා වින්දා. මේ සිද්ධිය විස්තර කරන්නේ එම රෝගියාට රෝහලේදී ප්‍රතිකාර කළ වෛද්‍යවරයා. මොළයේ ගෙඩිය බොහෝම උත්සන්න වී තිබුණු නිසා රෝගියා ලෙඩ ඇඳේ දවස් ගණනක් තිස්සේ සිහිමූර්ඡා වී සිටියා.

මොළයේ හැදුණු ගෙඩිය නිසා මොළයෙන් විශාල කොටසක් අක්‍රිය වී තිබුණා; මැරී තිබුණා. ඒ නිසා කතා කිරීම වැනි මොළයෙන් සිදු වන උසස් ක්‍රියාකාරකම් එහෙම්පිටින්ම අතුරුදන් වී තිබුණා. මොළයේ ඉතිරි වී තිබුණු සුළු කොටස නිසා යාන්තමට පණනල අල්ලාගෙන සිටියා.

හුස්ම ඉහළට පහළට හෙළීම වැනි ශරීරයේ මූලික ක්‍රියාකාරකම් පමණක් යාන්තමින් සිදු වුණා. හිටිහැටියේම ඔහුට සිහිය ඇවිත් ඇස් හැර බැලුවා. ඒ විතරක් නොවෙයි. මිනිත්තු 15ක් විතර වේලාවක්, ඔහුගේ පවුලේ ඇත්තන් සමග කතාබහ කළා. විනාඩි 15කට විතර පස්සේ ඔහු සියලු දෙනාගෙන් සමුගෙන, අවසන් හුසම හෙළුවා.

මේ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු විස්මයෙන් විස්මයට පත් වුණා. මක් නිසාද කිව්වොත්: මේ කියන වේලාව වන විට ඔහුගේ මුළු මොළයම මැරී අක්‍රියව තිබුණා; මොළයේ කිසිම දෙයක් ඉතුරු වී තිබුණේ නැහැ.

මහාචාර්ය ලෝමල් විසින් අනාවරණය කර ඇති සිද්ධියක් මම මීට පෙරත් කියා ඇති. මේ මහාචාර්යවරයාගේ විශ්වවිද්‍යාලයේ ගණිත විෂයය හැදෑරූ එක්තරා ශිෂ්‍යයෙකුගේ හිසෙහි අසාමාන්‍ය පෙනුමක් තිබුණු නිසා ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවාම ඔහුට මොළයක් නැති බව අනාවරණය වුණා. මුළු මොළයම අතුරුදන් වී තිබුණා. ඔහු ගණිතය ගෞරව උපාධිය හැදෑරූ උපාධි අපේක්ෂකයෙක්. පෙම්වතියක් ද සිටි සාමාන්‍ය ජීවිතයක් ගත කළ අයෙක්.

තමන්ට මොළයක් නැති බව ඔහු දැන සිටියේ නැහැ. මේක මේ විදිහට සිදු විය හැක්කේ කෙසේද? මා දන්නා තරමට ඒ විතරක් නොව, බුද්ධාගම පවසන විදිහට ඔබේ මනසට ඔබේ ශරීරයෙන් පිටතට වී ක්‍රියාකාරී විය හැකියි. ශරීරයෙන් වෙන් වී සිටිමින් මනසට සිතීම හා වෙනත් ක්‍රියාකාරකම් ඉටු කිරීමේ හැකියාවක් තිබෙනවා.

විශේෂයෙන්ම මනසට මොළයෙන් බැහැර වී ස්වාභාවිකව ක්‍රියාකාරි වෙන්නට හැකියාවක් තිබෙනවා. ඔබේ මරණාසන්න මොහොතේ සිදු වන්නේ මෙන්න මේකයි; ඔබේ මනස නැත්නම් ඔබේ සිත, මොළයෙන් නිදහස් වී ක්‍රියාකාරී වීමයි. එවිට අවසාන මොහොතේ සියල්ල නිරවුල් වෙනවා.

මේ පිළිබඳ නොයෙකුත් සාක්ෂි පදනම් කරගත් සිද්ධි වාර්තා වී ඇති අතර, එවැනි වාර්තාවලින් ඔබේ ජීවිතයේ අවසාන මොහොතේ මනස ක්‍රියාකාරී වන්නේ කෙසේද යන්න අපට පැහැදිලි වෙනවා. මගේ මවගේ අවසාන මොහොත, මා අත්දුටු නිසා, මරණාසන්න වූ තැනැත්තකු සිය අවසාන මොහොතේ කිසියම් නිරවුල්තාවකට, තවත් විදියකට කිව්වොත් නිර්මලතාවකට පත්වන හැටි මා දැක්කා.

හදිසි අනතුරුවලින් ක්‍ෂණිකව මියගිය තැනැත්තන් මරණයට පත් වීමෙන් පසු මනස ශරීරයෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් නිරීක්ෂණය කරමින් සිටීම පිළිබඳව අප්‍රමාණ සාක්ෂි තිබෙනවා. සිය මරණාසන්න අත්දැකීම් ඉංගී‍්‍රසියෙන් සඳහන් කරන විදිහට ව්ඥචප ච්ඥචබඩ ඡ්යනඥපඪඥදජඥ ගැන සඳහන් කරන බොහෝ දෙනෙක් මේ සමාන අත්දැකීම් අනාවරණය කර තිබෙනවා. මරණයට පත් වීමෙන් පසුව මනස ශරීරයෙන් වෙන් වී ගොස්, ශරීරයක් නැතුව ඇසීම හා දැකීම අත්විඳින්නට පුළුවන් වූ තැනැත්තන් විසින් සිය මරණාසන්න අත්දැකීම් සම්බන්ධව පසුව කළ ප්‍රකාශවලින් මේ බව සනාථ වෙනවා.

