පළකල දිනය : Wed, Dec 27th, 2017

මස්සිනාගේ ඔළුව වෙන් වෙන්නම කපලා පෝර බෑගයක දමා වැසිකිළියට දාලා

ඉකුත් හය වනදා උදෑසන ගොඩකවෙල පොලිසියට ඇමතුමක් දුන් පුද්ගලයකු කියා සිටියේ පල්ලේබැද්ද දඹේතැන්න ප්‍රදේශයේ සුමනේ මිස්ගේ ඉඩමේ නාඳුනන පුද්ගලයකු මරා දමා ඇති බවය.

සිද්ධිය දැනගැනීමත් සමඟ අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගියේය.

ගොඩකවෙල පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර හතක් පමණ ඇඹිලිපිටිය ප්‍රධාන පාරේ ගොස් තුං තොට හන්දියෙන් දකුණට හැරී කඹුරුගමුව මාර්ගයේ තවත් කිලෝමීටරයක් විතර ගිය තැන දඹේතැන්න මාර්ගය හමුවේ.

එම මාර්ගයේ මීටර 800ක් විතර යද්දී දකුණු පැත්තේ ඇති අක්කර හයහමාරක කුඹුරු ඉඩම සුමනා මිස්ට අයත්වේ.

ඉඩමට ඇතුළු වන තැනම ගඩොලින් බැඳ ඇති කපරාදු නොකළ ගෙයකි. කාමර තුනකින් සමන්විත වුවද පාරට පෙනෙන ඉදිරිකොටසේ දොරක් සවිකර නැත. අනෙක් කොටස කුඩා ශාලාවකි. අඩි හතරක් පමණ උසට බිත්ති බැඳ තිබේ. ඊට උඩින් දැල් ගසා ඇත.

නිලධාරින් ඒ තුළට යද්දි දකින්නට ලැබුණේ හිස නැති මළ කඳකි. එය මුනින් අතට වැටී තිබේ. හිස ගෙලෙන් වෙන් කර ඇතත් හිස පෙනෙන්නට නැත.

දකුණු අතද වැලමිටට පහළින් වෙන්කර ඇත. දකුණු කකුලද පෙනෙන්නට නැත. මෙය කිසියම් සාහසික අපරාධයක් විය හැකි බව පොලිසියේ මතය විය. ඝාතකයා දැඩි වෛරයකින් ප්‍රහාර එල්ල කර ඇති අයුරු පෙනෙන්නට ඇත.

සිද්ධිය දැනුම්දීමෙන් පසු සහකාර පොලිස් අධිකාරි නිශ්ශංක මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර ඝාතනය හා ඊට සම්බන්ධ සැකකරු කොටු කරගැනීමට අවශ්‍ය උපදෙස් ඔහු විසින් ඒ මොහොතේ ගොඩකවෙල වැඩබලන ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලදි.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානය අසල පදිංචි අයගේ සාක්කි සටහන් කරගන්නා ලෙසත් ඇසින් දුටු සාක්කි ඇත්තම් ඒවා සොයා බලන ලෙසත් සොකෝ නිලධාරින් හා ඇඟිලි සටහන් නිලධාරින් සිද්ධිය වු ස්ථානයට ගෙන්වා පරීක්ෂණ ආරම්භ කරන ලෙසටත් හෙතෙම නියෝග කළේය.

අපරාධයට සම්බන්ධ සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගෙන පහරදීමට උපයෝගී කරගන්නා ලද ආයුධය සොයා ගන්නා ලෙසත් වැඩබලන ස්ථානාධිපතිවරයාට නියෝග කළ සහකාර පොලිස් අධිකාරිවරයා සිද්ධිය අධිකරණයට වාර්තා කොට මහේස්ත්‍රාත්වරයා කැඳවා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසටත් නියෝග ලබා දෙන ලදි. ඒ අනුව සොකෝ හා ඇඟිලි සටහන් නිලධාරින් සිද්ධිය වු ස්ථානයට කැඳ වු අතර අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන ලදී.

