පළකල දිනය : Thu, Feb 8th, 2018

මිනිස් මවක් සහ තිරිසන් දරු කැළතක් “අතුරුදන් කරවමුද” ?

නගර සංවර්ධනය කිරීම සඳහා යාචකයන්, ගවයන් සහ සුනඛයන් නගර වලින් ඉවත් කළ යුතුය යන අන්තගාමි අදහස දැන් ශීඝ්‍රයෙන් සමාජ ගත වෙමින් තිබේ.

මෙය අද වන විට කෙතරම් ප්‍රවර්ධනයකට ලක් ව තිබේද යත් ගවයන් සහ සුනඛයන් තුරන් කරන බවට ඡන්ද පොරොන්දු දුන් අපේකෂකයන් පිළිබඳව පවා මෙවර අසන්නට ලැබිණ.

එහෙත් මේ අතර යාචකයන්ට සේම ගවයන් සුනඛයන් ඇතුළු සෑම සතෙකුටම මෙලව ජීවත්වීමට සම උරුමයක් ඇතැයි යන ප්‍රබුද්ධ සිතුවිල්ලද මේ වන විට අප ජන සමාජයෙන් නැගෙමින් තිබේ.

මෙහිදී සිදු කළ යුත්තේ යාචකයන්ගේ දිළිඳු බව තුරන් කිරීම සහ නාගරික ප්‍රදේශවල වෙසෙන ගවන්ගේත් සුනඛයන්ගේත් ගහණය පාලනය කිරීම ඔවුන් හට ජීවත්වීමට සුදුස ස්ථාන හඳුන්වාදීම මිස පසුගිය කාලයේ සිදුකළාක් මෙන් සුනඛයන් සිය ගණනන් කොහෝ හෝ රැගෙන ගොස් වෙඩි තබා මරා දැමීම නොවන බව මේ වන විට අප සමාජයේ බොහෝ දෙනෙක් විශේෂයෙන් තරුණ පෙළ ශීඝ්‍රයෙන් පිළිගනිමින් සිටිති.

මෙවන් පසුබිමක් යටතේ අගනුවරට තදාසන්න ප්‍රදේශයක් වූ රාජගිරියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද්දර සුනඛයන් සහ බළලුන් හතලිහක් පමණ පෝෂණය කරමින් තාවකාලික ආවරණයක් යට දිවි ගෙවන මෙම අසරණ මවගේ කතාව අප ඔබ හමුවට ගෙනෙනුයේ විශේෂ කරුණක් මුල් කර ගනිමිනි.

එනම් දැනට එළඹී ඇති තත්වය අනුව ඉතාම නුදුරු දිනයක කිනම් හෝ මෙහොතක මේ අසරණ මව සහ සතුන් සමූහය හිටි හැටියේ අතුරුදන් වීමට අවශ්‍ය පසුබිම මේ වන විට ශීඝ්‍රයෙන් නිර්මාණය වෙමින් පවතින බව ඉතා විශ්වාස කටයුතු ලෙස අපට දැන ගන්නට ලැබී තිබීමය.

මෙම මව පිළිබඳ කිසිදු තොරතුරක් අප ඔබට පවසන්නේ නැත. එමෙන්ම අඩුම තරමින් ඇගේ නම වත් හෙළි කිරීමට අපි අකමැත්තෙමු. ඒ එමගින් ඇගේ ඥාතීන්ට අවමානයක් සිදුවිය හැකි බැවිනි.

එමෙන්ම තම නෑදෑයින් වෙතින් මුළුමනින් දුරස්වූ ඇය වැස්සකට පින්නකටවත් හරි හැටි මුවාවිය නොහැකි මෙම ආවරණය තුළ සිට තමන්ට අතිශයෙන් හිතවත් මෙම අසරණ සතුන් පන මෙන් සුරකිනුයේ තම ජීවිතයේ මෙතෙක් මුහුණ දුන් අතිශය කටුක අත්දැකීම් තුළින් මිනිස් සමාජය පිළිබඳ හට ගත් දැඩි කළකිරීමක් නිසා විය නොහැකිද?

ඒ කෙසේ හෝ මෙම ස්ථානයේ සිඟමන් යැදීමෙන් ලැබෙන ඉතා සුළු මුදලින් මේසා අසරණ සතුන් සංඛ්‍යාවකගේ කුස ගිනි නිවන ඇය බෝසත් පාරමිතාවක් පුරන්නියකසේ හැඳින්වීමට මහා කාරුණික බුදු හිමියන්ගේ දහමින් කිසිදු තහංචියක් නොපැනවෙන බව අපට ඉදුරාම විශ්වාසය.

නුතන දේශපාලඥයන්ගේ වදන් වලින් කිව හොත් හෙට අනිද්දාම මෙම ස්ථානයෙන් තුරන් වී ආගිය අතක් නොමැති වීමේ පැහැදිලි අවදානමකට මුහුණපා සිටින මෙම අසරණ මවගේත් අසරණ සතුන්ගේත් ආරක්ෂාවත් මතු යහ පැවැත්මත් සත්ව අවිහිංසාව අගයන ඔබ සැමගේ සාමුහික වගකීමක් බව පෙන්වා දෙමින් අපි මෙලෙස නිහඬ වන්නෙමු.

– විශේෂ ස්තූතිය චම්පිකා ගමගේ මෙනවියට

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button