පළකල දිනය : Thu, Nov 16th, 2017

ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටි බිරිඳ සහ අනියම් සැමියාට, මාරාන්තික ප්‍රහාරයක් !

ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටි බිරිඳ සහ ඇගේ අනියම් සැමියා පසුපස යතුරුපැදියකින් හඹා ගිය අයකු පන්නිපිටිය මොරකැටිය හංදිය අසලදී කතුරකින් ඇන බිරිඳගේ අනියම් සැමියාට බරපතළ තුවාල සිදුකර ඇතැයි කොට්‌ටාව පොලිසිය පවසයි.

පසුගිය 13 දා සිදු වී ඇති මෙම සිද්ධියට සම්බන්ධ අඹු සැමි යුවළ හා අනියම් සැමියා ද රෝහල්ගත කිරීමට සිදු වූ බවත්, කතුරු පහර එල්ල කිරීම හේතු කොට ගෙන බිරිඳගේ කෑ ගැසීම අසා එම ස්‌ථානයට එක්‌රැස්‌ වූ පිරිස්‌ යතුරු පැදියෙන් පැමිණි ඇගේ නීත්‍යනුකූල සැමියාට පහර දී ඇති අතර කතුරු පහරින් අනියම් සැමියා මුදා ගැනීමට උත්සාහ ගැනීමෙන් බිරිඳටත් තුවාල සිදු වී තිබෙන බවත් ඔවුන් තිදෙනාම හෝමාගම මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් හෝමාගම පොලිසිය කියයි.
 
රෝහල්ගත කර සිටින අඹුසැමි යුවළ මෙයට මාස තුනකට පෙර විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණ තිබෙන අතර ඔවුන් මෙරට රැකියාවකට යොමු වී සිටියදී බිරිඳ හා හමුදා නිලධාරියකු අතර අනියම් සබඳතාවක්‌ ගොඩනැගී තිබේ.

මේ සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් මත පසුගිය දිනක බිරිඳ අතුරුදන්ව ඇතැයි සැමියා විසින් කරන ලද පැමිණිල්ලක්‌ විමර්ශනය කළ කොට්‌ටාව පොලිසිය ඉකුත් 13 වැනිදා අඹු සැමි යුවළ පොලිසිය වෙත ගෙන්වා පැමිණිලි විභාගයක්‌ පවත්වා තිබේ.

එම පැමිණිලි විභාග නිම වීමත් සමඟම පොලිසියෙන් පිට වූ කාන්තාව පොලිසිය ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට ගොඩ වී පිටත්වන අයුරු දුටු ඇයගේ නීත්‍යනුකූල සැමියාට එම ත්‍රිරෝද රථය තුළ ඇයගේ අනියම් සැමියා ද සිටින අයුරු දැක ගත හැකි වී තිබේ.

මෙහිදී එම ත්‍රිරෝද රථය පසුපසින් තමන් පැමිණි යතුරු පැදියෙන් හඹා ගිය සැමියාට පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ මොරකැටිය හංදියේ රථවාහන තදබදයකට හසුවීමෙන් නතර වී තිබූ ත්‍රිරෝද රථය දැක ගත හැකි වූයෙන් වහා යතුරු පැදිය පසෙක නතර කර ත්‍රිරෝද රථයේ බිරිඳ හා ගමන් ගනිමින් සිටි ඇයගේ අනියම් සැමියා වෙත ගොස්‌ තමා සන්තකයේ තිබූ කතුරකින් ඔහුගේ උදර පෙදෙසට කිහිපවරක්‌ ඇන ඇත.

මෙම අවස්‌ථාවේ තුවාලකරු බේරාගැනීමේ අටියෙන් සැමියා හා පොර බැදූ බිරිඳ “මෙන්න අපව මංකොල්ල කනවා” යනුවෙන් කෑ ගසා තිබේ.

එම කෑ ගැසීම නිසා එක්‌රැස්‌ වූ අවට පිරිස ඇගේ සැමියාට වටකර පහර දීමෙන් ඔහු ද තුවාල ලබා සිටින අතර, අනියම් සැමියා කතුරු පහරින් මුදා ගැනීමට සැමියා හා පොර බැදීමෙන් බිරිඳ ද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

බරපතළ කැපුම් තුවාල සහිතව රෝහල් ගත කෙරුණ අනියම් සැමියාට හෝමාගම රෝහලේදී පෙරේදා (14 දා) සැත්කමක්‌ සිදුකිරීමට නියමිතව තිබූ බවත් පොලිසිය පවසයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button