පසුව සොකෝ නිලධාරින් විසින් සිද්ධිය වූ ස්ථානය අවට පිරික්සිමේදී ඊට යාබදව ඇති වැසිකිළිය තුළ කොළ පැහැති පෝර උරයක දමා තිබු මියගිය පුද්ගලයාගේ හිස හා අත් පා කොටස් හමුවිය.

පොලිසියට ඇති වුු මුල්ම ප්‍රශ්නය වුයේ මියගිය තැනැත්තා කවුදැයි හඳුනාගැනීමය. නිලධාරින් ඒ සම්බන්ධයෙන් ඒ අවට සිටි අයගෙන් තොරතුරු විමසුවද කිසිවක් හෙළි නොවු අතර ඉන් අනතුරුව එම ඉඩමේ හිමිකරු සුමනා නමැත්තියගෙන් පොලිසිය ප්‍රශ්න කරන්නට විය.

“ඔය දෙන්නා ඔතන කුරුඳු තැලුවා. ඊයේ රෑ එක්කෙනෙක් ඇවිත් ගමේ යන්න ඕන කියලා රුපියල් දෙදහක් ඉල්ලුවා. මම කිව්වා මා ගාව දෙදහක් නැහැ දහක් තියෙනවා කියලා ඒක දුන්නා. ඒ පාර ගමේ යනවා කියලා යන්න ගියා.

“මිනිහගේ ගම කොහේද….”

“අහුන්ගල්ල පැත්තේ….”

ඒ අනුව මියගිය පුද්ගලයාගේ තොරතුරු තවදුරටත් සොයා ගැනීමේදී හෙළිවුයේ මියගිය අය අහුන්ගල්ල ගල්වෙහෙර පදිංචි රංචාගොඩ මුදලිගේ ලක්මාල් මධුෂංක රණතුංග යන අයකු බවය. ඔහු එක් දරු පියෙකි.

පසුව තව දුරටත් කරුණු සෙවීමේදී මියගිය අය සමඟ කුරුඳු තලා ඇත්තේ ඔහුගෙම මස්සිනා බවටත් හඳුනාගත හැකිවිණි. ඝාතනය වූ පුද්ගලයා විවාහ වී සිටින්නේ ඝාතනය සිදු කොට පලා ගිය පුද්ගලයාගේ නැගණිය සමඟ බවද විමර්ශනවලදී අනාවරණය විය.

ඒ අනුව ගොඩකවෙල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් වහා අහුන්ගල්ල බලාගියේ සැකකාර මස්සිනා අනිවාර්යෙන්ම අහුන්ගල්ලට යන්නට ඇති බවට සැකයක් ඇති කරගනිමිනි. සැකකරු අහුන්ගල්ල ප්‍රගති මාවතේ පදිංචි කරුවෙකි.

අහුන්ගල්ල බලා ගිය නිලධාරීන්ට කිසිදු බාධාවකින් තොරව සැකකරු අල්ලා ගැනීමට එහිදී හැකිවිණි.

මියගිය ලක්මාල් නමැත්තා ඔහුගේ බිරියගෙන් වෙන් වී වෙනම ජීවත්වන අතර සැකකරු ද බිරියගෙන් වෙන්ව ජීවත් වේ. එහෙත් කුරුඳු තැලීම රැකියාව කරගෙන සිටි මේ දෙමස්සිනෝ එකට රැකියාවේ නියැලෙති.

ගොඩකවෙල පොලිසියට ගෙනෙන අතරතුර සිය මස්සිනා මැරුවේ තමන් විසින් බව සැකකරු පොලිසියට පැවසු අතර පසුව තව දුරටත් කරන ලද පරීක්ෂණ වලද මස්සිනා ඝාතනය කිරීමට උපයෝගි කරගත් තියුණු පිහිය පාලම අසල පඳුරක් අස්සේ සඟවා තිබියදී සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

පසුව සැකකරු අහුන්ගල්ල පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උපපොලිස් පරීක්ෂක මහින්ද සැරයන් උපුල් හා කොස්තාපල් කරවිට ඇතුළු කණ්ඩායමට හැකිවිය.

