පළකල දිනය : Wed, Jan 24th, 2018

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා.

ඒක අපි කොයි කාටත් ‍පොදු දෙයක්. අදටත් මගේ හිතට හොරෙන් වගේ එබිකම් කරන සිදුවීම් රාශියක් තිබෙනවා.

මේ සිදුවීම්වලින් බොහොමයක් ළමා වියට සම්බන්ධ ඒවා.

මගේ ජීවිතේ කාටවත් නොකී රහස් අතරේ ඔය වගේ සිදුවීම්ද තියෙනවා. හැබැයි ඒවා රස රහස්ද කියන්න බෑ.

මොකද මගේ අතීතය තුළ තියෙන්නේ දුප්පත්කම හින්දා, මුහුණ දීපු හරිම කටුක අත්දැකීම්.

මම ඉපදුනු අලුත අපි ඉඳලා තියෙන්නේ රත්නපුර ෆාම් හවුස්වලට එහා තියෙන පෙත්තලංගොඩ කියන ගමේ.

අපි හරිම දුප්පත්. ඒ පැත්තේ හැමෝමත් අපි වගේම දුප්පත්.

පුංචි අතු පැලවල්වල තමයි ඒ අය ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මගේ අම්මයි තාත්තයි දෙන්න කරලා තියෙන්නේ ගොවිතැන.

ඒ දවස්වල මට තොටිල්ලක් තියා ලණු මැස්සක්වත් නැහැලු.

ගොම ‍පොළවේ බිම තමයි අපි හැම දෙනාම නිදා ගන්නේ. මාව නිදි කරවලා අම්මා ගෙදර වැඩලු.

ඔය වගේ දවසක මම නින්දෙන් නැගිටලා අඬනවලු. අම්මා ඇවිත් මාව වඩාගෙන කොට්ටය අයින් කරද්දී කොට්ටේ යට මාපිලෙක්ලු.

සමහර විට ඒ වේලාවේ මම නින්දෙන් නැගිටලා ඇඬුවේ නැතුව නිදාගෙන හිටියා නම් ඒක මගේ සදාකාලික නින්ද වෙන්නත් ඉඩ තිබුණා.

ඊට පස්සේ මම කොස්පැලැන්නවිල්ල ඉස්කෝලෙට ගියා. මේ කාලයේ පාස‍ලේ ජාතික ගීය කියන්න කණ්ඩායමක් තේරුවා. මමත් ඒ කණ්ඩායමට තේරුණා.

එතකොට මම පහ වසරේ. උදේ රැස්වීමේ තමයි අපි ජාතික ගීය ගයන්නේ. ඔය අතරේ පාස‍ලේ තිබුණු උත්සවයකට සිරිපාල කිරිඇල්ල මහතාට ආරාධනා කෙරුණා. අපි කණ්ඩායමට කහපාට ළමා සාරි මහන්න යෝජනා කෙරුණා.

ඒකට සල්ලි එකතු කරන්න භාර දුන්නේ අපේම පන්තියේ ළමයෙකුට. ඒත් මට සල්ලි දෙන්න විදියක් තිබුණේ නැහැ. හැමෝම සල්ලි දීලා මම විතරයි සල්ලි දීලා නැත්තේ. කට්ටියගේ මහපු ළමා සාරි භාරදෙන්න කලින් අපි සල්ලි දෙන්න ඕනෑ. මම විතරක් සල්ලි දුන්නේ නැහැ කියලා අර ළමයා මට ලැජ්ජා හිතෙන විදියට දොස් කිව්වා.

ඒ දුක දරාගන්න බැරුව මම ගීත පුහුණුවීම්වලට යන එක නතර කළා. පන්ති භාරව හිටපු ජයරත්න ටීචර් මගෙන් ඇහුවා මම ගීත පුහුණුවීම් සඳහා නොඑන හේතුව. මම අඬ අඬා විස්තරේ කිව්වා. අනිවාර්යයෙන්ම උත්සවයට මම එන්න ඕන කියලා ටීචර් කිව්වා. උත්සවයට ගියාම ටීචර් ළමා සාරියක් ගෙනත් මගේ අතට දුන්නා.

පස්සේ කාලෙක අපි කිරිඇල්‍ලේ පදිංචියට ආවා. මම කිරිඇල්ල මහ විදුහ‍ලේ ඉගෙන ගන්න කා‍ලේ නවය වසරේදී වූ මේ සිදුවීම අදටත් කොළඹ ඇවිත් මේ කියන්නට යන ‍පොත් සාප්පුව ළඟින් යද්දී මට මතක් වෙනවා.

එතකොට මම නවය වසරට සමත් වෙලා. ‍පොත් ලැයිස්තුව කොළඹින් ගමු කියලා තාත්තා කිව්වේ තාත්තාගේ වැඩකට කොළඹ ආපු හින්දා. ඔන්න මමයි තාත්තයි කොළඹ ආවා. ඒ ඇවිත් අපි එක්තරා ප්‍රසිද්ධ ‍පොත් සාප්පුවකට ගියා. ‍පොත් ටික තෝරලා මට ඉන්න කියලා තාත්තා කොහේද ගියා. මම ‍පොත් ටිකත් තියාගෙන ඉන්නවා. කාලය ටික ටික ගෙවිලා යනවා. තාත්තා නැහැ. ටික වේලාවකින් තාත්තා ආවා. තාත්තාගේ මුහුණ අඳුරුවෙලා.

“පුතේ මගේ පර්ස් එකට ‍පොකට් කාරයෙක් ගැහුවා. අද ‍පොත් ගන්න වෙන්නේ නැහැ.’’ තාත්තා මුහුණ අඳුරු කරගෙන කිව්වා. ගත්තු ‍පොත් ටික ආපහු තියලා තාත්තයි මමයි ආපහු එන්න ආවා.

“මගේ පර්ස් එකට ගැහුවේ ‍පොකට් කාරයෝ කට්ටියක්. ඒක අතින් අත පාස්වෙලා යනවා මම දැක්කා. මම එතන හිටපු ‍පොලිස් රාළහාමි කෙනෙකුට ඒ ගැන කිව්වා. “දැන් කොහේ හොයන්නද? දැන් පර්ස් එක ගැන අදහස අතෑරලා දාන්න. තමුන්ගේ දේවල් තමුන් පරිස්සං කරගන්නවා මීට පස්සෙවත්” කියලා ඒ රාළහාමි කිව්වා.

තාත්තා කිව්ව ඒ වචන තවමත් මට මතකයි. තාත්තගේ කමිස සාක්කුවේ තිබුණ සල්ලි බස් ටිකට්වලට ඇති වුණා. වතුර උගුරක්වත් නැතුව තමයි එදා අපි ගෙදර ආවේ.

එදා නවය වසරේ ළමයෙක් විදියට මට ඇත්තටම හිතුණු දේ මම කියන්නද….? කාටවත් වරදක් නැති හැමදාම ගෙදර බුදු පහන පත්තු කරන අපිට ඇයි මෙහෙම වුණේ කියලා මට ඇති වුණේ ලොකු වෛරයක්.

සෙනඟ පිරිච්ච බස් එකේ හිරවෙලා යද්දී බස් එකේ හිටපු කාගේ හරි චේන් එකක් කඩාගන්න තරම් ආවේගයක් එදා මට ඇති වුණා.

– ආරියවංශ කුලතිලක

  • 889
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button