පළකල දිනය : Sun, Nov 26th, 2017

විහිළු කතා කියන රජ හපනාට වෙචච අකරතැබ්බය

ගිරිරාජ් කෞෂල්‍ය ප්‍රවීණ රංශන ශිල්පියා දක්ෂ චරිතාංග නලුවෙක් ලෙස මෙන්ම විකට රංගන ශිල්පියෙක් ලෙසද අතිශය රසික ජනාදරයට පත් කලා ශිල්පියෙක්.

පුවත්පතක් සමග එක්වෙමින් සිය යොවුන් දිවිය පිළිබද මතකයන් අවදි කළ ගිරිරාජ් , අතීතයේ බොහෝ රස තැන් හෙළිකර තිබුණා, එම සංවාදය පහතින්,

ඉලන්දාරි කාලෙ ?

මගේ ඉලන්දාරි කාලෙ ගෙවුණෙ කොළඹින් බොහොම දුර බැහැර. මොකද මං උසස්‌ පෙළ අවසන් වෙච්ච ගමන්ම රැකියාවක්‌ සඳහා ‘මහවැලි’ කලාපයට ගියා. ඉතිං ගිරාඳුරුකෝට්‌ටෙ වගේ බොහොම කර්කශ පළාතක, හුඟක්‌ දුක්‌ විඳිමින් තමයි මගේ ජීවිතේ හොඳම කාලෙ ගෙවුණෙ.
 
මට මතකයි එහෙදි තමයි මම උයන්න ඉගෙනගත්තෙ. එළවළු දෙකතුනක්‌ එකට දාලා තමයි මම ඉව්වේ. කුඩා කාලෙ ඉඳන් ගතකරපු ජීවිතේට වඩා හාත්පසිsන්ම වෙනස්‌ ජීවිතයක්‌ තමයි මගේ ඉලන්දාරි කාලෙදි මං ගෙව්වේ.

පාසල ?

මම ඉගෙන ගත්තෙ ගුරුකුල මධ්‍ය මහා විද්‍යාලයෙ. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා තමයි, මම ! පාසලේ හැම කලා කටයුත්තකටම මම සහභාගි වුණා. ඒ දවස්‌වල අපේ පාසලේ සංගීත අංශෙ ඉගැන්නුවෙ එඩ්වඩ් ජයකොඩි මහත්තයි, මර්වින් පෙරේරා මහත්තයයි !

මම වාණිජ විෂයයන් හැදැරුවත් කලා උළෙලෙ කැපී පෙනෙන දේවල් කෙරුවෙ මම! මම තමයි, ඉස්‌කෝලෙ උත්සව වලදී තරග වලදී තබ්ලා ගැහුවෙ.

බලාපොරොත්තු ?

ඒ කාලෙ විතරක්‌ නෙමෙයි, දැනුත් මගේ ජීවිතේ බලාපොරොත්තු නෑ! එන බෝලෙට ගහන එක තමයි ඉතිං මම කරන්නෙ.

කරපු – කියපුවා ?

ඉස්‌කෝලෙ යන කාලෙනං ඉතිං කෙරුවෙ. ඉස්‌කෝලෙ වැසිකිළි හෝදපු එක තමයි. මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට කොල්ලො එකතු කරගෙන ශ්‍රමදානයක්‌ දාලා ඉස්‌කෝලෙ ඔක්‌කොම වැසිකිළි හෝදලා හුනු ගෑවා. ඩී. ඒ. රාමනායක කියන අපේ විදුහල්පතිතුමා අපිට ඒකට ලොකු අනුග්‍රහයක්‌ දැක්‌වූවා.

යාළුවෝ ?

යාළුවෝ රාශියක්‌ හිටියා. ඒ අය තාමත් යාළුයි. අපේ බිරින්දැවරු, දරුවෝ පවා අදටත් හොඳ යාළුවෝ. ප්‍රියන්ත ලාල්, බ්‍රයන් ගුණසේකර, පාලිත හරිස්‌චන්ද්‍ර, ෆැන්සිස්‌ කුලතුංග, ඩී. ඩී. නිමල්, ආනන්ද, ලක්‌සිරි වඩුගේ, උපුල් නිශාන්ත තමයි මගේ යාළුවො කණ්‌ඩායම. ඒගොල්ලො රටේ ඉහළම තැන්වල ඉන්නවා.

කල්ලි ගැහුණු තැන් ?

