පළකල දිනය : Tue, Dec 12th, 2017

කොට කලිසමක් ඇඳ ගත්තු කොල්ලෙක් තාජුඩීන් මරන හැටි CCTV කැමරාවල

සමගි කතාබහට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරුද්ධ වන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම් අනුමත කළ නොහැකි නිසා බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකට ආණ්ඩු කරන ගමන් ඒකාබද්ධ විපක්ෂය සමඟ ප්‍රාදේශීය සභාවේ සිටීමට බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි ඩබල් ගේම්වලට ඉඩදීමට තමන්ට පුළුවන්කමක් නොමැති බවත් පැවසීය.

මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී රැස් වූ අවස්ථාවේදීය.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට මිනුවන්ගොඩ ආසනයේ තුන්දහසකට අධික ජනතාවක් පැමිණ සිටියහ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරිම සඳහා මෙම බල මණ්ඩල රැස්වීම කැඳවා තිබුණු අතර මිනුවන්ගොඩ සියලු ප්‍රදේශවලින් ජනතාව රිය පෙළපාලිවලින් ‍රැස්වීමට පැමිණ සිටියහ.

නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

‘හොයන්න කතිරය ගහපු අය වෙනස ආරම්භ වෙලා දින සියය යනකොටම මේ ආණ්ඩුවේ බොරුව තේරුම් අරන් මැතිවරණයක් ඉල්ලන්න පටන් ගත්තා. අගෝස්තුවේ පාර්ලිමේන්තු මැතිවරණය ආවා. දින සියයේ පොරොන්දු පත්‍රය ඒ මැතිවරණයේ දී විකුණන්න බැරි නිසා මාස හැටක පොරොන්දු පත්‍රයක් ආවා. ඒ පොරොන්දු පත්‍රයට මාස දහයක් යන්නත් ඉස්සර 2025ට කියලා තව පොරොන්දු පත්‍රයක් ගෙනාවා.

ආණ්ඩුවටම දැන් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැහැ. දින සියයේ බොරු කිව්වා. ඒ වැඩේ හරියන්නේ නැතුව මාස හැටක් ගැන කිව්වා. ඒකත් හරි නොගිය තැන 2025ක් ගැන කතා කරනවා. මේ අය මැතිවරණ ව්‍යාපාරය කළේ බොරුවෙන් සහ මඩවලින්. හංස සන්ධානයේ මැතිවරණ වේදිකාවේ ගැහුවෙම මඩ. ඇඳන් ඉන්න ඇඳුමේ ඉඳලා කන කෑම දක්වා සියල්ලටම මඩ ගැහුවා.

ලැම්බෝගිනි තියෙනවා කිව්වා. මැදමුලනේ මහගෙදර හෙලිකොප්ටර් හෙව්වා. රත්තරන් අස්පයෝ ගැන හෙව්වා. නාමල්ලා ඩුබායි ගිණුමට මුදල් දාන්න සල්ලි කරේ තියන් යනවා දැක්කා කියලා රාජිත සේනාරත්න ඇමැතිවරයා කිව්වා. කොට කලිසමක් ඇඳ ගත්තු කොල්ලෙක් තාජුඩීන් මරන හැටි සී. සී. ටී. වී කැමරාවල තියෙනවා, හෙට අත්අඩංගුවට ගන්නවා කිව්වා.

මේවා කියලා ජනතාව රැවට්ටුවා. රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා බලයට ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයා කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාවට මුල්ගල් තියලා කොළඹ එන්නත් කලින් වොක්ස්වැගන් කොම්පැණිය කිව්වා ඒක අපේ එකක් නෙමේ කියලා. ජනාධිපතිවරයා නම් මේවා දකින්නේ පත්තරෙන් හින්දා වැඩිය ගාණක් නැතුව ඇති.

දැන් අපි හැමෝටම නඩු දාලා තියෙනවා. නඩු දාලා බය කරන්න බලනවා. අරගෙන විපක්ෂය මර්දනය කරලා රාජ්‍ය දේපළ විකුණලා ඒකාධිපති පාලනයක් ගෙන යන්න හදනවා. අපි ආණ්ඩුවට කියනවා අපිව හිරගෙවල්වල දාලා බය කරන්න බැහැ කියලා. එදා හම්බන්තොට වරාය පොකුණක් කියලා කියපු වික්‍රමසිංහ මහත්තයා ඩොලර් මිලියන දෙසිය ගණනක චෙක් එකක් කරේ තියන් ඉන්නවා මම ඊයේ දැක්කා.

ඩොලර් බිලියන එකහමාරක් හම්බවෙනවා කියලා කියපු අගමැතිවරයාට හම්බ වුණේ ඩොලර් මිලියන දෙසිය ගණනයි. මහින්ද මහත්තයා මැදමුලනෙන් ඇවිත් වරාය අධිකාරිය ලාබ ලබන තත්ත්වයට ගේන්න පුළුවන් නම් ටයිකෝට් ඇඳපු වික්‍රමසිංහ අගමැතිවරයාට බැරි ඇයි? එතුමාට වැඩ බැහැ. වැඩත් නැහැ ප්‍රතිපලත් නැහැ. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි රාජ්‍ය දේපළ විකුණන එක.

මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි එදාවේල කන්න රාජ්‍ය දේපළ විකුණලා මැතිවරණයට ඇවිත් අල්ලස් දීලා, කප්පම් දීලා මැතිවරණ දිනන එක. එදා ඉඳන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද දිනුවේ එහෙම තමයි. ඒ නිසයි එදා මේ ගම්වල ප්‍රසන්න රණතුංග මහත්තයලගේ තාත්තා රෙජී රණතුංග මැතිතුමාලා එක්සත් ජාතික පක්ෂය සමඟ හැප්පිලා අපේ ආණ්ඩුවක් හදන්න කැපවුණේ.

බණ්ඩාරනායක මහත්තයා, ඩී. ඒ. රාජපක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂය දාලා ආවේ ඒ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න බැරි නිසයි. ප්‍රතිපත්තිගරුක කිසිකෙනකුට එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නගින්න බැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුමක් ගහලා තියෙනවා ආණ්ඩුව දුවන්න. ඒ අස්සේ අපිටත් ගිවිසුමක් ගහන්න කතා කරනවා.

ඒක හරියට ගෙදර නෝනා ඉන්න කොට තව නෝනා කෙනෙක් ගේනවා වගේ වැඩක්. අපි කොහොමද එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුම් ගහපු අයත් එක්ක ගිවිසුමක් ගහන්නේ? ඒක හරියට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගිවිසුමක් ගැහුවා වගේ වැඩක් වෙනවා. අපේ සීයලා එළියට බැස්සේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව. මේ ගම්වල තමුන්නාන්සේලා දේශපාලනය කළේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව.

ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් වුණාට අපිට එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුම් ගහන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙලා. දැන් කියනවා ඒකාබද්ධ විපක්ෂයේ දෙතුන් දෙනෙක් නිදහස් පක්ෂය සමඟ එකතු වෙන්න විරුද්ධලු. අපි විරුද්ධයි තමයි. අපි ඒක කියන්න බයත් නැහැ. ණයත් නැහැ. මේ මන්ත්‍රිතුමාලා ඔක්කොම විරුද්ධයි.

අපිත් එක්ක එකතු වෙන්න ඕනේ නම් ආණ්ඩුවෙන් අයින් වෙන්න. ඇමැතිකම් දාලා එන්න. එක්සත් ජාතික පක්ෂය එක්ක පාර්ලිමේන්තුවේ ඉන්නයි අපිත් එක්ක ප්‍රාදේශීය සභාවේ ඉන්නයි ඩබල් ගේම් බැහැ. ආප්ප න්‍යාය බැහැ. කෙළින් එනවා නම් එන්න. එහෙම එනවා නම් එකතු වෙලා අපි එක්සත් ජාතික පක්ෂය සමඟ හැප්පෙමු. ඇමැතිකම් තියාගෙන වේදිකාවේ නැගලා හම්බන්තොට විකුණනවාට විරුද්ධයි කියන්න බැහැ.

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කරන්න ගැසට්ටුව ගෙනාවේ හොර පාරෙන්. හරිනම් කරන්න ඕනේ පාර්ලිමේන්තුවට. මේ කළේ වෘත්තීය සමිති පාගා දැමීමක්. ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල මහත්තයා වගේම ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි නියෝජනය කරන්නේ. මේ රට මුහුණ දිලා ඉන්න විනාශයට මෛත්‍රීපාල මහත්තයත් වගකිවයුතුයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාව තව මාසයකින් කල්දැම්මා. මේ වංචාවට අගමැතිවරයා වගේම ජනාධිපතිවරයාත් වගකිව යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කරලා මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කළේ ජනාධිපතිවරයායි. අද රජතුමා රජරටින්. හැබැයි හාල් පිටරටින්. එදා රනිල් එලියට බැස්සේ හාල් හැටට, රට පෙරට කියලා. අද හාල් එකසිය විස්සයි.

දැන් හාල්, පොල් පිටරටින් ගේන්න හදනවා. දැන් පොල් කන්න වෙලා තියෙන්නේ ඩොලර්වලට. පුංචි කාර් ගන්න කිය නංගි දැන් බයිසිකලෙත් නැතුව බස් එකේ ගෙදර යනවා. මංගල සහන ගැන කිය කියා බදු ගහනවා. දුමින්ද දිසානායක මහත්තයා කෝටි දෙකහමාරක් මාසෙකට කුලිය ගෙවනවා. මේ අයවැය විවාදයට ගිහින් වැඩක් නැහැ. ලබන අවුරුද්දෙත් එන්නේ මේ අයවැයම තමයි.

අද ජනතාවගේ ආදායමෙන් සියයට හතළිහක් ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ. බදු ගෙව්වට ගමක් නැහැ පාරක්වත් හදනවා නම්. ඒකත් නැහැනේ. බදු විතරයි වැඩ නැහැ. ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච රටක් තමයි අද මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ. වෙනසකට මුලපිරුවා කියලා මේ විනාශ කළේ ඒ වගේ රටක්. ඒ රට බේරා ගැනීමේ වගකීම අපි සතුයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button