පළකල දිනය : Tue, Feb 20th, 2018

යුද හමුදාව රෝපණය කළ කිළිනොච්චි – ඉරණමඩු බෝධිය අනතුරේ !

කිළිනොච්චියේ ඉරණමඩු බෝධිය ආරක්‍ෂිතව වෙනත් ස්‌ථානයකට රැගෙන යැමට යුද හමුදා නිලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ ඉරණමඩු ජලාශය පුළුල් කිරීමේ කටයුතු නිසා බෝධිය එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද තීරණයක්‌ නිසාය.

ඉරණමඩු ජලාශය අසල යුද හමුදා කඳවුරක්‌ පිහිටුවන ලද අවස්‌ථාවේදී යුද හමුදා නිලධාරීන් ඒ අසල බෝධියක්‌ රෝපණය කොට බුදු මැඳුරක්‌ද තනන ලදී.

මීට මාස හයකට පමණ ඉහතදී යුද හමුදාවට ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරගෙන එම ස්‌ථානයෙන් ඉවත් වීමට සිදුවූ අතර එම අවස්‌ථාවේදී බුදු මැඳුරෙහි තැන්පත් කොට තිබූ බුද්ධ ප්‍රතිමාවද යුද හමුදා නිලධාරීන්ට රැගෙන යැමට සිදු විණි.

ඉරණමඩු ජලාශය පුළුල් කිරීමේදී බෝධිය ඉවත් කිරීමට සිදුවන බව දැනුම් දීමත් සමගම යුද හමුදා නිලධාරීන් ඔවුන් විසින් රෝපණය කරන ලද බෝධිය ආරක්‍ෂා කිරීම පිණිස මේ දිනවල එම බෝධිය එතැනින් ගලවා වෙනත් ස්‌ථානයක රෝපණය කිරීමට උත්සාහ දරමින් සිටියි.

ඉරණමඩු බෝධිය ස්‌ථාපිත කොට විශාල කාලයක්‌ ගතවී ඇති හෙයින් යුද හමුදා නිලධාරීන්ගේ උත්සාහය කොතෙක්‌ දුරට සාර්ථක වේදැයි ඔවුන්ටද සැකයක්‌ පහළවී ඇති අතර කිළිනොච්චියේ හමුදා නිලධාරීන් පවසන්නේ එය කපා විනාශ කොට දැමීමට ඉඩ හැර සිටීමට වඩා එය ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ කිරීම වඩා වටිනා බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button