පළකල දිනය : Thu, Nov 30th, 2017

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ දළ යුවළට දැමු ලක්ෂ විස්සේ මුදල් ලංසුව !

මුලු රටම කම්පාවට පත් කරමින් අමානුෂික ලෙස ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතා පිළිබදව බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

ලෝක උරුමයක් වූ ගල්ගමුවේ දළ පූට්ටූවා අතුරුදහන්ව සිටි අතර දළ පූට්ටුවා මරා දළ ගලවා ඇති බවට පසුව හෙළි වුණා.

ඉන් පසුව ඇතාගේ සිරුර වළදමා ඇති ස්ථාන සොයා විශේෂ මෙහෙයුමක් දියත් කළා.
 
කෙසේ වෙතත් පසුගියදා ගල්ගමුව ,කහල්ල පල්ලේකැලේ රක්ෂිතයෙන් මිය ගිය දළ ඇතෙකුගේ සිරු‍රක් හමූවූ අතර පසුව එම සිරුර ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට තහවුරු වුණා.

මෙලෙස ගල්ගමුවේ දළ පූට්ටුවා අමානුෂික ලෙස ඝාතනය කර තිබුණේ ඇත් දළ යුවළ සහ ගජ මුතු ලබා ගැනීමට බව හෙළිව තිබෙනවා. සාහසිකයන් විසින් දළ පූට්ටූවා ඝාතනය කර ලබා ගත් ඇත්දළ යුගලය සහ ගජමුතු කිහිපයක් කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශ‍යෙන් හමුවූවා.

ලෝක උරුමයක් වූ , රටෙහිම ආදරය දිනූ ගල්ගමුවේ දළ පූට්ටූවා ඝාතනය කළ සාහසිකයන් , දළ පූට්ටූවාගේ ඇත් දළ යුවළ විකිණීමට උත්සාහ දැරුවේ ලක්ෂ විස්සක මුදලකට බවත් අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් පරිසරවේදීන් ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීම පිළිබදව වනජීවි දෙපාර්තමේන්තුවටද චෝදනා එල්ල කරන අතර පරිසරවේදී පාහියංගල ආනන්ද සාගර හිමියන් මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීම සම්බන්ධව සිදුවූ කුමන්ත්‍රණයක් පිළිබදව අදහස් දැක්වූවා.

එහිදි මාධ්‍යයට අදහස් දැක්වූ ආනන්ද සාගර හිමියන් මෙලෙස පවසා සිටියා.

“‘මෙම දළ ඇතා ඝාතනය කර වළ දැමුවා යැයි කියන ස්ථානය 28 දා පෙරවරු 8.30 ට හාරන්න නියමිතව තිබුණා. නමුත් වයඹ කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා එතැනට එද්දී දවල් 11.30 වුණා. හරියට පැයයි හාරන්න ලැබුණේ. ඊට පස්සේ වැස්ස ආවා.

මෙම සහකාර අධ්‍යක්ෂවරයා මෙම ප්‍රධාන කාරණාව දිගින් දිගටම මග හරිනවා. දෙවැනි කාරණාව තමයි මෙම දළ ඇතාගේ සිද්ධියට සහකාර අධ්‍යක්ෂවරයාට විරුද්ධව දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා.

විශ්‍රාම ගිය මෙම සහකාර අධ්‍යක්ෂවරයාගේ සේවා කාලය දීර්ඝ කරලා තියෙන්නේ ගජ මිතුරු කමක් නිසයි. හොරෙක් කියලා චෝදනා එල්ල වෙච්ච කෙනකුට දෙනවා මේ හොරකම ගැන හොයන්න. මේ නිසා පසුගිය 28 දා ‍පොළොව අඩියක් දෙකක් කපද්දී කියනවා නෑ.. නෑ.. මෙතන තියෙන්නේ පිහිටි ‍පොළොව කියලා.

මේ හොරකම කවදාවත් අනාවරණය වෙන්නේ නෑ. බලයට එන වනජීවි ඇමැතිගේ හිතවතා තමයි මේ සහකාර අධ්‍යක්ෂවරයා. මොහුගේ හිතවතා තමයි ග්‍රාම නිලධාරිවරයා. මෙයාගේ අයියා තමයි වාරිමාර්ග ඉංජිනේරුවරයා. එයාගේ හිතවතා තමයි පන්ස‍ලේ හාමුදුරුවෝ. හාමුදුරුවන්ගේ හිතවතා තමයි රියැදුරා.

මේ ගජමිතුරු කල්ලිය තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේ කණ්ඩායමේ එක්කෙනයි දෙන්නයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේ වගකීම ඔබතුමාලා මගහැරලා තියෙනවා.”

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button