පළකල දිනය : Sun, Mar 25th, 2018

නරක්‌ වූ වකුගඩු සතියෙන් සුව කරන වාහල්කඩ මංගලාරාම ඉසිවර අරණ !

කැබිතිගොල්ලෑව, වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත.

අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත්පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි.

එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු.

අපි බෝ ගස යට සිට පූජා භූමිය වටා දෑස්‌ පා කළෙමු. ඇස ගැටෙන සෑම තැනම කූඩාරම්ය. ඒ අසල විවිධ ආබාධ සහිත රෝගීන්ය. දැන් වාහල්කඩ මංගලාරාම පූජා භූමිය සුවසහන ගම්මානයකි. එගම්වාසීන්ට අඩුම, කුඩුම ගැනීමට තැන, තැන වෙළෙඳසල්ය. බෙහෙත් ඖෂධ ගැනීමට බෙහෙත් බඩු කඩයකි.

ඒ ගම්මානය තුළ උස්‌, මිටි බේද නැත. තරාතිරම කෙබඳු වුවද සියලු දෙනාම එක හා සමානය. අතිශය සරල සහ අල්පේච්ඡ ජීවිත ගත කරන ඒ ගම්වාසීන්ට කප්පරක්‌ බලාපොරොත්තු නැත. සියලු දෙනාට ඇත්තේ එකම බලාපොරොත්තුවකි. ඒ ලෙඩ සුවපත් වීම පමණි.

”අන්න අර කූඩාරමේ ඉන්න රෝගියා එක්‌ක ටිකක්‌ කතා කරන්න…” නායක ස්‌වාමීන් වහන්සේගේ හඬත් සමඟ මගේ දැහැන බිඳිණි.

මොහොතකින් අපි උන්වහන්සේ පෙන්නූ කූඩාරම අසලට ගියෙමු. ඒ තුළ සිට අප ඉදිරියේ පෙනී සිටියේ තරුණ කාන්තාවකි. වයස අවුරුදු 25 කි. ඇයගේ නම සිලානි කෞශල්‍යා නවරත්නයි. කාලයක සිට වකුගඩු රෝගයකින් පීඩා විඳි ඇය මංගලාරාමයට පැමිණ සිටියේ මහනුවර හේවාහැට ප්‍රදේශයේ සිටය.

”අපි මේ පන්සලට ආවේ මාර්තු මාසෙ 23 වැනිදා. මගේ තනියට ඉන්නේ අම්මා…” සිලානිගේ අසරණ දෙනෙත් මව දෙසට ඉඟිලිණි. අප අතර නිහඬතාවකි.

වකුගඩු රෝගයක්‌ කියලා දැන ගත්තේ කොහොමද…? අපි ඇයගේ ගොළුවතට කතා කළෙමු.

”මුලින්ම මගේ හන්දිපත් රිදෙන්න ගත්තා. ඒත් එක්‌කම වගේ කෙස්‌ ගැලවෙන්න පටන් ගත්තා. අතපයවල ලප දැම්මා. මහනුවර ඉස්‌පිරිතාලෙට ගිහින් නතර වෙලා ප්‍රතිකාර ගත්තා. ලෙඩ ගතිය ටිකක්‌ අඩු වුණා. ටිකට්‌ කපලා ගෙදරත් ආවා. ටික දවසක්‌ ඉන්නකොට ආයෙමත් ඒ රෝග ලක්‍ෂණම පෙන්නුම් කළා. ආයෙමත් මම ඉස්‌පිරිතාලෙට ඇතුළත් වුණා.

ඒ වතාවේ පරීක්‍ෂණ කිහිපයක්‌ම කරලා වෛද්‍යවරු මට කිව්වා ‘වකුගඩු නරක්‌ වීගෙන එනවා, තව පරීක්‍ෂණ කිහිපයක්‌ කරලා බලමු’ කියලා. 2016 අවුරුද්දේ තමයි ලෙඩේ හඳුනා ගත්තේ. 2017 පෙබරවාරි වෙනකොට මගේ මුළු ඇඟම ඉදිමෙන්න පටන් ගත්තා. ඇවිද ගන්න බැරිව ගියා. ඒ වතාවේ ඉස්‌පිරිතාලෙට ඇතුළු වුණහම මාව පරීක්‍ෂා කරපු වෛද්‍යවරු කිව්වා වකුගඩු දෙකම නරක්‌ වෙලා. දෙකම බද්ධ කරන්න වෙනවා කියලා…”

”වකුගඩු බද්ධ කරලා මිනිස්‌සු දුක්‌විඳින හැටි ඕන තරම් ඉස්‌පිරිතාලේදී මම දැක්‌කා. ඒ විදිහට දුක්‌විඳිනවට වඩා මැරෙනවා හොඳයි කියලා හිතහදාගෙන වකුගඩු බද්ධ කරන එකට අකැමැති වුණා. පස්‌සේ ටිකට්‌ කපාගෙන ගෙදර ආවා. හිතේ තිබුණු සියලු බලාපොරොත්තු අතහැරලා මරණයට සූදානම් වෙලා වේදනාව සඟවාගෙන සතුටින් ජීවත් වුණා.