සැකකාර කුමාර වයස අවුරුදු 41 ක තැනැත්තෙකි. කුලී වැඩ කරමින් ජීවත්වන ඔහුගේ බිරිය නිත්‍යානුකූලව වෙන් වී නැතත් ඔහු අතහැර ගොසිනි.

“මම පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා ගාල්ල බලපිටියේ ඉස්කෝළයක ඉගෙනුම ලැබුවා. මගේ අයියලා තුන්දෙනා හා නංගීත් විවාහ වෙලා ඉන්නේ. මගේ නංගි විවාහ වෙලා ඉන්නේ ඔය මියගිය ලක්මාල් එක්ක.”

“මම 1997 දී විවාහ වුණා. දැනට අවුරුදු 12ක පිරිමි ළමයෙක් ඉන්නවා. මගේ බිරිඳ පවුල් ආරවුලක් ඇති වී මගෙන් වෙන් වුණා. ඒත් නිත්‍යානුකූල නෙමේ. මම මගේ පියාගේ ගෙදර මගේ මව සමඟත් බිරිඳ එයාලගේ මාතර ගෙදර පුතා සමඟත් ජීවත් වෙනවා. මගේ පියා මිය ගොස් අවුරුදු 6ක් විතර වෙනවා. මම 2000 දී යුද හමුදාවට එක්වුණා. පස්සේ මාදුරු ඔය පුහුණු පාසලේ පුහුණුවීම් ලැබුවා. වව්නියාව මුන්නිමුරුප්පු කඳවුරු වල රැකියාව කළා.

මම හමුදාවේ රැකියාව කරන අතරතුර නිවාඩු ඇවිත් ආපහු රස්සාවට ගියේ නැහැ. ඒත් නිත්‍යානුකූලව අයින් වුණෙත් නැහැ. යුද හමුදාවට නොගිහින් මම කුරුඳු තලන්න ගියා. අදටත් කරන්නේ ඒ රස්සාව. දැනට මම සුමනා ටීචර්ගේ කුරුඳු ඉඩමේ කුරුඳු තලන්න යනවා. ආදායමෙන් දෙකෙන් පංගුවට වැඩ කරන්න බාර ගත්තා. ඒ දැනට මාස පහක විතර කාලයක ඉඳලා.”

සුමනා මිස්ගේ ඉඩම පිහිටා ඇත්තේ දඹේතැන්න පහළ මාර්ගයේය. එම ඉඩම ආසන්නයේ ගෙයක් සාදා ඇතත් එහි කිසිවකු පදිංචි නැත. සැකකාර කුමාර එහි තාවකාලිකව නතර වී සිටියේ කුරුඳු තැලීම සඳහාය.

“මම ඒ ගෙදර නතර වෙලා ඉන්නකොට මගේ මස්සිනා ඒ කියන්නේ මගේ නංගිගේ මහත්තයා වන ලක්මාල් මීට මාසයකට විතර කළින් මේ ගෙදරට ආවා. මගේ නංගි ලක්මාල් එක්ක නිත්‍යනුකූලව විවාහ වෙලා හිටියත් ජීවත් වෙන්නේ වෙන වෙනම. එයාලට අවුරුදු හතක දුවෙක් ඉන්නවා.

එයා ඉන්නේ ලක්මාල්ගේ අම්මා ගාව. නංගි කොළඹ රස්සාවක් කරනවා. හැබැයි ඉන්න තැනක් දන්නේ නැහැ. එදා පහළොස් වනදා මම ගේ ඇතුලේ කුරුඳු තල තල හිටියා. ලක්මාල් කෑම ඉව්වා. එයාට කුරුඳු තලන්න එච්චර හුරු නැහැ. දවස් හතරක් විතර මාත් එක්ක කුරුඳු තැලුවා. ඒත් එදා ලක්මාල් කුරුඳු තැලුවේ නැහැ. එයා සැමන් එකක් ගෙනල්ලා ඒක බැද්දා. හවස හයට විතර ගල් අරක්කු බෝතලයක් ගෙනත් අපි දෙන්නා බොන්න පටන් ගත්තා. බෝතලය ඉවර වෙනකොට දහයට කිට්ටු ඇති.

