පළකල දිනය : Sun, Mar 4th, 2018

මෙන්න පිටරටින් වස ගෙන්වා අපේ කෑමට දමා කවන ජාවාරමේ සියළු තොරතුරු !

මුහුණු පොතේ සැරිසරණවිට එක්තරා පුද්ගලයකු විසින් දැන්වීමක් පළ කර ඇති අයුරු දැක ගන්නට හැකිවිය. එම දැන්වීමේ සඳහන් වී තිබුණේ විදේශ ආහාර වැලක ලැයිස්තුවකි.

චීස්, පැස්ටා, සෝස්, ටොෆි, රසකාරක, සුප් වගේ ආහාර ද්‍රව්‍ය වැලක ලැයිස්තුවක් එහි විය. එසේම සිත් ඇදගන්නා සුළු ඡායාරූප වැලක් ද තිබිණි.

ඊට යටින් ඔබේ අතේ ඇති මුදලට ඇති තරම් බඩු අපෙන් යනුවෙන්ද සටහන් කර තිබුණේය. එය දුටු සැණින් සිත් ඇදගන්නා නිසා එහි වූ අංකයට ලියුම්කරැ ඇමතුමක් ලබා ගත්තේය.

ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ කාන්තාවක් විසිනි. ආයුබෝවන්.. කියන්න ඈ කීය. මම මේ ඇඩ් එක දැකලා කතා කළේ. මට කියන්න පුළුවන්ද මේ බඩුවල ගණන් එහෙම කොහොමද කියලා

සර් මෙහෙමයි තොගේට ගන්නවා නම් ගොඩක් අඩුයි. එකක් දෙකක් වගේ ගන්නවා නම් පොඩි අඩුවක් තියෙන්නේ ඈ කීවාය.

මට කියන්නකෝ පොඩ්ඩක් ඔය චීස් රවුමක ගණන් එහෙම මම ඇසුවෙමි.

සර් එකක් දෙකක් ගන්නවා නම් රුපියල් දෙසීයක් විතර වෙනවා ඈ කීය. දෙසීයක් කී සැණින් මම පුදුමයට පත් වූයෙමි. කෑලි අටක චීස් රවුමක් රුපියල් දෙසීයට දීම ඇත්තෙන්ම ලාබය. ඒ සැණින් මම ඇයගෙන් තොග මිලදී ගැනීම් ඇසුවෙමි.

මෙහෙමයි සර් කෑලි දහයකට වඩා ගන්නවා නම් 180 ගාණේ දාන්න පුළුවන් එතරම් ලාබයක්. හිතා ගැනීමට නොහැකිය.

මේ චීස් ජාතිය මොනවද? මා ඇසුවෙමි.

මේක අලුත් ජාතියක්. කඩවල්වල වැඩියෙන් යන්නේ මේවා ඈ කීය.

කොහෙන්ද මේවා ගෙන්නන්නේ ?

එමිරේට්ස් කන්ට්‍රීවලින් යැයි ඈ කීය.

හරි මම පස්සේ ගන්නම් කියා දුරකථනය විසන්ධි කළෙමි.

එසේ විසන්ධි කළත් එහි සැකයක් තිබුණේය. මෙලෙස නමක් ගමක් නැති භාණ්ඩයක් ඔවුන් විකුණන ආකාරය සැබවින්ම සැකයකි. මම ඊටපසුදා ඇමතුමක් ලබා ගත්තෙමි. ඒ මීට පෙර මිලදී ගත් අයකු ලෙසය. එදින ඇමතුම ලබාගත්තේ තරුණයෙකි.

මල්ලී මොනවද අලුත් බඩු ඇවිත් තියෙන්නේ? මම ඇසුවෙමි. එම ස්වරයෙන් ඔහු සැබවින්ම සිතුවේ මා මීට පෙර ඔවුන් සමඟ ගනුදෙනු කළ අයකු යැයි කියාය.

අලුත් කිරිපිටි වගයක් ඇවිත් තියෙනවා. තව බිස්කට් වගයකුත් ඇවිත් තියෙනවා. ඔහු කීය.

ආ එහෙමද..? මොනවත් වෙනස් කරන්න දෙයක් නෑනේ මම නිකමට මෙන් ඇසුවෙමි.

