පළකල දිනය : Tue, Dec 26th, 2017

දරුවන් රකින්න සෞදි ගිය මව අද නිසලව ලංකාවට එයි !

සෞදියේ ගෘහ සේවයට ගොස් සිටියදී තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලකින් ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය තම මෑණියන් මෙරටට ගෙන්වා දෙන ලෙස කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පදිංචි මියගිය කාන්තාවගේ පුතෙකු පසුගියදා මාධ්‍ය මගින් ඉල්ලීමක් කලා.

ඒ අනුව ඇය මිය ගොස් මාසයකට පමණ පසු අද (26) විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇමැතිනි තලතා අතුකෝරලගේ මැදිහත්වීම මත මියගිය ගෘහ සේවිකාවගේ මෘත ශරීරය රජයේ වියදමින් නිවසට ගෙන්වා තිබෙන අතර මළසිරුර බැලිමට නොහැකි තත්වයේ පැවතීම නිසා පෙට්ටිය සීල් තබා තිබුණු බවයි වාර්තා වෙන්නේ.

තම මවගේ සිරුර හදුනා ගැනීමට නොහැකි තරමට විරූපී ව තිබුණු බවත්, ඇයගේ පාදයේ නියපොත්තක් නොමැතිව තිබු මතකයෙන් මව හඳුනාගත් බවත් එන් .කේ.ඒ.ගනුෂ්ක තෙරාජ් වන ඇයගේ පුත්‍රයා පවසනවා

කිතුල්හිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි දීපානි කුමාරසිරි වන මිය ගිය කාන්තාව 2011 වසරේ සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පිටත්ව ගොස් ඇති අතර 2013 වසරේ මෙරටට නැවත පැමිණීමට සූදානම්ව සිටියදී සේවය කළ නිවසෙන් ඇයට වැටුප් ලබා නොදී එහි සිරකර ගෙන සේවය ලබාගත් බවද ඇයගේ පුත්‍රයා සඳහන් කරනවා.

මාස ගණනාවක් තමන්ගේ මව පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කළ පැමිණිල්ලක් අනුව මව මහල් තුනකින් පහලට ඇද වැටී අසනීප තත්ත්වයේ එරට රෝහලක සිටින බව තොරතුරු හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබුණු බවත් පසුව පසුගිය නොවැම්බර් මාසයේ දහතුන් වන දින තමන්ගේ මව මියගිය බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු දුරකථනයෙන් තමන් වෙත දැනුම් දුන් බවත් මියගිය කාන්තාවගේ පුත්‍රයා සඳහන් කරනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button