පළකල දිනය : Mon, Feb 19th, 2018

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය, මේ කතාව කාටවත් කියන එකක් නැහැ

අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා.

ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ. ඒත් අපි දෙන්නා කවමදාවත් ඒ ගැන කාටවත් කියලා නැහැ. කතා කරලත් නැහැ.

කොහොම හරි ඉතින් අද මම ඒ රහස හැමෝටම කියනවා. ඒත් ඒ රහසට සම්බන්ධ නිළියගේ නම නම් හෙළි කරන්න බැහැ.

එතකොට මම සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නවා. ඔය කා‍ලේ මම ප්‍රිය කරපු නිළියක් හිටියා. ඇය මට වඩා අවුරුද්දක් විතර බාලයි.

ළමා නිළියක් විදියට ක්ෂ්ත්‍රයට ආපු ඇය මේ කියන සිදුවීම වන විට වයස 15ක විතර ළමයෙක්. දවසක් ඇගේ ලිපිනය පුවත්පතක පළ වෙලා තිබුණා.

මම රසිකයෙක් විදයට ඒ ලිපිනයට ලියුමක් දැම්මා. එදා මම නිකමටවත් හිතුවේ නැහැ ඇගෙන් පිළිතුරු ලිපියක් ලැබේවි කියලා.

ඒත් ටික දවසකින් ඇගෙන් මට පිළිතුරු ලිපියක් ලැබුණා. එවපු ලිපියට ස්තූති කරලා මමත් ලිපියක් දැම්මා. ඇය ඒ ලිපියටත් පිළිතුරක් එව්වා.

ඔය විදියට අපි අතර දිගින් දිගටම ලිපි හුවමාරු වුණා. ඒ කා‍ලේ අද වගේ දුරකථන අන්තර්ජාල පහසුකම් නැහැනේ. අපි දිගින් දිගටම ලිපි ලියලා හොඳ මිතුරු මිතුරියන් දෙදෙනකු බවට පත් වුණා.

ඔය විදියට ලියුම් ගනුදෙනුව යනකොට මට ඕන වුණේ මගේ ආදරය ගැන ඇයට කියන්නයි.

ඒත් ඒක කෙළින්ම කියන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණේ නැහැ.

කොහොම හරි මම ඇයට ආදරේ කරන බව ඇඟවෙන විදියට ඇයට ලියුමක් ලිව්වා. හැබැයි ඒකට පිළිතුරක් එව්වේ නැහැ. ඒත් මම මගේ ආදරය ව්‍යාංගාර්ථයෙන් දැනෙන විදියට දිගින් දිගටම ඇයට ලියුම් ලිව්වා.

ඒත් ඇය මට පිළිතුරු එවන එක නතර කළා. හැබැයි මට දුකක් දැනුනේ නැහැ. මොකද හිතවත්කමට එහා ගිය දෙයක් මගේ හිතේ තියෙන බව දැනුන හින්දනේ ඇය මට ලියන එක නතර කළේ.

ඇහැටවත් දැකලා නැති කෙනෙකුගේ ආදරයක් පිළිගන්න අපි කවුරු වුණත් කැමැති නැහැනේ. ඊට පස්සේ මම කළේ මගේ ඡායාරූපයක් සමග ඇයට ලිපියක් යවපු එකයි.

ටික දවසකින් ඇගෙන් ලිපියක් ලැබුණා. මා ගැන යම් විශේෂත්වයක් ඈ තුළ තියෙන බව ඒ ලිපියෙන් ඇඟ වුණා. මට දැනුනේ රටක් රාජ්‍යයක් දිනුවා වගේ හැඟීමක්.

දැන් අපි අතර හුවමාරු වන ලිපි පෙම් හසුන්. හැබයි මම කවදාවත් ඇයට ආදරෙයි කියලා නැහැ. ඇයත් ආදරය පිළිගන්නවා කියලා නැහැ. ඒත් දෙන්නගේම හිත්වල තියෙන නිහඬ ප්‍රේමය ඒ ලිපිවල සඳහන් වෙලා තිබුණා. ඔය විදියට කාලයක් යද්දී ඇය මෙන්න මේ විදියට මට ලියලා එවලා තිබුණා.

මට රසිකයෝ ලියුං එවනවා. ඒත් ඔයත් එක්ක දිගින් දිගටම ලියුං ලියනකොට අම්මා ඒ ලියුම් කියෙව්වා. අම්මා කිව්වා මීට පස්සේ ඔයා එක්ක ලියුං ගනුදෙනුව නතර කරන්න කියලා. මීට පස්සේ මට ලියන්න එපා.

ඒ ලිපිය කියෙව්වාම මගේ හිතට ලොකු දුකක් දැනුනා. ඒ දුක හිතේ තද කරගෙනම මම පාසල් අධ්‍යාපනය නිමා කරලා රැකියාවකට ගියා. ඊට පස්සේ අහම්බෙන් වගේ මටත් නළුවෙක් වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මමත් ටිකෙන් ටික ජනප්‍රිය වුණා.

ඔය අතරේ ඇයටයි මටයි ටෙලි නාට්‍යයක එකට රඟපාන්න අවස්ථාව ලැබුණා.

ඔයා නේද සුරාජ් මාපා හා හා පුරා මුණගැසුණු දවසේ ඇය මගෙන් ඇහුවා. මමත් ඕව කිව්වා. එතනින් එහා කිසි දෙයක් අපි අතරේ කතා බහ කෙරුනේ නැහැ.

අපි දෙන්නා ටෙලි නාට්‍ය තුනක රඟපෑවා. ටෙලි නාට්‍ය දෙකක රඟපෑවේ පෙම්වතුන් විදියට.

පසු කලෙක ඇය විවාහ වෙලා රංගනයෙන් සමුගත්තා. දැන් ඇයට දරුවොත් ඉන්නවා. අපි දෙන්නා කලා ලෝකයේ හමුවෙලා ගොඩක් දේවල් කතා කරලා තියෙනවා.

ඒත් කවමදාවත් අතීත ආදර කතාව ගැන කිසිම දවසක කතා කරලා නැහැ. ඒක අදටත් රහසක්.

– ආරියවංශ කුලතිලක

  • 901
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button