පළකල දිනය : Sat, Jan 13th, 2018

පුංචි කුඩු අංශුවකින් පවා මරණය ගෙන එන ඇස්බැස්ටස් !

ඇස්බැස්ටස් යනු සිලි‍ක්ට් අඩංගු ඛනිජ ලවණයකි . මේවා විවිධ වර්ණවලින් යුක්ත ය. එය නිල්, දුඹුරු හෝ සුදු පැහැ විය හැකි ය .

වර්ණ මිශ්‍ර කිරීමෙන් තවත් වර්ණ ද දක්නට ලැබේ .1950 වසරේදී ගොඩනැගිලි ද්‍රව්‍යයක් වශයෙන් ඇස්බැස්ටස් ලොව පුරා ජනප්‍රිය විය .

ඇස්බැස්ටස් මෙසේ ජනප්‍රිය වුව ද, එහි අවදානම කිසිවකු දැන සිටියේ නැත.

එක්සත් රාජධානියේ ඇස්බැස්ටස් ආශ්‍රිත රෝගවලින් සෑම වසරක් පාසාම දහස් ගණන් පුද්ගල‍යන් මිය ගිය අතර, එම අවදානම දැන ගත් වහාම ඔවුන් එරට ඇස්බැස්ටස් තහනම් කළහ.

එක්සත් රාජධානිය පමණක් නොව අද වන විට යුරෝපා සංගමයට අයත් රටවල් 55ක් පමණ ඇස්බැස්ටස් වලට වැට බැද හමාරය.

ඕස්ට්‍රේලියාව වැනි රටවල් ඇස්බැස්ටෝස් පාවිච්චිය නතර කර දැන් බොහෝ කල් වේ. එවැනි රටක ඇස්බැස්ටෝස් අතුරා ඇති ගොඩනැගිල්ලක් භූමියෙන් ඉවත්කරනකොට එම ගොඩනැගිල්ලේ ඉහලට යන තෙක් සම්පූර්ණයෙන්ම වසා ඒවා අයින් කරන බවත් ඉන් පසු එම සුන්බුන් ප්‍රවාහනය කරන විට ලොරිද සම්පූර්ණයෙන්ම වසා කිසිම දෙයක් පිටවීමට ඉඩ නොතබා ප්‍රවාහනය කරන බව ඕනෑම කෙනෙකුට දැකිය හැක. ඔවුන් ඇස්බැස්ටෝස් වලට එපමණ බයක් පෙන්නුම් කරනුයේ එහි ඇති භයානක කම දන්නා නිසයි .

ප්‍රංශයේ මෙවැනි ඇස්බැස්ටෝස් භාවිත කර හදපු ගොඩනැගිලි සියල්ලම පාහේ දැන් කඩා ඉවත් කරලා ඉවරයි. ඒවා නිසා පිළිකා වැළදුණු අයට වන්දි ගෙවීමට පවා ප්‍රංශ අධිකරණය නියෝග කළා.

රටවල් බොහොමයක් ඇස්බැස්ටෝස් තහනම් කළත් 2009 වසරේ දත්තවලට අනුව ලෝකයේ ඇස්බැස්ටස් නිෂ්පාදනයෙන් 9%ක් සිදු කර ඇත්තේ කැනඩාවයි. එහෙත් 2011 වනවිට කැනඩාව සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය නවතා දැමුවා.

2015 වනවිට ලොව පුරා ඇස්බැස්ටෝස් ටොන් මිලියන දෙකක නිෂ්පාදනයක් සිදු වූවා. එයින් සියයට 55ක්ම රුසියාවෙන්, 20ක් චීනයෙන්, 15.6ක් බ‍්‍රසීලයෙන් සහ 10.8ක ප‍්‍රමාණයක් කසකස්ථානයේ නිපැයුම් ආශ‍්‍රයෙන් සිදු වූවා.

ඇස්බැස්ටස් කාර්මික කටයුතු සඳහා කැණීම ආරම්භ වූයේ කැනඩාවේ 1878 වර්ෂයේදී, එසේම එය කෙතරම් වර්ධනය වූවාද කිව හොත් 1895 වනවිට එය සම්පූර්ණයෙන්ම යාන්ත‍්‍රිකව සිදු කෙරුණා.

