පළකල දිනය : Mon, Feb 5th, 2018

අගමැති භාර්යාව සමරු පොත උඩුයටිකුරු කර බැලුවේ ඇයි ? (Photos)

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සම්පූර්ණ වන ජාතික නිදහස් දින සැමරුම් ගාලූ මුවදොර පිටියේදී ඊයේ (04) අභිමානවත් අයුරින් පැවැත් වුණා.

කෙසේ වෙතත් ඊයේ සැමරුමේදී වූ සිදුවීමක් සමාජ ජාල වෙබ් අඩවි වල දැඩි ලෙස කතාබහට ලක්වුණා.

මීට හේතුව වී තිබුණේ මෙවර නිදහස් දිනයේදී ලබා දුන් සමරු පොත අගමැති ආර්යාව සහ ප්‍රබල නායකයින් උඩුයටිකුරු කර බලමින් සිටීමයි.

සෑම වසරකම නිදහස් උත්සවය සඳහා සමරු පොතක් ලබා දෙන අතර ඔවුන් මෙසේ එය උඩියටිකුරු කර බලන්නේ ඇයි දැයි කාගෙත් විමතියට ලක්වුණා.

කෙසේ වෙතත් මෙහි සැබෑ සිදුවීම පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් නිදහස් උළලේ බලයලත් නිලධාරියෙක් වුණු සජීව විජේවීර මහතා මේ ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

70 වැනි නිදහස් දිනය මට ඉතා සුවිශේෂී දිනයක් වුණා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධයක්ෂවරයා ලෙස මා සම්බන්ධ වූ පළමු නිදහස් දින උත්සවය පැවැත්වුණේ අද. මේ උත්සවයේ පෙනුම වෙනස් කරන්න බැරි වුණත් එහි අන්තර්ගතයට යම් බලපෑමක් කරන්න අපේ කණ්ඩායමට හැකියාව ලැබුණා.

මුලින්ම නිදහස් සමුරුවට විශේෂ ලාංඡනයක් නිර්මාණය වුණා. ඒක නිර්මාණය කළේ නවීන්ද්‍ර සේරසිංහ. ඉන් පසු ආරාධනා පත්‍රය මෙතෙක් කිසිම දවසක මුද්‍රණය නොකළ ආකාරයෙන් වෙනස් කළා.ප්‍රියංකර වික්‍රමසේකර දැවන්ත නිර්මාණ දායකත්වයක් සැපපයුවා.

ඒ වගේ ම අපට අවශ්‍යතාවක් තිබුණා සම්ප්‍රදායික නිදහස් සමරු කලාප ක්‍රමයෙන් බැහැර වෙලා වෙනස් විදියක සමරු කලාපයක් ඉදිරිපත් කරන්න. අපි ඒකත් කළා. දින ගණනක් නිදිවරමින් මහන්සි වෙලා. පුද්ගලික ජීවිතය අමතක කරලා මේ වැඩේ අවසාන දුටුවේ අද. ඒ පොත භාෂා තුනෙන් ම නිර්මිතයි. එක් සිංහල සටහන එක් පැත්තකින් ආරම්භ වෙනවා. සිංහල සටහන අවසන් වූ වහාම එහි දෙමළ පරිවර්ථනය පටන් ගන්නවා.

අපි ඉංග්‍රීසි සටහන පටන්ගත්තේ පොතේ අනික් පැත්තෙන්. ඉංග්‍රීසි කියවන කෙනෙකුට පොත අනිත් පැත්ත හරවලා පිළිවෙලට කියවගෙන යන්න පුළුවන්. ඉංග්‍රීසි පිටපතටත් කවරයක් තියෙනාව. මේ එකම පොත දෙපැත්තෙන් කියවා සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකත් මැදින් දෙමළත් කියවන්න පුුළුවන් විදියට නිර්මාණය කළා.

ඒත් අපේ දූපතේ සිටින ගෝත්‍රිකයන් හිතාගෙන ඉන්නේ පොතේ එක් පැත්තක් වැරදිලා කණපිට හරවලා මුද්‍රණය කරලා කියලා. ජීවිතයට පොතක් කියවපු නැති අයට වගේ මේ පොත දැන් මුහුණු පොතේ විවේචනය කරනවා. ඒ අයටත් ස්තූතියි අපේ වැඩේට දෙන දැවැන්ත ප්‍රචාරයට.

මේ නිර්මාණ කාර්යයේ දී අපිට අවශ්‍ය නිදහස හා පහසුකම් ලබාදුන් දුන් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මැතිතුමාටත්, අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතාටත් අපේ කණ්ඩායමේ දැවැන්ත ම ශක්තිය වූ ප්‍රියංකර වික්‍රමසේකර අයියා, පොත අලංකාරව සැකසූ නවීන්ද්‍ර සේරසිංහ සහ සහය දුන් ෂාරංග නානයක්කාර මල්ලිලා දෙන්නාටත් අනේකවාරයක් ස්තූතියි.
ඒ වගේම පොත රචනා කර දුන් මහාචාර්ය රත්නසිරි අරංගල මහාචාර්ය පත්මසිරිි කන්නන්ගර දෙපළටත් අවසන් මොහොතේ දැවැන්ත ශක්තියක් වූ මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන මහතාටත් ලලිත් විජේවර්ධන මහතාටත් ඔහුගේ කාර්ය මණ්ඩලයේ සුගත් කුමාර ඇතුළු සියලු දෙනාටත් අනේක වාර්යක් ස්තූතියි.

මට මේ මග හසර විවරකර දුන් රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කල්සූරිය මහතාටත් ස්තූති කළ යුතුයි. විශේෂයෙන් ම වරදිනකන් බලාගෙන හිටපු අනවශ්‍ය වැඩක් කරනවා මූ පස්ස බිම ඇණ ගන්නවා යැයි කියමින් තාවකාලලික ස්වයං වින්දනයක් ලැබූ හැමෝටමත් අපේ කණ්ඩායමේ ප්‍රණාමය පිරිනමනවා. ඔවුන් නොසිටියානම් මේක සැබෑ ගේමක් වෙන්නේ නැහැ කවදාවත්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button