පළකල දිනය : Thu, Nov 30th, 2017

මහ සුළඟින් දකුණ සහ කොළඹ කැළඹෙයි. 15ක් කොළඹ ජාතික රෝහලට ! (Photos)

මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා ඊයේ (29දා) රාත්‍රී 11.00 පමණ වනවිට පුද්ගලයන් 15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, ගිලන් රථ කිහිපයක්ද අපදා ස්ථානවලට පිටත්ව ගොස් ඇතැයිද දැනගන්නට තිබේ. එමෙන්ම, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද සුළං තත්ත්වය හේතුවෙන් දේපොළ හානි රැසක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
එහිදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ ඇති වී තිබෙන ගැඹුරු අවපීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මීටර් 80ක් දක්වා ඉහළ යා හැකි බවයි.

දිවයිනේ දකුණු පළාතට අයත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඊයේ (29දා) රාත්‍රියේ සිටම වර්ෂා සහිත කාලගුණයක් පැවති අතර, එම තත්ත්වය වර්ධනය වී දැඩි සුළං තත්ත්වයක්ද හටගෙන තිබුණි.

එහිදී, ඇතැම් ස්ථානවල ගස් කඩා වැටීම් හේතුවෙන් ගාල්ල, හබරාදූව, හීනටිගල, නාගොඩ, යටලමත්ත ආදී ප්‍රදේශවල විදුලි බලයද ඇණහිට තිබූ බව වාර්තා විය.

එමෙන්ම, නුගේගොඩ හා තදාසන්න නගර කිහිපයකද විදුලිය ඇණහිටීම් වාර්තා විය. මේ අතර, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම් හේතුවෙන් අවහිර වී ඇති අතර, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව එම ස්ථාන යථා තත්ත්වයට පත් කරමින් සිටි බවද කියවුණි.

මාතර දිස්ත්‍රික්කයේද ප්‍රදේශ රැසකට මෙම දැඩි වර්ෂාව හා දැඩි සුළං තත්ත්වයෙන් බලපෑම් එල්ල කර තිබූ අතර, විදුලිය විසන්ධි වීම්ද වාර්තා විය.

කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.හෙට දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අධික සුළං සහ වර්ෂාව නිසා බස්නාහිර,ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වල ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පළාතේ සියලුම පාසල් 30 වැනි දා වසා දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා කියයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button