පළකල දිනය : Mon, Mar 5th, 2018

කාන්තාවගේ සූක්ෂම රන් භාණ්ඩ මංකොල්ලය !

මෙහෙකාර සේවාව සපයන මුවාවෙන් සුපිරි නිවාස වෙත ගොස්‌ එහි සේවය කරන අතරතුර එම නිවෙස්‌හි ඇති රන්භාණ්‌ඩ සහ වටිනා දේපළ සොරකම් කර එම මුදල් සූදු කෙළීමට සහ අනියම් පුරුෂ ඇසුරට යෙදවූ කාන්තාවක්‌ අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් විසින් (02දා) අත්අඩංගුවට ගෙන ඇත.

වැලිකඩ, රාජගිරිය, අරුණෝදය මාවතේ පදිංචි විවාහක 32 හැවිරිදි කාන්තාවක්‌ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව මේ වනවිටත් අනියම් පුරුෂයන් දෙදෙනකු හා ජීවත් වන අතර සොරකමින් උපයන මුදලින් ඉතා ලාබාල තරුණ පිරිමින්ගේ ඇසුර සඳහා යොදවන බවත් මූලික විමර්ශන තුළින් හෙළිවූ බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව කොට්‌ටාව, තලංගම, බොරලැස්‌ගමුව, මිරිහාන, කටුනායක යන පොලිස්‌ බල ප්‍රදේශයන්හි විසි වසරක්‌ පුරා මෙම සොරකම් සිදුකර ඇති අතර එහිදී වාර ගණනාවක්‌ම පොලිස්‌ අත්අඩංගුවට පත්වී තිබිණි.

නුගේගොඩ, හෝමාගම, කඩුවෙල යන අධිකරණයන්හි පවතින නඩු සඳහා ඉදිරිපත් නොවී මගහැර සිටීම හේතුවෙන් එම අධිකරණයන් වෙතින් මෙම සැකකාරියට වරෙන්තු නිකුත් කොට ඇති බවත් කියෑවේ.

2017 වර්ෂයේ හෝමාගම ප්‍රදේශයේ නිවාස දෙකකට මෙලෙස රිංගා මෙහෙකාර සේවයේ යෙදෙමින් එහි තිබූ රුපියල් ලක්‍ෂ පහමාරක්‌ පමණ වටිනා රන්භාණ්‌ඩ උණුකොට තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මීට අමතරව ඇය විසින් ඇසුරු කරන අනියම් පුරුෂයන් වෙත එම සොරකම් කළ වටිනා දේ ත්‍යාග කර ඇති බවද පොලිසිය පවසයි.

මීට අමතරව ගොතටුව ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කාරියන් සමඟ එක්‌වී මුදලට සූදු කෙළිමින් විනෝද වී එම මුදල් විනාශ කර ඇති බවත් පැවසේ.

මෙම සැකකාරිය අවුරුදු විස්‌සක කාලයක සිට මෙලෙස විවිධ නිවැසියන් රවටා මෙලෙස මහා පරිමාණයෙන් සොරකම් කර ඇති බවත් සඳහන්ය.

සැකකාරිය සහ අත්අඩංගුවට ගත් දේපළ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ නුගේගොඩ කොට්‌ඨාශ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්‌ඨාස පොලිස්‌ අධිකාරී ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ අතුරුගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් අලවත්ත මහතාගේ උපදෙස්‌ මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස්‌ සැරයන් (56750) පියල් පොලිස්‌ කොස්‌තාපල් වරුන්වන (36709) සුකුමාරන්, (70701) සම්පත්, (40947) ගමගේ, කාන්තා පොලිස්‌ සැරයන් (3447) සිරියාවතී යන නිලධාරීහු විමර්ශන පවත්වයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button