පළකල දිනය : Wed, Jan 17th, 2018

පාසල් දිවියේ පළමු දිනය මඩුවක අකුරු කරන්න සිදුවූ දරුවෝ (Photos)

දඹුල්ල තිත්තවැල් ගොල්ල ප්‍රාථමික විදුහලේ 2018 වසර සඳහා අලුතින් ඇතුල් කර ගත් සිසු දරු දැරියන් හට 15 දින තාවකාලික මඩුවක සැකසූ පන්ති කාමරයක ඉගෙනීමට සිදුවූ සෝචනීය පුවතක් වාර්තා විය.

පළමු වසරේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන වසර 100 පමණ පැරණි දඹුල්ල තිත්තවැල් ගොල්ල ප්‍රාථමික විදුහලේ ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත් නොවීම සහ අබලන් වී මෙදින පාසලට ඇතුළු වූ පළමු වසරේ දුවාදරුවන්ට දෙමව්පියන් විසින් තනා ගත් තාවකාලික මඩුවකට ඇතුළත් කිරීමට සිදුව තිබේ.

මෙම දරුවන්ගේ දෙමව්පියන් හඬා වැටෙමින් කියා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි ගන්වාගෙන ගමේ පාසලට තම දුවාදරුවන් ඇතුළත් කිරීම සඳහා තාවකාලික තමන් විසින්ම තනා ගත් මෙවැනි මඩුවකට ඇතුළත් කිරීමට ලැබීම පිළිබඳව කණගාටුවන බව ය. තාවකාලික මඩුවේ දූවිලි කෘමි සතුන් සිටින බවත් ඔවුහු පෙන්වා දුන්හ.

1වසරේ සිට පස්වැනි වසර දක්වා ළමුන් සියයක් පමණ ඉගෙන ගන්නා මෙම පාසලේ ගුරු හිගයක් නැතත් ගොඩනැගිලි හිගය නිසා මේ තත්ත්වය උදා වී තිබේ. මෙදින අලුත් ඇඳුම් ඇඳගෙන ජීවිතේ පළමුවෙනි දවස පාසලකට ඇතුළත් වීම සිදු කරද්දී තාවකාලික මඩුවකට ඇතුලත්වීම සිසු දරු දැරියන්ට නොතේරුණද දෙමව්පියන්ට එය වේදනාකාරී සිද්ධියක් බවට එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

මෙම විද්‍යාලයේ ඇති ගොඩනැගිලි 2 සිසු දරු දැරියන්ට ප්‍රමාණවත් නොවන බවත් මේ වනවිට විදුහල්පති කාර්යාලය අබලන් වී කඩා වැටීමේ අවදානමක ට පත් ව තිබෙන අයුරුද එහි ගිය අපට දෙමව්පියන් විසින් පෙන්වූහ.

සිසු දරු දැරියන් තාවකාලික මඩුවකට තුල් කිරීම පිළිබඳව විද්‍යාලයේ විදුහල්පතිනි ඩී . මැණිකේ මහත්මියගෙන් අප විමසීමක් කළෙමු .එහිදී ඇය කියා සිටියේ මීට පෙර පළමු ශ්‍රේණියේ පන්තියක පැවැත්වූයේ වීද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ල පිහිටි සිසු දරු දැරියන් රංගන ඉදිරිපත් කරන උස් වේදිකා ස්ථානයක බවය.

එම ස්ථානයෙන් පසුගිය වසරේ එක් දරුවෙකු ඇද වැටී බරපතළ තුවාල ලැබීමත් සමග දෙමව්පියන් මෙවර එම ස්ථානයට දරුවන් ඇතුළත් කිරීමට අකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමග තමන්ට දෙමව්පියන්ගේ හඬට සවන් දීමට සිදු වූ බව ය.

ඉතා සීමිත ළමුන් ප්‍රමාණයක් මීට පෙර මෙම විද්‍යාලයේ සිටියද මේවන විට සිටින ගුරුවරුන් ගේ දක්ෂතා නිසා අධ්‍යාපන මට්ටමින් ඉහළ දරුවන් රැසක් දායාද කිරීමත් සමග ගම්මානයේ සියලුම දුවා දරුවන් එම විද්‍යාලයට ඇතුළත් කිරීම නිසා ඉඩපාඩු ප්‍රමාණවත් නොවන බව විදුහල්පතිතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

ශිෂ්‍යත්ව විභාගයෙන් මෙන්ම විවිධ තරග විභාගවලින් භාෂා ත්‍රිත්වයෙන්ම දක්ෂ දරුවන් බිහි කිරීම නිසා දෙමව්පියන් මේ ප්‍රාථමික විදුහලට තම දරුවන් ඇතුළත් කිරීමට පෙලඹී සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

විද්‍යාලයේ පවතින ගොඩනැගිලි හිගය පිළිබඳව තමන් අදාළ බලධාරීන්ට දැනුවත් කොට තිබෙන බවත් ඉදිරියේදී ගොඩනැගිල්ලක් ලබා දීමට පොරොන්දු වී තිබෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය,

එහෙත් මෙදින අලුතින්ම ඇතුළු වූ පාසල් සිසු දරු දැරියන්ට තාවකාලික මඩුවේ ඉගෙනීම් කටයුතු සිදු කරද්දී කුහුඹුවන් දෂ්ට කරන ආකාරය අපට දැකගැනීමට හැකියාව ලැබිණි.
දෙමව්පියන් කියා සිටියේ කවුරුන් හෝ ඉදිරිපත් ව තම පාසැලට කුඩාවට හෝ පන්ති කාමරය සකසා දෙන ලෙස ඉල්ලීමක් කරන බව ය.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button