නෑ… නෑ… ඩේට් එක ගැහුවම ඇති ඔහු එකවර කීවේය.

ඔක්කොම ගහන්න ඕනද? මම නැවතත් ඇසුවෙමි.

ඔව් සෙට් එකම ගහන්න ඕන.. ඔහු කීවේය.

මඳ වේලාවකට පසු ඔහුගේ කීමෙන් වැටහී ගියේ එම භාණ්ඩවලට කාලය ඉකුත්වීම ඇතුළු තොරතුරු ඇතුළත් කළ යුතු බව කියාය.

එසේම ඔහුත් සමඟ කතා බහ කරනවිට තවත් තොරතුරු රැසක් ගලාගෙන අවේය. එනම් මෙම ආහාර මෙරටට ගෙනෙන ආකාරය ගැනය.

එම කෑම වර්ග මෙරටට ගෙන එන්නේ ගෘහසේවය සඳහා එරටට යන අපේ කාන්තාවන් හරහාය. ඔවුන්ට අයත් භාණ්ඩ අතර මෙම ආහාර වර්ගද එවන අතර එය ගෙන ඒමට එකඟ වූවාට මෙරටට පැමිණි පසු මුදල් දීම සිදුකරනු ලබයි. ඔවුන්ට අදාළ පාර්සලය ලබාදීම සඳහා එරට පුද්ගලයකු සිටින අතර දවසට පාර්සල් 3 ක් ස්ථිර වශයෙන් මෙරටට ලැබෙන බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ආහාර එරටදී විශාල අඩු මුදලකට මිලදී ගන්නා බව සඳහන් වේ. එලෙස අඩු මුදලට ලබා දෙන්නේ එම කෑම වර්ග කල් ඉකුත්වීමට මාසයක් පමණ තිබියදීය. ඒ එසේ ලබාගන්නා ආහාරවල කල් ඉකුත්වීමේ ලේබල ගලවා මෙරටට එවනු ලබයි.

එසේ එවීමෙන් පසුව අදාළ ආහාරවලට වෙනම කල් ඉකුත්වීමේ දිනයක් ගසා වෙළඳපොළේ හිතවත් අයට ලබා දීමට මොවුන් විසින් කටයුතු කරන බව සඳහන් වේ.

ඔහුත් සමඟ කතා කිරීමේදී හෙළි වුණේ මෙය ඔවුන් පමණක් නොව තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින්ම සිදු කරන බවය.

කෙසේ වෙතත් ඔහු කී හොඳම කාරණය නම් එලෙස විකිණීම සඳහා කිසිදු අවසරයක් අවශ්‍ය නොවන බව කියාය. විදේශීය ආහාර මෙරට තුළ විකිණීම සඳහා නීතියෙන් කිසිදු බාධාවක් නැතැයි ඔහු කීය. මේ නිසා තවම පොලීසියෙන් පවා බලපෑමක් ඇතිවී නැතැයිද ඔහු කීය.

ඔවුන් පවසන පරිදි එම කෑම වර්ග විශාල වශයෙන් ගෙන යන්නේ කුඩාවට කඩ පවත්වාගෙන යන පුද්ගලයන් විසිනි. එය සත්‍ය කාරණයකි.

සුපිරි වෙළෙඳ සලකට ගොස් හොඳම චීස් සෙවීමට වඩා රැපියල් 220 – 250 අතර ගණනකට චීස් පෙට්ටියක් මිලදී ගත හැකි නම්, රුපියල් 150කට සෝස් බෝතලයක් මිලදී ගත හැකි නම් ඕනෑම අයකු තමන්ගේ ගමේ කුඩා කඩයෙන් ඒවා මිලදී ගනු ඇත. කිසිදු සෙවීමකින් තොරව ආහාරයට ගනු ඇත.

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල තම පුරවැසියාට ලබාදෙන කෑම වර්ග ආහාර ගැන වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ රජයෙන්ය. ඒ තමන්ගේ රටේ පුරවැසියා නිරෝගිමත් ජාතියක් බවට පත් කිරීම රජයේ වගකීමක් බැවිනි. ආණ්ඩුවට පුරවැසියා බදු ගෙවන නිසා ඔහු ආරක්ෂා කිරීම තමා සතු යුතුකමක් ලෙස එරට ආණ්ඩු සිතයි.