තමන්ට ශරීරයක් නැතත්, තමන්ගේ මළ සිරුර මේසයක් මත නැත්නම් මෝටර් රථයක බාවා තිබියදී සිදු වන දේවල් දැකගන්නට, අසන්නට පුළුවන් වූ බව මේ අය පවසනවා. මේ අය තාවකාලික මරණයට පත් වී, පසුව ප්‍රාණය ලැබ, ජීවත් වීමේ වාසනාව ලැබුවාට පසු, තාවකාලික මරණය සිදු වූ කාලපරිච්ඡේදය පිළිබඳ තමන් අත්දුටු දේවල් විස්තර කර තිබෙනවා. මේ ඇත්තෝ බෞද්ධයන්ම නොවෙයි. ලෝකයේ නන් දෙස ජීවත් වන විවිධ සංස්කෘතිවලට අයත් ඇත්තන් වීම විශේෂ කාරණයක්.

මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බලන්නට කැමැති කෙනෙක් ඇත් නම් මහාචාර්ය පිම් වැන් ලෝමල්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. මේ මහාචාර්යවරයා ඕලන්දයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු විසින් මරණාසන්න වූවන්ගේ අත්දැකීම් අලළා කළ පර්යේෂණවලින් අනාවරණය වූ සිද්ධි රාශියක් තිබෙනවා. කිසියම් හේතුවක් නිසා මරණයට පත් වී, සිරුර මේසයක් මත හෝ වෙන යම් දෙයක් මත බාවා තිබියදී මනස සිරුරෙන් වෙන්ව ඉහළට පාවී ගොස් තමන්ගේ අත්හැරදමා ආ සිරුර දකිමින්, සිදු වන දේවලට ඇහුම්කන් දෙමින් සිටි තැනැත්තන්ගේ අත්දැකීම් මේ කතාවලින් අනාවරණය වෙනවා.

ඇත්තද නැත්තද කියා මට හරියට කියන්න බැරි වුණත් මරණාසන්න වූවන් පිළිබඳ කතාන්දර අතරින් මගේ ජනපි‍්‍රයම කතාවක් මම දැන් ඔබට කියන්නම්: ලංඩන් නුවර විසූ ඉතාම ධනවත් කාන්තාවක් අසනීප වී, ඇයට සුළු ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. ඇය ඉතා ධනවත් නිසා මේ සුළු සැත්කම කිරීමටත් සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරුන් සිටින හාලි වීදියෙන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු කැඳවාගත්තා. මේ සඳහා අධික වියදමක් ගියත් සැත්කම සාර්ථක විදියට කරන්න ඇයට ඕනෑ වුණා.

ඉතා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ සැත්කම කළත් සැත්කම අතරමැදදී ඇය මිනිත්තු කිහිපයක් මරණයට පත් වුණා. බොහෝ වියහියදම් කර වෛද්‍යවරු කැඳෙව්වාම ඔවුන් සැම විටම විනීතව කටයුතු කරනවා ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවා. ඒත් සැත්කම කරගෙන යද්දී වෛද්‍යවරයාගේ මේ විනීතකම අතුරුදන් වුණා.

මේ කාන්තාව මරණයට පත් වෙමින් සිටියා. බොහෝ කලබලයට පත් වූ අර ශල්‍ය වෛද්‍යවරයා සැත්කම් කරගෙන යන අතරවාරේ මේ කාන්තාව සිහිනැතිව සිටින බව දැක මෙසේ කිව්වා: “බැල්ලි, මේ වේලාවේ මේ වැඩේ අත්හැරදමන්න එපා.” ඔහු කියූ වචන ටික ඒකයි.

ඔබ වෛද්‍යවරියක්, නැත්නම් හෙදියක් නම් මේක හොඳට මතක තියාගන්න. මේ ශල්‍ය වෛද්‍යවරයා, කාන්තාවගේ අසනීපයට ප්‍රතිකර්ම කොට ඇයට නැවත ජීවත් වීමට අවස්ථාව සැලසුවා. සැත්කමෙන් පසු මේ වෛද්‍යවරයා සුවපත් වූ කාන්තාව බැහැදකින්න ගිහින්, “නෝනා මහත්මයා, ඔබතුමියගේ ජීවිතය ඒ වෙලාවේ බොහෝ අන්තරාදායක තත්ත්වයකට පත් වුණා,” යැයි බොහෝම විනීත ලෙස කිව්වා.

“ඔව්. මම ඒ වග දන්නවා” ඇය කිව්වා. “ඒත් ඔයා මට බැල්ලි කියල කිව්වෙ මොකද?” ඇය ඇසුවා. වෛද්‍යවරයාට මොනවා හිතෙන්න ඇතිද කියලා ඔබට හිතාගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ කියන වේලාවේ මේ කාන්තාව තාවකාලික මරණයට පත් වෙලයි තිබුණේ. තමා මරණයට පත් වූවත් තමාට සිහිය තිබුණ බව මේ කාන්තාව පසුව කිව්වා

මේ වගේ කථා අප්‍රමාණයි. ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති. නැත් නම් මේ සමාන වෙනත් අයගේ අත්දැකීම් ඔබ අසා ඇති. මම මේ මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වූවාම, දේශනය නිම වුණාට පසු තුන්හතර දෙනෙක් පැමිණ, “ඒ වගේ දේශනයක් කිරීම ගැන ඔබට බොහෝම ස්තුතියි.

මේ වගේ අත්දැකීමක් මටත් තිබෙනවා” කියා කියනවා. “මමත් තාවකාලික මරණයට පත් වී මගේ සිරුරෙන් ඉවත් වුණා” යැයි ඔවුන් කියනවා.

උපුටා ගැනීමකි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button