පළකල දිනය : Wed, Feb 21st, 2018

ඩයස්පෝරාවට සිංහ කොඩිය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ලංකාවට කැඳවලා !

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රී ලංකාවෙන් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් පැවැත්වූ නිදහස්‌ සමරු උත්සවයට විරෝධය දක්‌වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දියත් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට කළ ඉඟි කිරීමක්‌ හේතුවෙන් තමන්ට එරෙහිව මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණ දීමට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට මින් පෙර සිදු විය.

එහිදී වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීම ට කටයුතු කෙරිණි.

සිදුවීම පිළිබදව අදහස් දැක්වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අදාළ ඉඟි කිරීමෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරියකු ලෙස වරදක්‌ සිදුකර නොමැති බව අවධාරණය කිරීමද විශේෂත්වයකි.

මෙම සිද්ධිය ක්‍රමයෙන් යටපත් වෙමින් තිබියදී ඉකුත් සතියේ යළිත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ ඩයස්පෝරාව පසුව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙත පැමිණිල්ලක්‌ කිරීමටද ක්‍රියා කර තිබිණි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීම සිදුව ඇත්තේ ඩයස්‌පෝරාවේ එකී විරෝධතාවෙන් පසුව බවද ඔහු යළි කැඳවීමට හේතුව කුමක්දැයි තවමත් හෙළිව නැති බවත් සිදුවීම පිළිබදව වාර්තා කරන මුද්‍රිත මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button