පළකල දිනය : Wed, Jan 17th, 2018

ෂෙඩ් එකේ සේවකයා ‘අන්දලා’ විදේශිකයන් රු. 28,000 කට තට්‌ටු කරලා (Video)

මාරවිල පොලිස්‌ වසමට අයත් කටුනේරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක සේවකයකු වංචනික ලෙස රවටා විදේශිකයන් දෙදෙනකු රුපියල් විසිඅටදහසක මුදලක්‌ රැගෙන පලාගොස්‌ ඇති බව මාරවිල පොලිසිය සඳහන් කරයි.

එලෙස මුදල් රැගෙන යන අයුරු ඉන්ධන පිරවුම්හලේ ආරක්‌ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබේ.

ඉකුත් 14 වැනිදා විදේශිකයන් දෙදෙනා ඉන්ධන පිරවුම්හලේ විකිණීමට තිබෙන ගෑස්‌ සිලින්ඩර්වල මිල ගණන් විමසමින් මෙරට තිබෙන මුදල්වල වටිනාකම් සම්බන්ධව ප්‍රශ්න කරමින් එහි සේවකයා අතැති මුදල් සූක්‍ෂම ලෙස රැගෙන කිසිත් නොදන්නා සේ ඉන් පිටව ගොස්‌ තිබේ.

විදේශිකයන් දෙදෙනා නික්‌ම ගොස්‌ සුළු වේලාවකින් තමාගෙන් වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බව තේරුම් ගිය සේවකයා පසුව මාරවිල පොලිසියට පැමිණිලි කර ඇත. ආරක්‌ෂිත කැමරා පද්ධතියේ මුදල් ලබා ගන්නා අයුරු සටහන් වී තිබේ.

විදේශිකයන් දෙදෙනා යතුරුපැදියකින් ඒ ආසන්නයට පැමිණ එය නවතා පා ගමනින් ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධව මාරවිල පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

අමරනන්ද විඡේසේකර – මහවැව

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button