ඒ හැරෙන්න වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ. එහෙම ඉන්නකොට තමයි පත්තරේ මේ පන්සල ගැන පළ කරන ලිපිය දැක්‌කේ. සති දෙක, තුනක්‌ එකදිගට ඒ ලිපිය කියෙව්වා. ඒ කියලා තිබුණු දේවල් දැකලා මේ පන්සල ගැන මට ලොකු විශ්වාසයක්‌ ඇති වුණා.

පහුගිය මාර්තු 25 වැනිදා පන්සලට ආවා. මෙතැන ඉන්න රෝගීන් දැකලා මම පුදුම වුණා. අනිවාර්යයෙන්ම මටත් සහනයක්‌ ලැබේවි කියලා මගේ හිත කියන්න පටන් ගත්තා. බුලත් තියලා ලෙඩේ ගැන ඇහුවට පස්‌සෙ ‘සනීප කරන්න පුළුවන් පන්සලේ නතර වෙන්න’ කියලා ස්‌වාමීන් වහන්සේ උපදෙස්‌ දුන්නා.

උන්වහන්සේගේ ඒ වචන ටික අහලා මගේ හිතට ලොකු සහනයක්‌ දැනුණා. බෙහෙත් කරන්න පටන් අරගෙන දවස්‌ අටක්‌ විතර යනකොට කකුල්වල ඉදිමුම බැහැලා ඇවිදින්න පුළුවන් වුණා. ඇඟට දැනුණු අපහසුතා ටිකෙන් ටික අඩු වෙලා ගියා. දැන් ඇඟට කිසිම අපහසුවක්‌ දැනෙන්නේ නෑ. තව ටික දවසකින් රෝහලකට ගිහින් වකුගඩු චෙක්‌ කරලා බලනවා.

මට හිතෙන්නෙ දැන් මගේ වකුගඩුවල අසනීපයක්‌ නෑ කියලා තමයි…” සිලානි දිගු හුස්‌මක්‌ ගෙන හද සැහැල්ලු කර ගත්තාය. ගතට දැනෙන සනීපෙට දැන් ඇයගේ සිත ද සැහැල්ලුය. නැවුම් ජීවිත බලාපොරොත්තුවලින් තිරිහන් වන බව ඇයගේ කතාවෙන් අපට පසක්‌ වේ. එහෙත් ඇය කියන සියලු විස්‌තර අසා සිටීමට කාලයක්‌ නැත. තවත් කූඩාරමක්‌ අසල පුංචි දරුවෙක්‌ වඩාගෙන මවක්‌ අප එන තෙක්‌ දැස්‌ දල්වා බලා සිටින්නීය.

ඉර මුදුන් සමයමේ අවට ඇවිලෙන්නේය. පෑගෙන වැලි කැට ගිනි පුපුරු වැනිය. ගිනියමින් දැවෙන එවැනි මොහොතක හුළං කවුළුවක්‌ හෝ නැති කූඩාරමක වාසය කිරීම ගතට පමණක්‌ නොව, ඉහ මොළ ද රත් වෙන ගානය. එහෙයින් බොහෝ රෝගීන්, භාරකරුවන් කූඩාරම් ඉදිරිපිටට පැමිණ සිටින අයුරු පෙනේ. කූඩාරම් අතරින් පියවර මනිමින් පුංචි දරුවකු ඇකයේ හොවාගෙන පෙර මඟ බලා සිටි කාන්තාව අසල අපි නතර වීමු.

ඇය ශ්‍රියා කුමාරිය. ගම් පළාත කලාවැව විජිතපුරය. තිස්‌හය හැවිරිදි ඇය තිදරු මවකි. මංගලාරාම පින්බිමට පැමිණ සිටින්නේ ඇයගේ තෙවැනි දරුවා වන එසිනි සත්සරණි පුංචි දියණිය සුවපත් කරගැනීමටය. දැන් අපි ශ්‍රියාගේ කතාව ද අසා සිටිමු.

”මේ මගේ තුන්වැනි දරුවා. අපේ පරම්පරාවටම ඉන්න එකම ගැහැනු දරුවා. දුව ඉපදිච්ච දවසේ අපේ මුළු පවුලම පුදුම විදිහට සතුටු වුණා. ඒත් ඒ සතුට මාස හයක්‌ තිබුණේ නෑ. හිටි ගමන් දුවගේ ඇහි බැමි ඉදිමෙන්න පටන් ගත්තා. කලාවැව ඉස්‌පිරිතාලේ වෛද්‍යවරයාට පෙන්නුවම දුවව පරීක්‍ෂා කරලා අසනීපයක්‌ නෑ.