19 වැනි සියවස වන විටම ඇස්බැස්ටස් ඉතා පුළුල් පරාසයක භාණ්ඩ නිපදවීම කෙරෙහි යොදා ගත්තා. ගින්නට ඔරොත්තු දෙන තීන්ත වර්ග, කොන්ක‍්‍රීට්, ගඩොල්, උදුන් සඳහා යොදා ගන්නා පයිප්ප සහ ගඩොල්, ගින්නට-තාපයට-සහ අම්ලවලට ප‍්‍රතිරෝධයක් දක්වන අමතර කොටස්, පයිප්ප සහ සීලිං පරිවාරක ලෙස, බිමට, වහළට, එළිමහන් ගෘහභාණ්ඩ, බ්රේක් පෑඞ් ආදී නොයෙකුත් දේ සඳහා ඇස්බැස්ටස් යොදා ගැනුණා.

ජපානයේ ඇස්බැස්ටස් භාවිත වූයේ වෙනස් අන්දමකටයි. ඇස්බැස්ටස්වල වූ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් වී වගාවට අවශ්‍ය ඇමෝනියම් සල්ෆෙට් නිෂ්පාදනයට යොදා ගත්තා. මෙයට අමතරව බලශක්තිය සකසුරුවමින් පාවිච්චි කිරීමට සීලිං, බිත්ති සහ බිමට තාප පරිවාරකයක් ලෙසින් ඇස්බැස්ටෝස් යොදා ගත්තා.

ඇස්බැස්ටස් විෂ ශරීරගත වීමෙන් විය හැකි හානි

අවකාශයට මුදා හරින ලද ඇස්බැස්ටස් කුඩු හා දුවිලි අඝ්‍රාණය කිරීමෙන් සෞඛ්‍යයට මෙන් ම, පරිසරයට ද හානි සිදු විය හැකි ය. ඇස්බැස්ටස් කුඩු අංශුවකින් මරණය පවා සිදුවි හැකි ය . ඒ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් ම ඇතිවන මාරාන්තික රෝග 04 ක් හඳුනාගත හැකි ය .

01) Mesothelioma – මෙය පිලිකා වර්ගයකි

02) Asbestos – related lung cancer – පෙනහළු සහ ඉන්බාහිරව ඇති විය හැකි පිලිකා වර්ගයකි

03) Asbestosis – පෙනහළු ඇකිලීමට පටන් ගෙන ආශ්වාස ප්‍රශ්වාස කිරීම අපහසු වීම

04) Pleural thickening – පෙනහළු පටකය ඝන වීම

මීට අමතරව

කැස්ස
කිවිසුම් යෑම
බර වැඩි වීම

ඇගපත අමාරුව
පපුවේ වේදනාව
රුධිරයේ ඔක්සිජන් අඩු වීම
ඇදුම ආදිය ඇති විය හැකි ය.

ඇස්බැස්ටස් විෂවීම බොහෝ දෙනා සිතන පරිදි ක්ෂණිකව සිදු වන්නක් නොවෙයි. ඕනෑම රසායන ද්‍රව්‍යයක්, හෝ විෂක් ශරීර ගතවීම දෙආකාරයකින් සිදු වෙනවා. ඉතා කුඩා ප‍්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ශරීර ගතවීම නිදන්ගත තත්ත්වයක් ලෙසින් හඳුන්වන්නට පුළුවනි. මෙවිට ශරීරයේ රෝග ලක්ෂණ පෙන්වීමට සමහරවිට අවුරුදු 10ක් හෝ 20කටත් වැඩි ගණනක් ගත වන්නට පුළුවනි. මෙයට හොඳම උදාහරණය වන්නේ රජරට වකුගඩු රෝගයයි.

ආසනික්, කැඞ්මියම්, ග්ලයිෆොසේට් හෝ වෙනත් කිසියම් හෝ කරුණක් නිසා ශරීරයේ එකතු වන ද්‍රව්‍යයක් නිසා දීර්ඝකාලීනව සිදුවන බලපෑමෙන් වකුගඩු රෝගී තත්ත්වය ඇති වෙනවා.

අනෙක් ක‍්‍රමය වන්නේ ඉතා ඉහළ සාන්ද්‍රණයකින් යුතු රසායන ද්‍රව්‍යයක් ඉතා කෙටි කාලයක් තුළ ශරීරගත වීම නිසා සිදුවන ක්ෂණික මරණය හෝ අනතුරුදායක තත්ත්වයක්. මේ ක‍්‍රම දෙක අතරින් ඇස්බැස්ටෝස් විෂවීම සිදු වන්නේ දීර්ඝකාලීනවයි. එය සමහරවිට අවුරුදු 10ක් හෝ 40ක් වන්නට පුළුවනි.