ප්‍රියන්ත ලාල්ගෙ ගේ තියෙන්නෙ පට්‌ටිය හංදියෙ. අපි ඔක්‌කොම එහෙ තමයි යන්නෙ. එයාගෙ අම්මගේ මල්ලි කෙනෙක්‌ හිටියා. එයා බැඳලා නෑ! හොඳට සල්ලි තියෙනවා. අපිට ඉතිං ප්‍රතිපාදන සපයන්නෙ එයා තමයි. ඉස්‌කෝලෙ යන කාලෙ අපි ටි්‍රප් යනවනෙ. කට්‌ටියම කලින් දවසෙ රෑට ගිහින් නවතින්නෙ එහෙ තමයි. මට මතකයි “පට්‌ටිය හංදියෙ සුදු පුතා” කියලා තමයි ප්‍රියන්ත ලාල්ට කිව්වෙ.

පටබැඳි නම් ?

මට ඉස්‌සර හැමෝම කිව්වෙ ‘කව්වා’ කියලා තමයි! මම ගිරිරාඡ් කියන නම ඒ කාලෙ පාවිච්චි කළේ නෑ! දැන් කියන්නෙ ගිරා ! ඉස්‌සර කිව්වෙ ‘කව්වා’ !

අත්දැකීම් ?

කට්‌ටියත් එක්‌ක ගමන් බිමන් යනකොට ලණුදෙන එක තමයි කරන්නෙ. අමතක නොවන සිද්ධියක්‌ තියෙනවා. අපි දුර ගමනක්‌ ගිහින් ගඟක නාන්න නැවැත්තුවා! හැබැයි කාගාවවත් නාන්න අඳින්න ඇඳුම් නෑ! පස්‌සෙ එක එකා සාළුවක්‌ ඇඳගෙන ගිහින් ගඟට පැනලා සාළුව ගොඩට විසිකරනවා.

ඔය විදියට නනා ඉන්නකොට එක පාරට කිඹුලෙක්‌ වතුරට බහිනවා වගේ දැක්‌කා. මොන ඇඳුම් ද කට්‌ටියම ගොඩට දිව්වා. ගස්‌ වලට මුවා වෙවී තමයි ඇඳුම් ටික යන්තං ඇඳගත්තෙ. ඊට පස්‌සෙ බලනකොට දැක්‌කෙ ඌ කිඹුලෙක්‌ නෙමෙයි කබරයෙක්‌…!

විනෝදාංශ ?

ඉස්‌සර විතරක්‌ නෙමෙයි, දැනුත් මගේ විනෝදාංශය තමයි කට්‌ටිය වටකරගෙන විහිළු කතා කියන එක. වොලිබෝල් ගහන්නත් මම හරි කැමැතියි.

ගැහැනු ළමයි ?

ඒ කාලෙ ගැහැනු ළමයි රාශියක්‌ එක්‌කම සම්බන්ධකම් තිබුණා. එකපාර කීප දෙනෙක්‌ එක්‌කම යාළුවෙලා හිටියා. මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා හින්දා ආකර්ෂණය වැඩියි නෙ. අන්තිමේදි ඒ ඔක්‌කොම අත ඇරලා දැන් ගෙදර ඉන්න කෙනාව එක්‌කගෙන ආවා. එයාව හම්බු වුණේ මහවැලි කලාපයෙදී….!

දෙමවුපියෝ ?

එහෙම ගෙදරින් ලොකු නීතිරීති දාලා අපිව හැදුවෙ නෑ! අපේ පවුලෙ කොල්ලො තුනයි. අපේ තාත්තා හරිම හොඳ කෙනෙක්‌! එයා අවුරුදු හැත්තෑවෙදි මහණ වෙලා අවුරුදු 85 දී අපවත් වුණා. අපි කොළොන්නාවෙ හැදුණ වැඩුණ වුණාට දෙමාපියන්ගෙන් ගුටි බැට කන විදිහට හිටියෙ නෑ!

ගුරුවරු ?

මාත් එක්‌ක හුඟාක්‌ම සමීප ගුරුතුමා තමයි ඩී. ඒ. රාමනායක විදුහල්පතිතුමා. ඊළඟට නන්දනී කියලා විද්‍යාව උගන්වපු ගුරුතුමියක්‌ හිටියා! අපි හරි ආසයි ඉතිං විද්‍යා පාඩමට! මට මතකයි මිස්‌ කියනවා සමහර පාඩම් කියලා දෙනකොට අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා කියලා. අදටත් අපි නන්දනී ටීචර්ව බලන්න යනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button