ඒත් පුංචි පරීක්‍ෂණයක්‌ කරලා බලමු කියලා මුත්‍රා පරීක්‍ෂණයක්‌ කළා. ඒ පරීක්‍ෂණයෙන් පස්‌සේ වෛද්‍යවරයා කිව්වා ‘මුත්‍රා එක්‌ක ප්‍රොටීන් පිට වෙනවා… දරුවගේ වකුගඩුවල ආබාධයක්‌ තියෙනවා’ කියලා. ‘මේ වගේ පුංචි දරුවකුට වකුගඩු අමාරු හැදිලා කියලා දැන ගත්ත පළමු අවස්‌ථාව කියලා වෛද්‍යවරුත් පුදුම වුණා…”

”පස්‌සෙ අනුරාධපුර රෝහලට ඇතුළත් වුණා. වෛද්‍යවරු පරීක්‍ෂණ කිහිපයක්‌ම කරලා බලලා ‘අවුරුදු එකහමාරට අඩු දරුවන්ට බෙහෙත් නෑ. වකුගඩු රෝගීන්ට දෙන ඖෂධවලින් අටෙන් එකක්‌ දීලා බලමු කියලා වෛද්‍යවරු අපිට කිව්වා. සතියක්‌ විතර බෙහෙත් දුන්නා.

ඒත් කිසිම අඩුවක්‌ වුණේ නෑ. දවසින්, දවස දරුවා ඉදිමෙන්න ගත්තා. පස්‌සේ අපි දරුව වෙනත් රෝහලකට අරගෙන ගිහින් නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඒ ඉස්‌පිරිතාලේ වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා දරුවට වැළඳිලා තියෙන්නේ ජාන වකුගඩු රෝගයක්‌ කියලා අපිට දැනුම් දුන්නා. ඒත් ඒ වෙනකොට අපේ පවුලේ කිසිම කෙනකුට වකුගඩු රෝගය හැදිලා තිබුණේ නෑ…”

”දුව සනීප කරන්න වෛද්‍යවරුත් උපරිම උත්සාහ කළා. පුංචි අත් දෙකෙන් ලේ අරගෙන පරීක්‍ෂණ කරනවා ඉවරයක්‌ නෑ. පුංචි අතපයවලින් ලේ ගන්නවා මට බලාගෙන ඉන්න බැරි වුණා. පස්‌සේ මම මහත්තයා එක්‌ක කතා කරලා දුවට සිංහල බෙහෙත් කරමු කියලා ටිකට්‌ කපාගෙන ගෙදර එක්‌කරගෙන ආවා. ඒ එනකොට මහත්තයාගේ යාළුවෙක්‌ කතා කරලා මේ පන්සල ගැන අපිට කිව්වා…”

ඊට පහුවෙනිදාම අපි මේ පන්සලට ආවා. ඒ එනකොට දරුව හොඳටම ඉදිමිලා. දකින අය බය වුණා. නායක හාමුදුරුවෝ දුව බලලා පිරිත් පැන් බොන්න දුන්නා. අපි චෛත්‍ය වහන්සේ ළඟට ගිහින් භාරයක්‌ වුණා. දවස ගානේ බෝධි පූජා පැවැත්තුවා. පන්සලට ඇවිත් අදට දින හතරයි.

තවම දරුවට ඖෂධ ප්‍රතිකාර පටන් ගත්තේ නෑ. අදටත් පිරිත් පැන් දෙනවා. බෝධි පූජා පවත්වනවා විතරයි. අඬන්නේ නැතුව හිටිය මගේ පැටියා දැන් හොඳට අඬනවා. බඩගිනි වුණහම කිරි ඉල්ලලා කෑගහනවා. ඇඟේ ඉදිමුමත් බැහැලා ගිහින්. දුව ටිකෙන් ටික සනීප වෙනවා කියලා දැන් මට හිතෙනවා.

පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න මගේ චූටි දුව හිනා වෙලා ඉන්නවා. මේ කරන සත්කාරයට නායක ස්‌වාමීන් වහන්සේ නිවන් දකින්න ඕනෑ. පින් දෙනවා හැරෙන්න හමුදුරුවන්ට වෙන දෙන්න දෙයක්‌ නෑ. මේ පන්සලේ පින්කැටයක්‌වත් නෑ…’ පුංචි සිඟිත්තියව තුරුලු කර ගත් ශ්‍රියා බෝ ගස දෙසට හැරී පින් දෙන්න පටන් ගත්තාය. දෑස්‌ ලොකු කරගෙන පුංචි සත්සරණි මවගේ මුව දෙස බලා සිටින්නීය. කිරිකැටි මුහුණේ දැන් ඉදිමුම් ගති නැත.

පුංචි සිඟිත්තිය සාමාන්‍ය දරුවකු සේ කතාබහ කරති. පිපෙන්නට පෙර පර වෙන්නට ගිය සත්සරණි මංගලාරාමයේ සරණින් තව බොහෝ කාලයක්‌ පීපී සුවඳ හමන බව නම් සිකුරුය. දැනුදු පුංචි සත්සරණිගෙන් ඒ සුවඳ විහිදේ. ඒ සුවඳ විඳිමින් අපි ඔවුන්ට සමුදුන්නෙමු.

වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යයෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය.

උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැළකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි.

එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරිම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය.

එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු.

අනුරාධපුරය, මැදවච්චිය, පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

රෝගීන්ට සරණක්‌ සලසන මේ පින්බිම ගැන Share කර හැමෝම දැනුවත් කරන්න.

තරංග රත්නවීර
මුලාශ්‍රය – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button