මෙම තත්ත්වය ඇස්බැස්ටසිස් යනුවෙන් හඳුන්වනවා. මෙහි දී සිදු වන්නේ ඇස්බැස්ටස් කෙඳි දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙණහලූවල පටකවලට සිදුවන හානියයි. මෙසේ හානි වන පටක පසුකාලීනව පිළිකා තත්ත්ව දක්වා දුරදිග යා හැකියි.

මෙම කාරණයේ දෙපැත්තක් තිබෙනවා. ඇස්බැස්ටස් තහඩු හෝ වෙනත් දෑවලින් ඇස්බැස්ටස් කෙඳි ගැලවී නො යන තාක්, ඇස්බැස්ටස් කිසිවකුගේ සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ නැහැ. ඇස්බැස්ටස් ශරීරයට හානිදායක වන්නේ විශේෂයෙන්ම ඒ හා සම්බන්ධව වැඩ කරන පෙදරේරුවන්ට වැනි පුද්ගලයන්ට සහ එවැනි කටයුතු කරන අවස්ථාවේ ඒ අවට සිටින පුද්ගලයන්ටයි.

සමහරවිට ඇස්බැස්ටෝස් තහඩු තරමක් ඝන තීන්ත ආවරණයකින් වසා තැබුවහොත් මේ ක්ෂුද්‍ර තන්තු පරිසරයට එක් වීමේ හැකියාවක් නැහැ. මේ නිසා ඇත්තෙන්ම හොඳින් තීන්ත පිරියම් කළ ඇස්බැස්ටස් තහඩු සෙවිලි කළ වහලයක් යට සිටින පුද්ගලයකුගේ සෞඛ්‍යමය අවදානම අඩුයි. ඒ ගැන බිය විය යුතු නැති බව ඉතා වගකීමෙන් සඳහන් කළ හැකියි.

එහෙත් කෙනකු ඇස්බැස්ටස් ආශ‍්‍රිතව කැපීම්, ඉදිකිරීම් ආදිය සිදු කරන්නේ නම්, ඒ පුද්ගලයාට සහ ඒ අවට සිටින්නවුන්ට මේ ඇස්බැස්ටස් ක්ෂුද්‍ර කෙඳි ආඝ‍්‍රානය වීමේ හැකියාව ඉහළයි. විශේෂයෙන්ම මේ කෙඳි පියවි ඇසට නොපෙනෙන නිසා සහ වායුගෝලයේ ඉතා විශාල පරාසයක පැතිර යා හැකි නිසා මේ අවදානම අධිකයි.

අවසානයේ ප්‍රකාශ කල යුතු බරපතල සත්‍ය නම් අප ජාතියක් ලෙස ඉතාම අවාසනාවන්ත පිරිසක් බවය. ඒ ඇස්බැස්ටස්වලටත් වඩා භයානක රසායන ද්‍රව්‍යය සහ රසායනික සමග අප බොහෝදෙනා සාමාන්‍ය ජීවිතයේ දී ගැටුණත්, අපට ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමයි. ඒවා ගැන සොයා බැලීමට රජය කටයුතු නොකරන බවයි.

රජය සැබවින්ම මිනිසුන් ගැන සිතනවා නම් රුසියාවේ කුරුමිණි උගුලට අසු නොවී ලොව පිළිගත් තේ සන්නමක් වන සිලෝන් ටී විකුණා ගැනීමට වෙනත් රටක් සොයා ගැනීමට තිබුණි.

ඒ වෙනුවට ඔවුන් තෝරා ගත්තේ ජාතියක් ලෙඩ කරවන විසදුමකි. හුදෙක් පාලන බලය ආරක්ෂා කර ගැනීම පමණක්ම සිතන ආණ්ඩු අප රට තුල බිහිවෙන තාක් තත්වය මෙලෙසම වනූ ඇත. අප භාවිත කරන මොනයම් හෝ රසායන ද්‍රව්‍යයයක්, ඖෂධ වර්ගයක්, හෝ ආලේපනයක රසායනික සංයුතිය සහ එහි අහිතකර ආචරණ ඔබට හැකි පරිදි සොයා බලන්න. කිමද මාරයාට ඔබ ලගම ගැවසීමට අප රටේ දේශසීමා නිරන්තරයෙන් විවෘතව පවතී.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button