මේ නිසාම කල් ඉකුත් වූ ආහාර එරට ජනතාවට ආහාරයට තබා රටේවත් තබා නොගෙන මුහුදට දමන්නේ ඒ නිසාය. ඒ තමන්ගේ පුරවැසියාට ආදරේ නිසාය.

එහෙත් අපේ රටේ එවැනි දෙයක් නැත. ඕනෑම අයකුට ඕනෑම ජරාවක් ලේබල් ගසා විකිණීමේ ලිහිල් ක්‍රමවේදයක් සකසා තිබේ. එසේම අදාළ ආහාර විකිණීම නීති විරෝධි වුවත් එහි ගුල්වලින් රිංගීමට පවා මෙරට ජාවාරම්කරුවන් පුරුදු වී ඇත. මේ නිසා මෙවැනි කළු කඩකාරයන් රට තුළත් අන්තර්ජාලය තුළත් පැටව් ගසනු ඇත. ඒ ප්‍රමිතියක් ගැන සොයා බැලීමට කිසිවකු නැති නිසාය.

ඉහත කී වෙළෙඳුන් බොහෝමයකගේ ගබඩා පිහිටා ඇත්තේ කටුනායක, වත්තල සහ කැලණිය ප්‍රදේශය තුළය. මෙම ලිපිය දැකගත් ඔබ හෙට සිට ඇතැම්විට එම ආහාර මිලදී නොගෙන සිටනු ඇත. ඇතැම්විට ප්‍රතික්ෂේප කරනු ඇත. එහෙත් එය සාර්ථක වන්නේ නැත.

එයට හේතුව නම් වැඩි කෑම කඩ ප්‍රමාණයක් සහ එවැනිම හෝටල් සංඛ්‍යාවක් ආහාරවලට දමන අමුද්‍රව්‍ය මිලදි ගන්නේ මේ පිරිස් හරහා වීම නිසාය. කටට රහට චයිනීස් කෑමට පුරැදු වී සිටින අප කෑමට ගන්නේද මේ කල් ඉකුත් වූ රසකාරක බව අප අමතක කළ යුතු නැත.

කඩේ මිලදී ගන්නා ආහාර ද්‍රව්‍යවලට වඩා දෙගුණයක මුදලක් අඩුකර ලබා දීමට ඔවුන් සුදානම් නිසා කුඩා වෙළෙඳුන් සහ අරක්කැමියෝ එම ස්ථානවලින් මේ ආහාර වර්ග මිලදී ගැනීමට පුරැදු වී සිටිති. කෙසේ වෙතත් එලෙස සැපයුම් කොන්ත්‍රාත්තුවක් ලබාදෙන පුද්ගලයකුට වෙනම කුඩා මුදලක් ලබා දීමට ද ඉහත කී ජාවාරම්කරුවන්ගේ පුරුද්දය.

කෙසේ වෙතත් නොනවත්වා සිදු කෙරෙන මෙම ජාවාරම කවදා නවතීද නැද්ද යන්න දන්නේ නැත. එසේ නැවැත්වෙන පාටකුත් නැත. එයට හේතුව නම් මිලදී ගැනීමට විශාල පිරිසක් ඉන්නා නිසාය.

කෙසේ වෙතත් පහුගිය දින ටිකේම ප්‍රචාරය වුණේ වඳ පෙති දමා ආහාර සකසන බවය. එහෙත් ඇත්ත නම් වඳ පෙති නොව මෙවැනි කල් ඉකුත් වූ ජරාව දමා කෑම දීමට මෙරට වෙළෙඳුන් පුරැදුව සිටීමය. කෙසේ වෙතත් මේ හරහා වඳ වීමටත් වඩා සොයා ගත නොහැකි දරුණු ලෙඩ සැදීමේ අවදානමක් ඇත.

ඒ නිසා රටක් හැටියට නොපෙනෙන දෙයට වඩා පෙනෙන දෙයට සටන් කිරීමෙන් හත්මුතු පරම්පරාවම බේරගත හැක. එකී බේරා ගැනීමේ වගකීම රටේ පාලකයන්ට ද ඇත.

උපුටාගැනීම – ගයාන් ගාල්ලගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button