පළකල දිනය : Tue, Feb 20th, 2018

මහින්ද සමග ආණ්ඩු කරනවද ? ජනපති මෛත්‍රීගේ පිළිතුර !

ආණ්ඩුවට ප්‍රතිසංවිධාන හා සංශෝධන සිදුකරමින් මාස කිහිපයක් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යමු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (19) පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා තිබේ.

රැස්වීම ආරම්භ කරමින් ජනාධිපතිවරයා තමා කිසිදු ලෙසකින් මහින්ද රාජපක්ෂ සමඟ එක්ව ආණ්ඩු සැදීමට කැමැත්තක් නැති බවත්, එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ද අඩුපාඩු දකින බවත් පවසා තිබේ.

සිරිසේන මහතා රැස්වීම අවසන් කරමින් පවසා ඇත්තේ යහපාලන ආණ්ඩුව තවත් මාස කිහිපයක් ඉරියට රැගෙනයාමට තීන්දු කර ඇති බවත්, කැමැති අයට යහපාලන ආණ්ඩුව සමඟ ඉදිරියට යා හැකි බවත්, සෙසු අයට ඉන් ඉවත්ව වෙනත් තීන්දුවක් ගත හැකි බවයි.

තීන්දු ගන්න හිතන අය තව මාසයක් බලන්න. ඉදිරියේදී දැඩි තීන්දු ගන්නවා. මේ වෙලාවේ හැමෝම එකට ඉන්න. තනි තීන්දු ගන්න එපා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා ඇත.

ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී අදාළ රැස්වීම ඊයේ දහවල් පැවැත්විණි. ඊට ශ්‍රීලනිප මැති ඇමැතිවරු සියලු දෙනාමපාහේ එක්ව සිටියහ.

මෙම හමුවේදී පසුගිය දින කිහිපයේ ආණ්ඩුව සම්බන්ධයෙන් පැවැති තීරණාත්මක සාකච්ඡා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට දැනුවත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේම ඇතැමෙක් ඉල්ලීම් කරන නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ අවස්ථාවේ ඉවත්වෙන්න යැයි තමන් පැවැසු බව ජනාධිපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර ඇත.

එසේ වුවද අගමැතිවරයා ඉවත් කිරීමට ඇති නීති ප්‍රතිපාදන සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කළ විමසීමේදී 19 වැනි සංශෝධනය සමග ඇතිව තිබෙන තත්ත්වය ගැන පැහැදිලි විනිශ්චයක් නොවුණ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මේ අනුව ජනාධිපතිවරයා අදාළ හමුවේදී මැති ඇමැතිවරුන්ට මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමට ඉඩ දෙන්නැයි නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා ඉල්ලා ඇත.

නමුත් අගමැති ඉවත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණ මතය විමසා බැලිය හැකි බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දී ඇති අතර එය තහවුරු කරමින් රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා මේ වනවිට සන්ධාන ආණ්ඩුවකට 113ක සරල බහුතරය ඇති බව සදහන් කරමින් අගමැතිවරයා ඉවත් කළ යුතු බව පවසා තිබේ.

මෙම හමුවේදී ඇමැති මහින්ද සමරසිංහ සහ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ අතර මත ගැටුමක් ඇති වී තිබෙන අතර එය සමථයකට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී තිබේ. අනතුරුව තිලංග සුමතිපාල මහතා කතා කරමින් සිටින විට ශ්‍රීලනිප මහ‍ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කිසිවකුටත් අපහාස නොවන ආකාරයට කතා කරන්න යැයි ඉල්ලා ඇත.

අවසානයේ ජනාධිපතිවරයා මගේ තීන්දුව මම කියන්නම් යැයි කියමින් සියලු දෙනා එකට සිටිය යුතුයැයි අවධාරණය කර තිබේ. මෙම හමුවේදී ඒකාබද්ධ විපක්ෂය සමග එජනිස ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා පැවැති සාකච්ඡා ගැනද ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

ආණ්ඩුවක් හදන්න ඕන කියන එකඟතාවකට ආවා. නමුත් ඇමැතිකම් ගන්න බෑ කිව්වා. ඒක ප්‍රශ්නයක්. ආණ්ඩුව හදනවා නම් ඇමැතිකම් ගන්න ඕන යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ.

මේ අතර මෙම හමුවේදී ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අඛණ්ඩව කටයුතු කිරීමට ඒකමතික තීන්දුවක් ගෙන ඇත. ඒ අනුව යහපාලන ආණ්ඩුව ඉදිරියටත් ක්‍රියාක්මක වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

තමන් ඉදිරියටත් අගමැති ධුරයේ කටයුතු කරන බවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තමන් ඉවත් කළ නොහැකි බවත් පසුගිය සිකුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පවසා සිටියේය. ඒ අනුව පෙරේදා පැවැති ජනපති, අගමැති කථානායක හමුවේදීද අගමැති ධුරයේ වෙනසක් සම්බන්ධයෙන් සාකච්ඡා වී නොමැති අතර කඩිනම් කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබිණි.

මේ අනුව නොබෝ දිනකින් කැබිනට් සංශෝධනයක් සිදුවීමේ වැඩි ඉඩ කඩක් ඇතැයි වාර්තා වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button