පළකල දිනය : Thu, Mar 15th, 2018

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ලංකාවට එන්න සුදානමින් සිටියදී ලැබුණු වාසනාව !

ඔස්ට්‍රේලියාවේ සරණාගත බව බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලාංකේය දමිළ පවුලකට ඔවුන් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ගුවන් යානයේ රැඳී සිටි අවසන් මොහොතේ සිය ඔස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව හිමිව තිබේ.

නඩේෂලිංගම් සහ ප්‍රියා මෙන්ම, ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූ සිය සිඟිති දියණියන් දෙදෙනාට මේ ආකාරයෙන් යළි ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමිවූ බව විදෙස් වාර්තා පවසයි.

ක්වීන්ස්ලන්තයේ ඔවුන් පදිංචිව සිට ඇති බිලෝලා නම් වූ කුඩා නගරයේ ජනතාව ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් ඔවුන් වෙත මෙම අවස්ථාව හිමිව ඇති බව කියැවෙයි.

ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් මෙම පවුල සිය නිවසින් රැගෙන ගොස් රැඳවුම් භාරයේ තබාගෙන සිට ඇති අතර, එම කාලය තුළ ඔවුන් ජීවත් වූ කුඩා නගරයේ ජනතාව එක්ව ඔවුන් යළි පිටුවල් කිරීමට එරෙහිව පෙත්සමක් සකස් කර තිබේ.

එම පෙත්සමට අත්සන් 76,000කට වඩා ලබාගැනීමට එම ජනතාවට හැකිවී ඇති අතර, එය ඔස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පීටර් ඩුටන් වෙත යොමුකරමින් නඩේෂලිංගම් පවුලට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා තිබේ.

2012 සහ 2013 වසරවල බෝට්ටු මගින් අවස්ථා දෙකකදී ඔස්ට්‍රේලියාවට පැමිණ තිබූ මෙම යුවළ එරටදී විවාහ වී ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

නඩේෂලිංගම් ශ්‍රී ලංකාවේ සිටියදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමග සබඳතා පවත්වා ඇති බවත්, පසුව ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු ඔහු ඔස්ට්‍රේලියාවට පැනගොස් ඇති බවත් දමිළ සරණාගත කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක බෙන් හිලර් බී.බී.සී.ය වෙත පවසා තිබුණි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button