ටික වෙලාවකින් ලක්මාල් මගේ නංගිට කෝල් එකක් දීලා කතා කර කර හිටියා. ඒත් එක්කම හයියෙන් හයියෙන් කතා කළා. පස්සේ ටවල් එකක් ඇඳගෙන ඇඟ සෝදාගෙන ගේ ඇතුළට ආවා. ඒ ඇවිත් කාටදෝ යාළුවෙකුට ආයෙත් කෝල් එකක් ගත්තා.

“මට විසි පස්වෙනිදා පිස්තෝලයක් ඕන.”

ලක්මාල් ඒ යාළුවට කියනවා මට ඇහුණා. මම ලක්මාල්ගෙන් ඇහැව්වා මොකටද බං පිස්තෝලයක් කියලා. එතකොටම ලක්මාල් කිව්වා පිස්තෝලෙ ඉල්ලන්නේ උඹලගේ නංගිව මරන්න කියලා. මම එවේලේ කිව්වා උඹ මගේ නංගිට ඔහොම කරනවා නම් මගේ ළඟ ඉන්නේ නැතිව පලයන් කියලා.”

“ඒත් එක්කම ගෙදර පිටුපස දොරට දාන පොල්ල අරගෙන ලක්මාල් මට ගැහැව්වා. ඒ පාර මගේ අතට වැදුණා. මම මේසය උඩ තිබුණු කුරුඳු කපන කැත්ත අරන් ලක්මාලට ගැහැව්වා. ඒ පාරෙන් ලක්මාල් ගේ ඇතුළේ වැටුණා. ඉන් පස්සේ මම දකුණු අතයි දකුණු කකුලයි ඔළුවයි බෙල්ලෙන් වෙන්වෙන්නම කැපුවා.

පස්සේ ඔළුව කොළපාට පොහොර උරයක දාලා වැසිකිළි කාමරේ ඇතුළට දැම්මා. පස්සේ ඇඟ සෝදගෙන කැත්ත සුමනාටිචර්ගේ ගෙදරට යන ගමන් පල්ලේ බැද්ද අලුත් පාලම ළඟ පඳුරක හැංගුවා. මම සුමනා ටිචර්ගේ ගෙදර ගිහිල්ලා රුපියල් දාහක් ඉල්ල ගත්තා. එතකොට වෙලාව රෑ 10ට විතර ඇති. පස්සේ කොළඹට ඇවිත් මාතර බස් එකක නැගලා අහුන්ගල්ලට ගියා. එතකොට පාන්දර පහයි. ඒ යනකොට තමයි පොලිසියේ මහත්තුරු ඇවිත් මාව අල්ල ගත්තේ”

සැකකාර කුමාර පොලිසිය හමුවේ සිය මස්සිනා මරා දැමු ආකාරයත් ඊට හේතු වූ කරුණු කාරණාත් කියා මස්සිනා මරා දමන්නට උපයෝගී කර ගත් කැත්තද පොලිසියට පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව සැකකරු ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මහේස්ත්‍රාත් නිල්මිණි විතාරණ මහත්මිය විසින් සැකකරු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළාය.

මියගිය පුද්ගලයාගේ දේහය ඇඹිලිපිටිය අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර එහි වාර්තාවක් ද 12 වනදා සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ගොඩකවෙල පොලිසියට නියෝග කළේය.

රත්නපුර කොට්ඨාශ බාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් රත්නපුර සහකාර පොලිස් අධිකාරි ටී ඒ. එස්. නිශ්ශංක මහතාගේ මෙහෙයවීම මත ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති කුමාර පල්ලෙවෙල හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එල්.කේ.හෙට්ටිආරච්චි ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක ඩි.ඩි.මහින්ද, සැරයන්වරුන්වන පුෂ්පකුමාර (27587) උපුල් (43209) රත්නසිරි (32977) ලක්ෂ්මන් (42866) සරත් (19188) හා කොස්තාපල් වනරත්න (69983) කරවිට (38077) යන නිලධාරිහු මේ පිළිබඳ පරීක්ෂණ වලට එක්ව සිටියහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.
– කීර්ති මෙන්ඩිස්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button